දළ ඇතාට සැත්කමක්
ලතින් ඇමෙරිකාවට අයත් කොලොම්බියාවේ, බැරැන්කිලා නුවර සත්වෝද්‍යානයක අප්‍රිකානු දළ ඇතෙකු පැය තුනක සැත්කමකට භාජන කෙරුණි.
ඇතාගේ එක් දළයකට හානි වී එය තුවාල වී ඇති අතර එහෙයින්, දළය බේරා ගැනීමට නම් ස්නායු පිරවීමක් සිදු කළ යුතු විය. සත්වෝද්‍යානයේ පශු වෛද්‍යවරුන්ගේ මෙහෙයවීමෙන්, සත්වෝද්‍යානයේ අප්‍රිකානු දළ ඇතකු පැය 3 ක සැත්කමකට භාජන කෙරුණි. 30 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් ඊට සම්බන්ධ වූහ.
සැත්කම වෙනුවෙන්, ඇමෙරිකන් ඩොලර් 8,500 ක මුදලක් වැය වුණු අතර, එම මුදල සොයා ගැනීම සිදු කළේ කොලොම්බියානු සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන මැදිහත් වී මුදල් එක් කිරීමෙනි.
පශූ වෛද්‍යවරුන් කියා සිටියේ ස්නායු පිරවීමේ සැත්කම සාර්ථක වුණු බවය. මෙවැනි සැත්කමක් ලතින් ඇමෙරිකාව සිදු කළ පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.
ටොන් පහක් පමණ බරැති දළ ඇතාගේ නම ‘ටැන්ටෝර්’ ය. ටැන්ටෝර් සත්වෝද්‍යානයට ගෙනෙන ලද්දේ 1991 වසරේදීය. ටැන්ටෝර්, කොලොම්බියාවේ පිටිසරබද පිහිටි විශාල ගොවිපොළක වාසය කර ඇත. ටැන්ටෝර් හදා වඩා ගනු ලැබ ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලියක සාමාජිකයන විසිනි.
එම මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේදී, ටැන්ටෝර් සත්වෝද්‍යානයට බාර කෙරුණි. ඒ, 1991 වසරේදීය. අද වනවිට ටැන්ටෝර්ගේ වයස අවුරුදු 50 ක් පමණ යැයි සත්වෝද්‍යාන බලධාරීහු කියති.
සැත්කම සිදුවෙද්දී, ටැන්ටෝර් එහෙට මෙහෙට කිරීම සිදුවූයේ දොඹකරයක ආධාරයෙනි. සත්වෝද්‍යානය ඉදිරිපිට මාර්ගය වසා දැමීමට පොලිසිය පියවර ගත්තේය. ඒ, දොඹකරය පැමිණීම හේතුවෙනි.
(ඒ.එෆ්.පී.)