රිදෙන්නේ නැති එන්නත



එන්නත් කටුවලට පොඩ්ඩන් පමණක් නොව, ඇතැම් ලොකු පොඩ්ඩන් ද බියක් දක්වයි. ‘රිදෙන්නේ නැතිව එන්නත් දෙන්න බැරිද?’, ‘රිදෙන්නේ නැති එන්නත් නැද්ද?’ බොහෝ දෙනා අසයි. ඇත්තම කීවොත්, වෛද්‍ය විද්‍යාවේ දියුණුවත්, තාක්ෂණයේත් දියුණුවත් සමඟ රිදෙන්නේ නැතිව එන්නත් ලබා දීමේ ක්‍රමවේදයක් නිර්මාණය විය.

අද වනවිට අඬන්නේ නැතිව හෝ කෑ කෝ ගැසීමක් නැතිව එන්නතක් ලබා දීම කළ හැකිය. මෙම රිදෙන්නේ නැති එන්නත හඳුන්වා දීම කළේ ඇමෙරිකාවේ විද්‍යාඥයන් කණ්ඩායමකි.

අත්හදා බැලීම්වලින් පසු මෙම රිදෙන්නේ නැති; එන්නත් කටුව නැති; මෙම එන්නත් ලබා දීම සිදුවෙමින් පවතී. එන්නත් කටු භාවිතයට වඩා, ඉතා සාර්ථකව, ප්‍රතිශක්තිකරණ වැඩසටහන්වලට මෙම කටු නැති එන්නත් ක්‍රමය උචිත බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද මතයයි.

සෑම රටකම, ජාතික මට්ටමින් ප්‍රතිශක්තිකරණ වැඩසටහන් ක්‍රියාත්මක වෙයි. අප රටේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන ඉතාමත් සාර්ථක අයුරින් මෙන්ම ප්‍රශංසනීය අයුරින් සිදුවෙයි. මේ සම්බන්ධයෙන් ඉතා කැපවීමෙන් රාජකාරි සිදු කරන පවුල් සෞඛ්‍ය සේවිකාවන් අපට අමතක කළ නොහැකිය. ප්‍රතිශක්තිකරණ වැඩසටහන් සාර්ථක වීම පසුපස සිටින්නේ ඔවුන්ය. උපතේදී ලබා දෙන බීසීජී එන්නතේ සිට, මාස 2, මාස 4, මාස 9, මාස 12, අවුරුදු 1 1/2 , අවුරුදු 3, අවුරුදු 5, අවුරුදු 11 ආදී වශයෙන් දරුවන්ට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම සිදුවෙයි.

ශ්‍රී ලංකාවේ අප වාසනාවන්තක වුවත්, අප්‍රිකා කලාපයේ නොදියුණු රටවල සහ ඇෆ්ගනිස්තානය, සිරියාව, යේමනය ආදී මේ වනවිට අවි ගැටුම් පවතින රටවල, මෙම එන්නත්කරණ වැඩසටහන් නිසි පරිදි සිදුනොවෙයි. කොවිඩ් 19 සමයේ දී ඇතැම් රටවල ප්‍රතිශක්තිකරණ වැඩසටහන් මුළුමනින්ම අකර්මණ්‍ය විය. සරම්ප, කම්මුල්ගාය, රුබෙල්ලා සඳහා එන්නත් ලබා දීම සිදුවන්නේ දරුවකුගේ පළමු උපන් දිනයට පෙර, මාස 9 සම්පූර්ණ වෙද්දීය. සරම්ප ඉතා වේගයෙන් බෝවන වයිරසයකි. කුඩා දරුවන් අතරේ එය බහුලය. සරම්ප මාරක විය හැකිය. ප්‍රතිශක්තිකරණ වැඩසටහන් හරහා එන්නත් සමානාත්මතාවක් ඇති කිරීමට, ලෝක සෞඛ්‍ය සංවිධානය සැමවිටම උත්සාහ ගනී. 2022 වසරේ දී (කොවිඩ් වසංගතය කෙමෙන් පහව යද්දී) ගෝලීය වශයෙන්, සරම්ප එන්නත් එක් මාත්‍රාවක් ලබා ගෙන තිබුණේ පළමු උපන් දිනය සැමැරූ කුඩා දරුවන්ගෙන් සියයට 83 කට වඩා අඩු ප්‍රතිශතයකි. එම වසරේම, සරම්ප රෝගයෙන් මිය ගිය සංඛ්‍යාව, ගෝලීය වශයෙන් 136,000 කි.මරණ වැඩි ප්‍රමාණයක් වාර්තා වූයේ අප්‍රිකා කලාපයෙනි.

බටහිර අප්‍රිකාවට අයත් ගැම්බියාව, දුප්පත් රටකි. ගැම්බියාවේ ජනගහනයෙන් සියයට 53.4 ක් (රටේ ජනගහනයෙන් මිලියන 1.1) දුප්පත්ය. මානව හිමිකම් කඩවීම් අතින් ලොව ඉදිරියෙන්ම සිටින රටක් ලෙස ගැම්බියාව සැලකිය හැකිය. ගැම්බියාව අපරාධ කල්ලි රජයන, ගෝත්‍රික ගැටුම් ඉහවහා ගිය, දේශපාලනික වශයෙන් ද අස්ථාවර වූ රාජ්‍යයකි. ගැම්බියාවේ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන ක්‍රියාත්මක වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේත්, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් සංවිධානයේ මැදිහත්වීම නිසා ම පමණි. අද ගැම්බියාවේ ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ එරට දරුවන්ට සරම්ප එන්නත ලබා දෙන්නේ, එන්නත් කටුවක් යොදා ගෙන නොවෙයි. කටුවක් නැති සරම්ප ප්‍රතිශක්තිකරණ එන්නත කුඩා රවුම් ප්ලාස්ටරයක් වැනිය. එය දරුවාගේ අතේ ඇලවීම සිදු කරයි. එය සාමාන්‍යයෙන් ප්ලාස්ටරයක් අලවනවා වැනිය. රිදෙන්නේ නැත. මිනිත්තු පහකින් මෙම ප්ලාස්ටරයේ අලෙනසුළු ස්වභාවය නැතිවී යයි. එයින් අදහස් වන්නේ ප්ලාස්ටරයේ අඩංගු ප්‍රතිශක්තිකරණ එන්නත (ඖෂධ අඩංගු කොටස)  සිරුරට උරාගෙන ඇති බවය. ගැම්බියාවේ දරුවන් බියට පත් නොකර, රිදෙන්නේ නැතිව සරම්ප එන්නත ලබා දෙන්නේ මෙම අයුරිනි.

රිදෙන්නේ නැති වීම පමණක් නොවෙයි, මෙම ප්ලාස්ටර් එන්නතේ වාසි රැසකි. වෛද්‍ය පර්යේෂකයන්, මෙම එන්නත නිර්මාණය කිරීමෙන් පසු අත්හදා බැලුවේ ගැම්බියා දරුවන් යොදා ගනිමිනි. ඒ අනුව අවබෝධ කර ගත් දේ බොහොමය. සාමාන්‍ය ප්‍රතිශක්තිකරණ එන්නත් ගබඩා කරන ආකාරයට වඩා පහසුවෙන් මෙම ප්ලාස්ටර් එන්නත් ගබඩා කළ හැකිය. ශීතකරණ පහසුකම් නැති පිටිසර ප්‍රදේශවලට මෙම එන්නත් රැගෙන යෑම පමණක් නොව, ඒවා ගබඩා කිරීම ද පහසුය. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ප්‍රතිශක්තිකරණ වැඩසටහන් අකර්මණ්‍ය වෙද්දී, ගැම්බියාවේ දරුවන් ද අනාරක්ෂිත විය. ලෝක සෞඛ්‍ය සංවිධානය පැවැසුවේ, කොවිඩ් 19 නිසා, නිසි කලට, නිසි ලෙස එන්නත් ලබා දීමට නොහැකි වුණු බැවින්, අඩු සහ මධ්‍ය ආදායම්ලාභී රටවල දරුවන් මිලියන ගණනකගේ ජීවිත අනතුරේ වැටුණු බවය. ඒත් දැන්, කටු නැති ප්ලාස්ටර් එන්නත හදුන්වා දීමත් සමඟ එන්නත්කරණ කටයුතු මඟ හැරුණු දරුවන්ගෙන් සියයට 95 කට එන්නත් ලැබී අවසන් බව පැවැසෙයි.

මෙම කටු නැති ප්ලාස්ටර් එන්නත, විද්‍යායන් නම් කර ඇත්තේ මයික්‍රෝ-ඇරේ-පැච් Microarray Vaccine Patch ප්ලාස්ටරය එසේත් නැතිනම් අන්වීක්ෂීය එන්නත් Microscopic Needles කටුවලින් සමන්විත ප්ලාස්ටර යනුවෙනි. තනි එක කටුවක් නැති වුණත්, මේ ප්ලාස්ටර් එන්නතේ පියවි ඇසට නොපෙනෙන ආකාරයේ (අන්වීක්ෂයකින් බැලුවොත් පමණක් පෙනන) එන්නත් කටු බොහොමයකි. එය ස්පර්ශ කර බැලුවොත්, ඔබට දැනෙන්නේ බළලකුගේ දිවක් ස්පර්ශ කර බලනවා හා සමාන දෙයකි. ඇසට නොපෙනන තරමේ ඉතාමත් කුඩා එන්නත් කටු ඉතා සියුම් ලෙස සම සිදුරු කරන්නේ සමේ ඇති ස්නායු තුඩු ස්පර්ශ නොකරය. රිදෙන්නේ නැත්තේ එහෙයිනි.

‘ඇත්තම කියනවා නම්, මේක විද්‍යාවේත් නව තාක්ෂණයෙත් සංකලනයක්. මයික්‍රෝ-ඇරේ-පැච් තාක්‍ෂණය භාවිතයෙන් ළදරුවන්ට සහ කුඩා දරුවන්ට එන්නත් ආරක්ෂිතව සහ ඵලදායී ආකාරයට ලබා දිම කළ හැකියි. සියලු අත්හදා බැලීම් සාර්ථක වූ නිසා ගැම්බියා දරුවන්ට මෙම ක්‍රමයට එන්නත් ලබා දීම සිදුවෙනවා.’ යැයි ලන්ඩන් වෛද්‍ය පර්යේෂණ කවුන්සිලයේ සාමාජික, ගැම්බියා ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය එඩ් ක්ලාක් පැහැදිලි කර ඇත.

ආරම්භයේ දී සරම්ප සඳහා පමණක් නිර්මාණය කළ මෙම ප්ලාස්ටර් එන්නත අනාගතයේ සෙසු ප්‍රතිශක්තිකරණ එන්නත් සඳහා ද සකස් කිරීමට බටහිර විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති. සෞඛය පහසුකම් අඩු රටවලට පමණක් නොවෙයි, ඇමෙරිකාව, එක්සත් රාජධානිය වැනි ධනවත් රටවල එන්නත් කටුවලට බය දරුවන්ට ද සරම්ප සඳහා එන්නත් ලබා දීම සිදුවන්නේ මෙම නව ක්‍රමයටය. මෙම එන්නත ලබා දීමට පළපුරුදු වෛද්‍යවරයකු, හෙදියක හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක හෝ අවශ්‍ය නොවීම ද විශේෂත්වයකි. ලැබෙන උපදෙස් අනුව දරුවකුගේ මවට හෝ පියාට පවා දරුවාගේ අතේ එන්නත ඇලවීම පහසුවෙන් ම කළ හැකිය.

මෙම නව එන්නත් ක්‍රමය සොයා ගත්තේ, ඇමරිකාවේ මැසචුසෙට්ස් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් කණ්ඩායමකි. පීටර් ඩිමුත් ඔවුන්ගෙන් එක් අයෙකි. ඔහු ඔහු මැසචුසෙට්ස් තාක්ෂණික විශ්ව විද්‍යාලයේ ජෛව විද්‍යා ඉංජිනේරු හා වාස්තවික විද්‍යා ඉංජිනේරු අංශයේ විද්‍යාඥයෙකි. ඩිමුත්, පැහැදිලි කර ඇත්තේ, එන්නත්වලට බිය අයට පමණක් නොවෙයි, ඒඩ්ස් රෝගී තත්වය ඇති කරන එච්අයිවී ආසාදිතයන්ට, සාමාන්‍ය එන්නත් දීමේ ක‍්‍රමයෙන් සිදු වන අවදානම අඩු කිරීමට, ප්ලාස්ටර් එන්නත් යෝග්‍ය බවය. “අපට මේ ක‍්‍රමයෙන් එන්නත දෙන ආකාරය කෙළින් ම පාලනය කරන්න පුළුවන්. එන්නත ශරීර ගත කරන කාලය හා ප‍්‍රතිශක්තිය වර්ධනය කර තබා ගත යුතු කාලය නිශ්චිතව පවත්වා ගෙන යන්න පුළුවන්, එන්නත් කටු භාවිතයට ගන්න පැරණි ක‍්‍රමයට වඩා සාර්ථකව.” යැයි ඩිමුත් වැඩිදුරටත් පැහැදිලි කර තිබේ.

බීබීසී ඇසුරිනි


RECOMMEND POSTS