බෙ‍‍හෙත් නෙල්ලිවල ගුණ



පුංචි වුණත් නෙල්ලි ගෙඩියේ ඖෂධීය ගුණය පුංචි නැත. ආයුර්වේදයේදී, දේශීය වෙදකමේදී, නෙල්ලිවලට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි.

ඖෂධීය ගුණ මෙන් ම, කවුරුත් ප්‍රිය කරන පලතුරක් ලෙස නෙල්ලිවලට ඇත්තේ ඉහළ වටිනාකමකි.

ජීව පදාර්ථ මෙන් ම, ඛනිජ පදාර්ථ රැසකින් පරිපූර්ණ නෙල්ලිවල උද්භිද විද්‍යාත්මක නාමය ‘පයිලැන්තා එම්බෙලිකා’ Phylantha emblica වන අතර, එය Euphorbiaceae කුලයට අයත් වෙයි.

නෙල්ලිවල සංස්කෘත නාමය ‘ආමලකි’ වන අතර,  වල් නෙල්ලි, ගම් නෙල්ලි ලෙස නෙල්ලි වර්ග දෙකකි.

නෙල්ලි ශාඛය ඝර්ම කලාපීය සදාහරිත ශාකයකි. එසේ වුවත් උප ඝර්මකලාපීය රටවල දී වසරේ එක් කාලයකදී පැරණි පත්‍ර හැලී නව පත්‍ර හට ගැනීමක් සිදුවෙයි.

‘බෙහෙත් නෙල්ලි’ ලෙස ද හැදින්වෙන නෙල්ලි විටමින් සී අධික පලතුරකි. පලතුරු අතර විටමින් සී බහුලම පලතුර ලෙස ද සැලකිය හැකිය.

නෙල්ලි පල්ප් ග්‍රෑම් 100 ක විටමින් සී මිලි ග්‍රෑම් 250 - 1,800 ක් පමණ අඩංගුය. ඉතා වැදගත් ප්‍රතිඔක්සිකාරක හා පොලිෆීනෝල ද අඩංගු වෙයි.

නෙල්ලි ශාඛයේ ගෙඩි පමණක් නොව සියළුම කොටස් ඖෂධීය ගුණයෙන් යුක්තය.

නෙල්ලි වලින් විවිධ නිෂ්පාදන රාශියක් සැකැසිය හැකිය. සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සඳහා ඇති වැදගත්කම ද ආයුර්වේදයේ පැහැදිලිව හොදින් හඳුනාගෙන තිබේ. නෙල්ලි තිත්ත, කහට, පැණි, ඇඹුල් හා ලවණ යන රස පහකින් සමන්විතය.

නෙල්ලි වගා කිරීමට පහසු, පළිබෝධ හානි වලින් තොර, අවම වගා පාලන තත්ත්ව යටතේ වුවද හොඳින් වර්ධනය වන බෝගයකි. මෙය ගෙවතු බෝගයක් ලෙස ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාවේ ද ප්‍රකටය. 

ගර්භනී සමය තුළ නෙල්ලි වලින් ලබාගත හැකි ප්‍රයෝජන රැසකි.

හැඟීම් ශුභදායක කරයි

ගර්භනී කාලයේ අම්මලාගේ ‘මූඩ්’ නැතිනම් හැඟීම් සහ සිතුවිලි වෙනස් වෙයි. හෝමෝන වල බලපෑම ඊට විශේෂම හේතුවකි. පුංචි දේටත් ව්‍යාකූල වීමට මෙන්ම කලබලයටත් පත් විය හැකිය. මෙවැනි තත්වයන් සමනය කරන්න නෙල්ලි වලට පුළුවනි.

මළබද්ධය සමනය කරයි

මළබද්ධය ගර්භනී කාලය තුළ සුලබ තත්වයකි. නෙල්ලි වල ඇති ජීරණය පහසු කරන ෆයිබර් අඩංගු නිසා වැසිකිළි යාම පහසු කරමින් මස්පිඩු සැහැල්ලු කරයි.

තාවකාලික දියවැඩියාව

ගර්භනී කාලය තුළ ශරීරයේ ඉන්සියුලින් වල වෙනස් වීම් මත දියවැඩියා තත්වයන් ඇති විය හැකිය. නෙල්ලි වල ඇති දියවැඩියාව නැසීමේ ගුණය නිසා මෙලෙස එකවර ඇතිවෙන දියවැඩියා තත්වයන් ඇති වන්නේ නැත.

අඩු වයසින් දරුවන් ඇති වීම අඩුයි

නිතර නෙල්ලි කෑම නිසා අඩු වයසින් දරුවන් ඇති වීමේ අවධානම අඩු කරන අතර ඉපදෙන දරුවාගේ බුද්ධි මට්ටම වර්ධනය කරයි. ඒ වගේම දරුවා උපන් පසු මවට මවු කිරි නිපදවීමට ද උදවු වෙයි.

පපුවේ දැවිල්ල හා ඇසිඩ් ගතියට කදිමය

හෝමෝන ක්‍රියාකාරීත්වය නිසා පපුවේ දැවිල්ල හා ඇසිඩ් ගතිය වැඩි වීම සුලබ තත්වයකි. මේ මගින් හානියක් නොවුනත් මවට එය ඉතා අපහසුදායකය. නමුත් නෙල්ලි යුෂ පානය මීට කදිම පිළියමකි.

යකඩ වලින් පරිපූර්ණයි

ගර්භනී කාලය තුළ ඇතිවෙන රක්තහීනතාවයට නෙල්ලි හරිම ගුණදායකය.  එමගින් ශරීරයේ හිමොග්ලොබින් පාලනයට, යකඩ උරා ගැනීමට උදවු වෙන්නේ එහි ඇති විටමින් c නිසාය. මේ නිසා ගැස්ට්‍රික් සහ මළබද්ධය ඇතිවීම වළකයි.


RECOMMEND POSTS