කන්කුරුකුරුව හොඳ නෑ



කන්කුරුකුරුව ගැන දන්නවද? කන්කුරුකුරුව යනු කනෙන් ඇසෙන දෝංකාරයකි. කන්කුරුකුරුව රෝගාබාධයකි. කර්ණාබාධයකි.

මෙම රෝගාබාධයට ලක්වන්නේ කනට දරාගත නොහැකි අධික ශබ්දයක් දීර්ගකාලීනව ඇසෙද්දීය. සංගීත කණ්ඩායම්වල සාමාජික සාමාජිකාවන් සහ ඉදිකිරීම් වැඩ බිම්වල සේවකයන් වැඩි වැඩියෙන් කන්කුරුකුරු රෝගාබාධයට ලක්වන බව තහවුරු වී තිබේ.

කන්කුරුකුරුව රෝගාබාධයෙන් පෙලෙනවා නම්, පිටත ශබ්ද වෙනුවට, කන ඇතුළින් දෝංකාරයක් ඇසෙයි. ගුමුගුමු හඬක් ඇසෙයි. උරුහන් බාන හඬක් ඇසෙයි. සිරුරේ සමබරතාව රැක ගැනීමට කන වැදගත් කාර්යයක් හොබවයි. කර්ණාබාධයක් යනු ගැටලු රැසක් ඇති කරවන කාරණාවකි.

කන්කුරුකුරුව සම්බන්ධයෙන් සිදුකළ වෛද්‍ය අධ්‍යයනය පිළිබඳ විශේෂ ලිපියක්, පසුගිය දා ‘ද වීක්’ ඉන්දීය සගරාවේ සෞඛ්‍ය අතිරේකයේ පළ විය. වෛද්‍යවරුන් මෙම පර්යේෂණය සඳහා විවිධ ක්ෂේත්‍රවල රැකියාව කරන 23,000 ක් දෙනකු සම්බන්ධ කරගෙන තිබේ. ඉන්පසු ඔවුන්ගේ රැකියාව ගැනත්, ජීවන රටාව ගැනත් විමසිලිමත් වෙමින්, දත්ත රැස් කිරීම සිදු කර තිබේ.

එම 23,000 දෙනා අතරින්, නිහඬ කාර්යාල පරිසරයක රැකියාව කරන කිසිවකු කන්කුරුකුරු රෝගාබාධයට ලක් වී තිබුණේ නැත. සංගීත කණ්ඩායම්වල සාමාජිකයන්, ඉදිකිරීම් සේවකයන් අධික ශබ්ද අසන්න ලැබෙන හෙයින්, මෙම රෝගී තත්ත්වයට ගොදුරු වී ඇති බව තහවුරු විය.

කෙසේ නමුත්, නිහඬ පරිසරයක සිටියත් කන්කුරුකුරුව ඇතුළු කර්ණාබාධ රැසකට මුහුණ දුන් තරුණ තරුණියන් කිහිප දෙනකු ගැන ද අනාවරණය විය.

වෛද්‍යවරුන්ට මෙය ගැටලුවක් විය. වැඩි විස්තර සොයා බලද්දී, ඔවුන් හැමෝටම පොදු ‘පුරුද්දක්’ හෙළිදරව් කර ගැනීමට වෛද්‍යවරු සමත් වූහ.

එම තරුණ තරුණියන් පිරිස දිනකට පැය ගණනක්, ජංගම දුරකන කනේ ගසාගෙන අධික ශබ්දයෙන් ගීත ඇසීමටත්, චිත්‍රපට නැරැඹීමටත් පුරුදු වී සිටින බව හෙළි විය.

‘ඩෙසිබල් 100 ඉක්මවන හඬ කනට කිසිසේත් ම හොඳ නැහැ. විනාඩි 15 කට වඩා එක දිගට ඩෙසිබල් 100 කට වඩා වැඩි ශබ්දයක් අසන්න ලැබෙනවා නම් එය කර්ණ ආබාධ ඇති කිරීමට හේතුවක් වෙනවා.’ යැයි අධ්‍යයන වාර්තාවේ සඳහන් වෙයි.

‘ද වීක්’ හෙල්ත් ඇසුරිනි


RECOMMEND POSTS