කවුරුද මේ ඈන් කුමරිය





බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය අද (10) තෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණෙයි. 73 හැවිරිදි ඈන් කුමරිය, මෙරටට පැමිණෙන්නේ සැමියා වයිස් අද්මිරාල් ශ්‍රීමත් ටිම් (තිමොති) ලොරන්ස් ද සමය. ශ්‍රී ලංකාව සහ මහා බ්‍රිතාන්‍යය අතරේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී, වසර 75 ක් සපිරීම නිමිත්තෙන් ඈන් කුමරියගේ මෙම සංචාරය සිදුවනු ඇත. රාජකීය කටයුතුවලදී, තෙවැනි චාල්ස් රජුගේ ‘දකුණු අත’ ලෙස සැලකෙන්නේ ඈන් කුමරියයි. 2024 නව වසරේ, බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයකු ආරම්භ කරන පළමු විදෙස් සංවාරය මෙයයි. ඈන් කුමරිය ලබන 13 වැනිදා තෙක් මෙරට රැඳී සිටිනු ඇති අතර, ඇය කොළඹ, මහනුවර සහ යාපනයේ චාරය කිරීමටනියමිතය. ඈන් කුමරිය සහ ජනාධිපති රනිල් වික්‍රමසි මහතා අතරේ හමුවක්  පැවැත්වෙයි.
ඈන් එලිසබෙත් ඇලිස් ලුයිස් කුමරියගේ උපත සිදුවූයේ 1950 අගෝස්තු දෙවැනිදා පෙරවරු 11.50 ට ක්ලැරන්ස් හවුස් මන්දිරයේදීය. ඇය දෙවන එලිසබෙත් මහ රැජිනගේ සහ එඩින්බරෝ ආදිපාදවරයා වන පිලිප් කුමරුන්ගේ දෙවන දරුවා සහ එකම දියණියයි. ඇය තෙවැනි චාල්ස් රජුගේ එකම සහෝදරියයි. ඈන් කුමරිය උපන් අවස්ථාවේ, බ්‍රිතාන්‍ය රජ කිරුළට හිමිකම් කී තෙවැනි රාජකීයයා වූයේ ඇයයි. කෙසේ නමුත් අද, ඇය සිටින්නේ එම ලැයිස්තුවේ 17 වැනි ස්ථානයේය. 
ඈන් කුමරිය පළමු වරට ප්‍රසිද්ධියේ ජනතාව අතරේ පෙනී සිටියේ, 1969 වසරේදීය. ඒ, 18 හැවිරිදි ඇය, ෂ්‍රොප්ෂයර් හි අධ්‍යාපනික සහ පුහුණු මධ්‍යස්ථානයක් විවෘත කිරීමට ගිය අවස්ථාවේදීය. ඈන් කුමරිය පුණ්‍ය කටයුතුවලටත් සමාජ සේවයටත් ජීවිතය කැප කළ තැනැත්තියකි. ඇය ළමා සුබසාධනය වෙනුවෙන් පිහිටුවා ඇති ‘සේව් ද චිල්ඩ්රන්’ පුණ්‍යායතනයේ සභාපතිනිය ලෙස කටයුතු කරන්නේ 1970 වසරේ සිටය. ඇය බ්‍රිතාන්‍යයේත් විදේශවලත් පුණ්‍යායතන 300 ක ඇය ක්‍රියාකාරී සාමාජිකාවකි. 

ඈන් කුමරිය අශ්වයන්ට ප්‍රිය කරයි. ඇය බ්‍රිතාන්‍ය රාජකීය අශ්වාරෝහක බලඇණියේ සාමාජිකාවකි. 1976 වසරේ මොන්ට්‍රියල් ඔලිම්පික් උළෙලට ඇය තුරඟ තරගකාරියක සහභාගී වූවාය. ඒ, බ්‍රිතාන්‍ය අශ්වාරෝහක කණ්ඩායමේ සාමාජිකාවක ලෙසිනි. ඔලිම්පික් ක්‍රීඩා උළෙලකට සහභාගී වූ පළමු බ්‍රිතාන්‍ය රාජකීයයා වන්නේ ද ඈන් කුමරියයි.
ඈන් කුමරිය දෙවරක් විවාහ වී ඇත. පළමු විවාහය සිදුවූයේ 1973 වසරේදීය. පළමු සැමියා කැප්ටන් මාර්ක් පිලිප්ස් ය. දෙදෙනා එකිනෙකාගෙන් වෙන් වී ජීවත් වූයේ 1989 වසරේ සිටය. දික්කසාදය සිදුවූයේ 1992 වසරේදීය. ඈන් කුමරියටත්, කැප්ටන් මාර්ක් පිලිප්ස්ටත් දියණියක් සහ පුතෙක් සිටිති. පීටර් පිලිප් සහ සාරා පිලිප් ටින්ඩල් යනු ඔවුන් දෙදෙනාය. පීටර් උපන්නේ 1977 වසරේය. සාරා උපන්නේ 1981 වසරේය. 
1992 වසරේ, කැප්ටන් මාර්ක් පිලිප්ස් සමඟ දික්කසාද වී මාස කීපයක් ඇතුළත, ඈන් කුමරියගේ දෙවැනි විවාහය සිදුවිය. ඒ, වයිස් අද්මිරාල් ශ්‍රීමත් ටිට් ලොරන්ස් සමඟය. වයිස් අද්මිරාල් ශ්‍රීමත් ටිම් (තිමොති) ලොරන්ස් දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ අශ්වාරෝහක බලඇණියේ සාමාජිකයකු වී සිටියේය. 

අද ඈන් කුමරිය මිණිපිරියන් සිවු දෙනකුගේ අත්තම්මා කෙනෙකි. ඈන් කුමරියගේ එකම දියණිය සාරා ෆිලිප්ස්, 2012 ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වූවාය. ඒ, බ්‍රිතාන්‍ය අශ්වාරෝහක කණ්ඩායම නියෝජනය කරමිණි. සාරා සහ ඇගේ කණ්ඩායම එම ඉසව්වේ රිදී පදක්කම දිනාගත් අතර, ඔලිම්පික් උළෙලකදී පදක්කම් දිනූ බ්‍රිතාන්‍ය රජ පවුලේ පළමු සාමාජිකයා වන්නේ ඇයයි.
1974 වසරේ සිට ඈන් කුමරිය, රාජකීය නාවික සේවයේ ප්‍රධාන අණදෙන නිලධාරියා ලෙස කටයුතු කර තිබේ. 1993 වසරේ දී, කාන්තා රාජකීය නාවික සේවය රාජකීය නාවික හමුදාවට ඒකාබද්ධ කිරීමෙන් පසු, රාජකීය නාවික හමුදාවේ කාන්තා ප්‍රධාන අණදෙන නිලධාරිනිය ලෙස ඈන් කුමරියගේ තනතුර වෙනස් විය. බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවට අයත් නෞකා පහක්, ඈන් කුමරියට ගරු කරමින් නම් කර තිබේ.  
1974 වසරේ දී ඈන් කුමරිය පැහැරගෙන යෑමේ තැතක් සිදුවිය. ඒ ඇය සාප්පු සංකීර්ණයකට ගිය අවස්ථාවේදීය. ඈන් කුමරිය, බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල හතරක කුලපතිවරිය ලෙස ද කටයුතු කරන්නීය. කුමරියගේ නිල විදේශ සංචාර ගණන 480 කි. කුමරිය සෑම මහද්වීපයකම සංචාරය කර තිබේ. 1954 අප්‍රේල් 22 වැනිදා කුඩා ඈන් කුමරිය මෝල්ටාවට ගියාය. ඒ, මෑණියන්, එලිසබෙත් මහ රැජින සමඟය. එය ඇගේ පළමු විදෙස් සංචාරයයි. ඒ වනවිට ඇගේ වයස අවුරුදු හතරකි. 1971 වසරේ දී, පළමු ආසියානු සංචාරය ආරම්භ කරමින් ඈන් කුමරිය ඉරානයට ගියාය. 1990 වසරේ දී සෝවියට් රජයේ විශේෂ අමුත්තියක ලෙස ඇය සෝවියට් රුසියාවේ නිල සංචාරයකට එක් වූවාය. සෝවියට් රුසියාවට ගිය පළමු බ්‍රිතාන්‍ය රාජකීයයා වන්නේ ඈන් කුමරියයි.

RECOMMEND POSTS