AGT අලුත්ම සුපිරි තරුව



සුපිරි ගායන තරු බිහි කරන, ‘ඇමෙරිකාස් ගොට් ටැලන්ට්’ AGT - America's Got Talent රියැලටි තරගාවලියේ 19 වැනි දිග හැරුම මේ දිනවල ඇමෙරිකාවේ, එන්.බී.සී රූපවාහානී නාළිකාව ඔස්සේ විකාශය වෙයි. පසුගිය මැයි 28 වැනිදා ‘ඇමෙරිකාස් ගොට් ටැලන්ට්’ වැඩසටහන ආරම්භ වූයේ ජනප්‍රිය රූපවාහිනී තරු කැළ සයිමන් කැවෙල්, නිළි සොෆියා වර්ගාරා, නිරූපිකා හෙඩී ක්ලම් සහ ප්‍රහසන ශිල්පී හවී මැන්ඩෙල් විනිසුරු මඬුල්ල ලෙස ඔවුන්ට නියමිත අසුන්වල අසුන් ගෙන සිටිද්දීය. උද්දාමයට පත්වුණු නරඹන්නෝ පිරිසක් ඔවුන් පසුපස වූහ. රියැලටිය මෙහෙය වීම කළේ රංගන ශිල්පී ටෙරී කෲට්ස්ය.

තරඟයට ඉදිරිපත් වූ ගායක ගායිකාවන් අතරේ, ස්ථූල සිරුරකට හිමිකම් කී මැදි වියේ පිරිමියෙක් විය. තරමක් ලොකු අත් කොට කළු කමිසයකින් සහ කලිසමකින් සැරසී සිටි ඔහු, පැසුණු හිස කෙස් වැසෙන්න තොප්පියක් පැලඳ සිටියේය. උපැස් යුවලක් පැලඳ සිටියේය. මේ හාදයා, ඉන්දියානා ජනපදයේ ටෙරාහෝ නගරයේ පදිංචි රිචඩ් ගූඩෝල් ය. අද රිචඩ් සමාජ මාධ්‍ය හරහා අතිශය ජනප්‍රිය චරිතයකි. එසේත් නැතිනම් ‘ට්‍රෙන්ඩිං’ චරිතයකි. ‘ඇමෙරිකාස් ගොට් ටැලන්ට්’ රසිකයන් පමණක් නොවෙයි; මුළු ඇමෙරිකාවට අද ඔහුට ආදරේ කරයි. අහිංසක, නිහතමානී, කැළෑටි චරිතයක් වන රිචඩ්, වසර විසි ගණනක් තිස්සේ පාසලක පිරිසුදු කිරීමේ සේවකයකු ලෙස රැකියාව කරයි.

එදා රිචඩ් ගූඩෝල් ඔහුගේ ගායන හැකියාව විනිසුරුවරුන් සහ නරඹන්නන් ඉදිරියේ ප්‍රදර්ශනය කිරීමට තිරයෙන් පිටුපස සූදානමින් සිටියේය. ටෙරී කෲට්ස්, සුපුරුදු ලෙන්ගතුකමින් රිචඩ් සමඟ දොඩමලු විය.

රිචඩ් ගූඩෝල් - මම ඉන්දියානා ජනපදයේ ටෙරාහෝ පදිංචිකරුවෙක්. මම මුළු ජීවිත කාලයම ගත කළේ ටෙරාහෝ නගරයේ තමයි. පුංචි කාලේ ඉදලා රේඩියෝවෙන් සිංදු අහන්න මම හරිම ආසයි. ගීත ගායනය තමයි මගේ ජීවිතේ. මා ඉහළට ඉගෙන ගත්තු කෙනෙක් නොවෙයි. මගේ රැකියාව ගැන කියනවා නම්, මම පිරිසුදු කිරීමේ සේවකයෙක්. මම තමයි වෙස්ට් වීගෝ ද්විතීක පාසලේ පිරිසුදු කිරීම් කරන්නේ. ඒ, පාසල තියෙන්නේ මගේ නිවසට නුදුරින්. ඒ නිසා යන්න එන්නත් පහසුයි.”

ටෙරී කෲට්ස් - ජීවිතේ සාර්ථක කර ගන්න මම මුලින්ම ලොස් ඇන්ජලීස් ආපු වෙලාවේ මට රැකියාවක් තිබුණේ නැහැ. මම කළේ අවන්හල්වල බිම අතුගා පිරිසුදු කිරීමයි. මම ඒ වැඩ කළේ සතුටින්. මම තනිවම ගී ගයනවා.

රිචඩ් ගූඩෝල් - මමත් එහෙමයි. මම සමාජශීලී චරිතයක් නොවෙයි. යාළුවෝ නැහැ. මම උදේ ඉදන් මහන්සිවෙලා වැඩ කරනවා. පාසල පිරිසුදු කරනවා. පංති කාමර සහ වැසිකිළි පිරිසුදු කරනවා. හැමතැනම ලස්සන කරනවා පොඩි දරුවන් වෙනුවෙන්. එයාලා සතුටින් තියන්නයි මට ඕනෑ. මම මුලින්ම පොඩි දරුවන් ඉදිරියේ තමයි ගී ගායනා කළේ. මගේ ගායනා ඇසෙද්දී, පොඩ්ඩෝ මා වටා රොක් වෙනවා. එයාලා තමයි මාව උනන්දු කරන්නේ. 2009 වසරේ දීත් මම ඇමෙරිකාස් ගොට් ටැලන්ට් රියැලටියට ඇයදුම් කළා. ඒත් ජනපද මට්ටමින් ඉදිරියට එන්න බැරිවුණා. ඒත් මේ වතාවේ එහෙම වුණේ නැහැ. මූලික වටයේදී මාව තේරුණා. දැන් මම ඉන්නේ නොඉවසිල්ලෙන්; චකිතයෙන්. විනිසුරුවරුන් මොනවා කියාවිදැයි හිතා ගන්න බැහැ. ඒ ගැන සිතද්දී හිරිගඩු පිපෙනවා. මේ බලන්න.

රිචඩ් එසේ කීවේ, ඔහුගේ එක් අතක් කැමරාවට පෙන්වමිනි. රිචඩ් මයික්‍රෆෝනය අතැතිව, වේදිකාවේ මැදට ඇවිද ආවේ අත්පොලොසන් හඬ මධ්‍යයේය. ඔහු වේදිකාව මැද නතර විය. රිචඩ් අමතමින් මුලින්ම හඬ අවදි කළේ සයිමන් කැවෙල් ය.

සයිමන් - මොකක්ද ඔබේ නම?රිචඩ් - මම රිචඩ් ගූඩෝල්. ආවේ ඉන්දියානා ජනපදයේ ටෙරාහෝ නගරයේ ඉදලා”
සයිමන් - ඔබේ වයස කීයද?
රිචඩ් - අවුරුදු 55
සයිමන් - ඔබේ රැකියාව කුමක්ද?
රිචඩ් - අවුරුදු 23 ක් තිස්සේ මම පිරිසුදු කිරීමේ සේවකයෙක් විදියට වැඩ කරනවා. පාසලේ පොඩි දරුවෝ මට කියන්නේ මිස්ටර් රිචඩ් කියලයි.
සයිමන් - කියන්න, මොකක්ද ඔයාගේ ලොකුම හීනය?
රිචඩ් - මම ආසයි ගි ගයන්න. මගේ හීනය එයයි
සයිමන් - ඔයා අද මෙතැනට සිංදු කියන්න ආවා හැමෝම දන්නවාද?
රිචඩ් -  මට සමීප යාළුවන් කීප දෙනෙක් විතරයි දන්නේ. ඒ වගේමයි මම බඳින්න ඉන්න කෙනා ඇන්ජි.
(ඒ සමඟම නරඹන්න්නන්ගේ කෑකෝ හඬ මැද ඔවුන්ගේ අත්පොලසන් නාදය ඇසෙන්න පටන් ගත්තේය. රිචඩ්ගේ මුහුණ ලැජ්ජාවෙන් පිරී ගියේය.)
 

සයිමන් - ඇය අද මෙතැන ඉන්නවාද?
රිචඩ් -  නැහැ.
සයිමන් - මේ වැඩසටහන අවසන් වුණු සැණින් ඔබ ඇමතුමක් දෙන්නේ ඇයට නේද?
රිචඩ් -  ඒක ඇත්ත
සයිමන් - ඔබ මොකක්ද ගායනා කරන ගීතය? ඇයි ඔබ ඒක තෝරා ගත්තේ?
රිචඩ් -  ඇත්තම කියනවා නං, ඒ ඇයි කියන දේ ගීතයේ තියෙනවා. ඒක ඔබට වැටහේවි.
සයිමන් - හරි. එහෙනම් මම තව ප්‍රශ්න අහන්නේ නැහැ. මම සුබ පතනවා

රිචඩ් ගූඩෝල් සිටියේ නොඉවසිල්ලෙනි. ඒ බව සයිමන් ඇතුළු නරඹන්න්ට හොඳින් පෙනෙන්න විය. ‘ඔබ ඉන්නේ නොඉවසිල්ලෙන්. කලබල වෙන්න එපා’ යැයි සයිමන් පවසද්දී, නරඹන්නන්නෝ අත්පොලසන් දෙමින් රිචඩ් දිරි ගන්වන්න පටන් ගත්හ. එය ඔහුට ශක්තියක් විය. ‘අපි හැමෝම ඔබ සමඟඉන්නවා රිචඩ්. කලබල වෙන්න එපා.’ එසේ කීවේ සයිමන්ය.

රිචඩ් ගූඩෝල් තෝරාගෙන තිබුණේ එසේ මෙසේ ගීතයක් නොවෙයි. ඔහු තෝරාගෙන තිබුණේ ‘ජර්නි’ සංගීත කණ්ඩායමේ ‘ඩෝන්ට් ස්ටොප් බිලීවිං’ රොක් ගීතයයි. ‘ඩෝන්ට් ස්ටොප් බිලීවිං’ එළිදැක්වූයේ 1981 වසරේදීය. එය එක රැයින් ජනප්‍රිය විය. උත්සාහය අත්හරින්න එපා යන අදහස ඇති මෙය ගීතය 80 දශකයේ පමණක් නොව, අදත් ජනප්‍රිය ගීතයකි. රිචඩ් හඬ නගා ගීය ගායනා කරද්දී, විනිසුරු මඩුල්ලේ සිටි සොෆියා සහ නිරූපිකා හෙඩී පමණක් නොව, හවී ද අසුන්වලින් නැගිට රිචඩ් සහාය දක්වමින් අත්පොලොසන් දෙමින්, රිචඩ් සමඟ ගීතය ගායනා කරන්න වූහ.

රිචඩ්ගේ ගායනය විනිසුරුවරුන්ටත්, නරඹන්නන්ටත් අපූරු අත්දැකීමක් විය. අවුරුදු ගණනක් පාසලක පිරිසුදු කිරීමේ සේවකයකු ලෙස රැකියාව කරන ඒ නිහතමානී මිනිසා අසුරු සැණින් සියලු දෙනා වසඟ කරගෙන සිටියේයය. මිනිත්තු කීපයකය ගීත ගායනය නිමා වූයේ ඔල්වරසන් මැදය. ගායනය අවසන් වෙද්දී අත්පොලොසන් දෙමින් සයිමන් ද සිය අසුනින් නැගිට ගත්තේ, සිය මනාපය රිචඩ් ට හිමිවන බව පෙන්වමිනි. ‘රිචඩ්!’, ‘රිචඩ්!!’ යනුවෙන් නරඹන්නන් කෑ ගසන්න විය.

‘රිචඩ් ඔයා මගේ වීරයා. ඒක ඇත්තටම හරිම අපූරු ගායනයක්. ඔබ ඒ ගායනය කළේ ඔබේ හදවතින්මයි. අපූරුයි’ යැයි සයිමන් පවසද්දී, රිචඩ්ගේ නෙත් කඳුලින් තෙත් වනු දැක ගත හැකි විය. ‘මට විශ්වාසයි, මේ වැඩසටහන බලන කවුරුත් ඔබට ආදරේ කරාවි. ඇමෙරිකාව ඔබට ආදරේ කරාවි.’ ඒ සයිමන්ගේ අදහසය. ‘රිචඩ්!’, ‘රිචඩ්!!’ යනුවෙන් නරඹන්නන් කෑ ගසන්න විය. ‘ඒක ඇත්තටම අපූරුයි. ඔබ හරිම අපූරුයි. හරිම ලස්සනයි. ඔබ අපි හැමෝම පුදුම කළා.’ යැයි පැවැසුවේ සොෆියා ය. ‘ඔබ ඔබේ ගායන හැකියාව උප මට්ටම් කරගෙන තියෙනවා. අපූරුයි. ඔබ රැකියාව කරන පාසලේ හැම දරුවෙක්ම මේ වෙලාවේ ඔබේ ගායනය අසා සතුටු වෙනවා නොඅනුමානයි’ යනුවෙන් හාවී, රිචඩ් ට ප්‍රසංශා කළේය.

අවසානයේ අදහස් දැක්වූයේ හෙඩී ය. ‘රිචඩ්, රිචඩ් රිචඩ්. ඔබ මාව උමතු කළා. ඔබේ ගායනය ඇසීමෙන් අපි කවුරුත් උමතු වුණා. එහෙම නැහැ කියලා කියන්න විදියක් නැහැ. ඉතිං මම මට පුළුවන් දේ කරනවා ඔබ වෙනුවෙන්.’ යැයි කී හෙඩී, ගෝල්ඩන් බසරය තද කෙරුවාය. ඒ, සෙසු විනිසුරුවරුන් සහ නරඹන්නන් මවිත කරමිනි.

‘ඇමෙරිකාස් ගොට් ටැලන්ට්’ රියැලටි තරගාවලියේ තරගකරුවකුට හෝ තරගකාරියකට කහ පැහැති බසරය හිමිවීම යනු කෙළින්ම අවසන් වටයේ තරගවලට යෑමට ඇති විශේෂ අවස්ථාවකි. තහ පැහැති බසරය තද කරමින්, විනිසුරුවරයකුගේ මනාපය හිමිවන්නේ ඉතාමත් සුවිශේෂී ගායන හැකියාව ඇති අයකුට පමණි. මෙවර ඒ සුවිශේෂී හැකියාව පෙන්නුම් කළේ රිචඩ්ය. ‘ඇමෙරිකාස් ගොට් ටැලන්ට්’ රියැලටිය රිචඩ්ගේ ජීවිතය උඩු යටිකුරු කළේ එලෙසිනි.


RECOMMEND POSTS