පාකිස්තාන යුවතියට ඉන්දීය හදවතක්
වසර 89 ක් තිස්සේ ඉන්දියාව බ්‍රිතාන්‍යයේ යටත් විජිතයක් විය. 1947 දී බ්‍රිතාන්‍යයෙන් ඉන්දියාවට නිදහස හිමිවූයේ, හින්දු මුස්ලිම් භේදයක් ඇති කර, ඉන්දියාව දෙකඩ කරමිණි. මුස්ලිම් බහුතරය ජීවත් වූ පළාත් පාකිස්තානය ලෙස වෙනම රාජ්‍යයක් බවට පත්විය. පාකිස්තානය නිර්මාණය වෙද්දී, එම ප්‍රදේශවල ජීවත් වුණු හින්දු වැසියෝ ඉන්දියාවට පැමිණියහ. හින්දු අන්තවාදීන්ගේ කෙණෙහිකම් මැද ඉන්දියාවේ ජීවත් වූ මුස්ලිම් වැසියෝ අලුතින් බිහිවුණු පාකිස්තානය බලා ගියහ. ඉන්දියාවටත් පාකිස්තානයටත් මැදිව පිහිටි ජම්මු කාශ්මීරයේ අයිතිය සම්බන්ධයෙන් හටගත් අර්බුදය උත්සන්න වෙද්දී, ඉන්දියාවත් පාකිස්තානයත් අවස්ථා කීපයකදී යුද වැදුණි. අද අවි අමෝරා ගනිමින් සිටින ඉන්දියාවත් පාකිස්තායත් අතරේ ‘විරසකයක්’ පවතින්නේ මේ නිසාය. දෙරට අතර පවතින ‘විරසකය’ සමථයකට පත්වන ලකුණු පෙනෙන්න නැත. හේතුව, ඉන්දීය දේශපාලනඥයන්ට හෝ පාකිස්තාන දේශපාලනඥයන්ට හෝ එසේ කිරීමට අවශ්‍යතාවක් නොමැති වීමය.
මේ අයුරින් විරසක පවතින්නේ ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ පමණක් නොව, යුක්රේනය සහ රුසියාව අතරේත්, ඊශ්‍රායලය සහ ගාසා පලස්තීනය අතරේත් විරසක පවතී. මේ මොහොත වනවිට ඊශ්‍රායලය, ගාසා තීරයට පහර දෙන්නේත්, රුසියාව යුක්රේනයට පහර දෙන්නේත් එම විරසක ඔඩුදුවා ඇති නිසාය. මිහිමත ආධිපත්‍ය පතුරුවා ගත් මිනිසා නමැති සත්වයා, මිහිමත සහජීවනයෙන් වාසය කිරීමට දන්නේ නැත. අතීතයේ පටන් එය එසේමය. ආගම් වශයෙන් බෙදී වෙන් වී සිටීම මෙයට හේතුවය. එකිනෙකාට ගරු කරමින්, ආදරය කරමින්, කරුණාව පාමින්, බෙදාහදාගෙන ජීවත් වීමට මනුෂ්‍ය සත්වයා දන්නේ නැත. කුමන ආගමක් ඇදහුවත්, කුමන දෙවියන්ට වන්දනාමාන කළත්, සමේ පැහැය කුමක් වුවත් අප කාගේත් සිරුරේ දුවන ලේ රතු පාට නොවේද? අප හැමෝගෙම හදවත් ගැහෙන්නේ එකම හඬින් නොවේද?
අයේෂා රෂාන්, 19 හැවිරිදි පාකිස්තාන දැරියකි. මුස්ලිම් දැරියකි. මව සහ පියා සමඟ රෂාන් ජීවත් වන්නේ පාකිස්තානයේ කරච්චි නුවරය. පාකිස්තානයේ වෙළෙඳ අගනුවර ලෙස සැලකෙන්නේ කරච්චිය. 2019 වසරේ, අයේෂා හිටිහැටියේ සිහිසුන් වූයේ ඇගේ මාපියන් බියට පත් කරමිණි. වෛද්‍ය පරීක්ෂණයට යොමු කළ විට එම බිය තවත් වැඩි විය. අයේෂා හදවත් රෝගියකු වූවාය. ඇගේ ජීවිතය අවදානම් විය. කරච්චි වෛද්‍යවරුන් පෙන්වා දුන්නේ අයේෂාට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් පාකිස්තානයේ නොමැති බවය. ඒ අනුව, අයේෂා අසල්වැසි හින්දු බහුතරයක් වෙසෙන ඉන්දියාවට ගෙන යෑමට තීරණය කෙරුණි.
පවුලේ සාමාජිකයන්, නෑදෑ හිතවතුන් මැදිහත් වී, අයේෂා, ඉන්දියාවේ, තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නුවර ‘එම්.ජී.එම්’ රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් වෙත යොමු කෙරුණි. 2019 වසරේ සිට මේ දක්වා අයේෂා ඇගේ ජීවිතයෙන් වැඩි කාලයක් ගත කළේ ඉන්දියාවේය. 2019 වසරේ සිට ප්‍රතිකාර ආරම්භ කෙරුණත්, අයේෂාගේ තත්ත්වය යහපත් අතර නොහැරෙන බව වෛද්‍යවරුන් මුල සිටම පෙන්වා දී තිබුණි. ඇය ‘ඊසී.එම්.ඕ.’ දිවි සුරැකුම් යන්ත්‍රයකට සම්බන්ධ කෙරුණි. හදවත් සහ පෙනහළු අක්‍රිය රෝගීන්ගේ සිවි සුරකින යන්ත්‍රය ලෙස සැලකෙන්නේ ‘ඊසී.එම්.ඕ.’ යන්ත්‍රයයි.
වෛද්‍යවරුන් අනාවැකි පළ කළ ආකාරයටම, අයේෂාගේ හදවත දිනෙන් දින දුර්වල වී, අවසානයේ ලේ පොම්ප කරන කපාටයක කාන්දුවක් හටගත්තේය. අයේෂා ජීවත් කරවීමට නම්, ඇයට හදවත් බද්ධයක් කළ යුතුම විය. හදවතක් බද්ධ කිරීමට නම්, ඉන්දීය රුපියල් ලක්ෂ 35 කට වඩා මුදලක් වැය වනු ඇතැයි වෛද්‍යවරුන් දැනුම් දෙද්දී අයේෂාගේ මාපියන්ට දොලොව රත් විය. එතරම් මුදලක් ඔවුන් සතු නොවිණි.
‘එම්.ජී.එම්’ රෝහල මාර්ගයෙන්, අයේෂා ගැන දැනගත් ඉන්දීය හදවත් සහ පෙනහළු බද්ධ කිරීමේ ආයතනයේ ප්‍රධානී, වෛද්‍ය කේ.ආර්. බාලක්‍රිෂ්ණන් සහ සභාපති වෛද්‍ය සුරේෂ් රාඕ වහා මැදිහත් වී, අයේෂාගේ පිහිටට පැමිණියහ. කඩිනමින් අයේෂා රෂාන්ට සැත්කම සිදු කිරීමටත්, අවශ්‍ය සහාය ලබා දීමටත් මොවුහු දෙදෙනා මැදිහත් වූහ. ඒ අනුව, සැත්කමට අදාල සියලු වියදම්, චෙන්නායි ‘අයිශ්වර්යාම් අරමුදලින්’ ගෙවනු ලැබුණි. සෙසු බර පැන දැරුවේ එම්.ජී.එම්’ රෝහලය.
අයේෂා ට ගැලපෙන විදියේ හදවතක් කඩිනමින් ලබා ගැනීමට හැකිවූයේ වෛද්‍ය කේ.ආර්. බාලක්‍රිෂ්ණන් සහ වෛද්‍ය සුරේෂ් රාඕ මැදිහත් වූ නිසාමය. සාමන්‍යයෙන් හදවත් හෝ පෙනහළු බද්ධ කිරීමකදී රෝගියාට පොරොත්තු ලේඛනයේ බලා සිටීමට සිදුවුවත්, අයේෂාගේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින් ඇයට ප්‍රමුඛතාවක් ලැබුණි. විදේශිකයකුට මේ අයුරින් ඉන්දියාවේ දී හදවත් බද්ධයක් කිරීම කළ නොහැකි අසීරු දෙයකි. ඒත් වෛද්‍යවරුන්ගේ පිහිටෙන්, දේව කරුණාවෙන් ඇයට හදවතක් ලැබුණි. ඇයට ලැබුණේ 69 හැවිරිදි ඉන්දියානුවකුගේ හදවතකි. එම පුද්ගලයා නවද්ලියේ වැසියෙකි. මොළය මියගිය අයෙකි.
සැත්කමින් පසු තමන්ට ප්‍රතිකාර කරමින්, තමන් රැක බලාගත් වෛද්‍යවරුන් හෙද හෙදියන් ද ඇතුළු ‘එම්.ජී.එම්.’ රෝහලේ සියලු කාර්ය මණ්ඩලයට අයේෂා ස්තුති කිරීමට අමතක කළේ නැත. ‘ඇය (අයේෂා) අපට අපේ දියණියක් වගේ. ජාතික කුමක් වුවත්, ආගම කුමක් වුවත්, සමේ පාට කුමක් වුණත්, සෑම ජීවිතයක්ට වටිනවා’ යැයි වෛද්‍යවරුන් පැවැසුවේ, නිහතමානී ආඩම්බරයකිනි.
සුවය ලබා රෝහලෙන් පිට වී යෑමට සූදානම් වෙද්දී, අයේෂා ගැන දැනගත් මාධ්‍යවේදීන් ඇය සහ ඇගේ මව සොනාබාර් වට කර ගත් අවස්ථාවේදී, ඇය ඉන්දීය රජයට ස්තුති කළාය. ඉන්දීය රජයට කෘතඥ වන බව පැවැසුවාය. හදවත් සැත්කමක් වැනි බරපතල විදියේ සැත්කමක් සිදු කිරීමට පාකිස්තාන රෝහල්වල (පෞද්ගලික අංශයේ පවා) පහසුකම් නැත. වෛද්‍ය පහසුකම් පමණක් නොව, දක්ෂ වෛද්‍යවරුන් ද නැත. අද පාකිස්තානය ආර්ථික අර්බුදයකට මුහුණ දෙන රාජ්‍යයකි. හදවත් බද්ධයක් කළ යුතු යැයි කරච්චි වෛද්‍යවරුන් පැවැසූ අවස්ථාවේදී, ඔවුන්ම වැඩි දුරටත් කියා සිටියේ, පාකිස්තානයේ හදවත් බද්ධ කිරීම සම්බන්ධ ආයතනයක් හෝ නොමැති බව යැයි අයේෂාගේ මව ඉන්දීය මාධ්‍යවේදීන් හමුවේ පැහැදිලි කළාය. ‘අයේෂා දැන් ඔයා ආපසු ගෙදර යනවා. පාකිස්තානයට යනවා. මොනවද ඔයාගේ අනාගත බලාපොරොත්තු’ යැයි රෝහලෙන් නික්ම යද්දී, එක් මාධ්‍යවේදිනියක අයේෂාගෙන් විමසුවාය. ‘මම ආසයි මෝස්තර නිර්මාණ ශිල්පිනියක් වෙන්න’ ඒ, අයේෂාගේ පිළිතුර විය.
ඉන්දීය මාධ්‍ය ඇසුරිනි.