ෆයිසර් එන්නතට බහරේනයේ අනුමැතිය



ඇමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයොඇන්ටෙක් ඖෂධ සමාගම් එක් වී, ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය වළක්වන එන්නත බහරේන් වැසියන්ට ලබා දීමට බහරේන් රජයේ අනුමැතිය හිමිවී ඇත.

ඒ අනුව, ෆයිසර් සහ බයොඇන්ටෙක් කොරෝනා වළක්වන එන්නතට අනුමැතිය ලබා දුන් ලොව දෙවැනි රට ලෙස සැලකෙන්නේ බහරේනයයි. ෆයිසර් සහ බයොඇන්ටෙක් එන්නතට පළමුවෙන් අනුමැතිය දුන් රට වන්නේ මහා බ්‍රිතාන්‍යයයි.

ෆයිසර් සහ බයොඇන්ටෙක් එන්නතට හෝ නිපදවා ඇති සෙසු කොරෝනා වළක්වන එන්නත්වලට හෝ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය මෙතෙක් හිමි වී නැත. එසේ වුවත්, එක්සත් රාජධානිය සහ බහරේනය එන්නත ජනතාවට ලබා දෙන්නේ හදිසි තත්ත්වයක් යටතේය.

එන්නත මිලදී ගෙන එය බහරේන වැසියන්ට ලබා දීමට කටයුතු කරන බව නිවේදනය කළේ බහරේන ජාතික සෞඛ්‍ය නියාමන කොමිසමය. රටේ ‘කොවිඩ් 19’ වයිරස ව්‍යාප්තියට කඩිනම් ප්‍රතිචාර දැක්වීමක් ලෙස එන්නත ලබා ගැනීමට පියවර ගන්නා බව බහරේන ජාතික සෞඛ්‍ය නියාමන කොමිසම වැඩි දුරටත් පවසා තිබේ.

චීනයේ සිනොෆාම් ඖෂධ නිෂ්පාදන සමාගම ද කොවිඩ් 19 වයිරසයට එරෙහිව එන්නතක් නිපවදා ඇති අතර, හදිසි තත්ත්වයක් යටතේ එම එන්නත බහරේන සෞඛ්‍ය සේවකයන්ට නොමිලේ ලබා දීමට මීට පෙර බහරේන ජාතික සෞඛ්‍ය නියාමන කොමිසම කටයුතු කළේය.

කෙසේ නමුත් ෆයිසර් සහ බයොඇන්ටෙක් එන්නත ගෙන්වීම සිදුවන්නේ කවදාදැයි බහරේන රජය කිසිවක් පවසා නැත. මේ වනවිට බහරේනයෙන් වාර්තා වන ‘කොවිඩ් 19’ අසාදිතයන් ගණන 87,732 ක් වන අතර මරණ වාර්තා වන්නේ 341 ක් ලෙසය. ඇමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයොඇන්ටෙක් ඖෂධ සමාගම් එක් වී නිපදවූ එන්නතට අනුමැතිය දුන් දෙවැනි රට බහරේනය වුවත්, මැදපෙරදිග රටවල් අතරින්, එන්නතට අනුමැතිය ලබා දුන් පළමු රට වන්නේ බහරේනයයි.

මේ අතර, තමන් නිපදවූ කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වළක්වන එන්නතට අනුමැතිය දෙන්නැයි ඇමෙරිකාවේ ෆයිසර් සමාගම, ඉන්දියාවෙන් ඉල්ලීමක් කර තිබේ.

ෆයිසර් සමාගම, මෙම ඉල්ලීම කර ඇත්තේ ඉන්දියාවේ ඖෂධ පාලන අධිකාරියෙනි. හදිසි තත්ත්වයක් සේ සලකා ඉන්දියානුවන්ට එන්නත ලබා දීමට, එන්නත සඳහා අනුමැතිය ලබා දෙන්නැයි ෆයිසර් සමාගම ඉන්දීය ඖෂධ පාලන අධිකාරියෙන් ඉල්ලා ඇති බව ඉන්දීය මාධ්‍ය ඊයේ (5) වාර්තා කළේය.

කෙසේ නමුත් ඉන්දියාවේ ඖෂධ පාලන අධිකාරිය මේ සම්බන්ධයෙන් තවමත් පිළිතුරක් ලබා දී නැත. මේවනවිට ලොව දෙවැනියට වැඩිම ආසාදිතයන් වාර්තා වන රට ඉන්දියාවය. අද (6) වනවිට ඉන්දියාවෙන් වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන 9,644,529 ක් වන අතර සමස්ත මරණ වාර්තා වූයේ 1,40,216 ක් ලෙසය.

මනාමා නුවරදීය (රොයිටර්)


RECOMMEND POSTS