ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්



ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රමුඛ රජය තීරණය කර ඇත.

පසුගිය දා ඉරානය ඊශ්‍රායලයට මිසයිල 200 කින් පමණ පහර දුන්නේය. එහ ප්‍රහාර වලක්වා ගැනීමට ඊශ්‍රායලය සමත් විය. එහිදී ඇමෙරිකාවේත් එක්සත් රාජධානියේත් සහාය ඊශ්‍රායලයට හිමිවිය. ඉරානය එල්ල කළ එම ප්‍රහාරය තරයේ හෙලා දැකීමට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ක්‍රියා නොකළ බව ඊශ්‍රායලය කියයි. 

‘ඉරානය එල්ල කළ එම කුරිරු සහාසික ප්‍රහාරය අවිවාදාත්මකය හෙලා දැකීමට ජගත් මහ ලේකම්වරයා කටයුතු කළේ නැහැ. ඒ සම්බන්ධයෙන් අප අපගේ අප්‍රසාදය පළ කරනවා. විරෝධය පළ කරනවා. ඊශ්‍රායලයට පය තැබීමට අප ඔහුට අවසර දෙන්නේ නැහැ.’ යැයි ඊශ්‍රායල විදේශ අමාත්‍ය ඊශ්‍රායල් කාට්ස් සිය එක්ස් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ පවසා තිබේ.

මැදපෙරදිග කලාපයේ යුද උණුසුම වර්ධනය කරන්නේ ඊශ්‍රායලය යැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ගුටරේස් පසුගිය කාලයේ අවස්ථා ගණනාවකදී ඊශ්‍රායලයට දොස් නැගුවේය. ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් සමඟත්, ඉරානය සමඟත් ගැටීමෙන් වළකින්නැයි මහ ලේකනම්වරයා ඊශ්‍රායලයෙන් කළ ඉල්ලීම ඊශ්‍රායලට ගණනකට ගත්තේ ද නැත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS