රටවල් 14 කට වීසා නිකුත් කිරීම අත්හිටුවයි



ඉන්දියාව, පාකිස්තානය සහ බංග්ලාදේශය ඇතුළු රටවල් 14 ක පුරවැසියන්ට වීසා නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත. 

එලඹෙන අප්‍රේල් 13 වන දින සිට ක්‍රියාත්මක වන මෙම තහනම, ජුනි මස මැද භාගය දක්වා බලපැවැත්වෙනු ඇතැයි සෞදි රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 

තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත්තේ, සෞදි අරාබිය විසින් ලබා දෙන උම්රා වීසා, ව්‍යාපාරික වීසා සහ පවුල් සංචාරක වීසා යන වීසා වර්ග තුනය. 

සෞදි බලධාරීන් මෙම තීරණය ගෙන ඇත්තේ, අනවසරයෙන් හජ් වන්දනාව සඳහා පිරිස් සහභාගීවීම වැළැක්වීමටය.

නව සංචාරක සීමා යටතේ විදේශිකයින්ට ලබන අප්‍රේල් 13 වන දින දක්වා උම්රා වීසා සඳහා අයදුම් කිරීමට අවසර ඇතැයි ද පැවසෙයි. ඉන්පසු හජ් වන්දනාව අවසන් වන තුරු නව උම්රා වීසා නිකුත් කිරීමක් සිදු නොවන බව සෞදි රජය පැහැදිලි කර ඇත.

වීසා නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවූ රටවල් 14 ට අයත් සෙසු රටවල් වන්නේ, ඊජිප්තුව, ඉන්දුනීසියාව, ඉරාකය, නයිජීරියාව, ජෝර්දානය, ඇල්ජීරියාව, සුඩානය, ඉතියෝපියාව, ටියුනීසියාව, යේමනය සහ මොරොක්කෝවය.

සියලුම මුස්ලිම්වරුන් ශාරීරිකව හා මූල්‍යමය වශයෙන් හැකියාවක් ඇත්නම් තම ජීවිත කාලය තුළ එක් වරක් හජ් කිරීමට අවශ්‍ය වේ. බොහෝ ධනවත් මුස්ලිම්වරු වන්දනාව එක් වරකට වඩා සිදු කරති.

2024 වසරේ දී මිලියන 1.83 කට අධික මුස්ලිම්වරුන් හජ් වන්දනාවට සහභාගී වුණු අතර, රටවල් 22 කින් මිලියන 1.6 කට වැඩි වන්දනාකරුවන් සහ සෞදි පුරවැසියන් සහ පදිංචිකරුවන් 222,000 ක් පමණ සහභාගී වූ බව සෞදි රජය නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් සඳහන් වෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS