හිරුගෙන් කැබැල්ලක් වෙන්වෙලා !!



පසුගිය දා හිරුගේ කැබැල්ලක් කැඩිලා වෙන්වී ගිය බව ඔබ දන්නවාද? හිරුගෙන් කැබැල්ලක් වෙන් වී යන ආකාරය විද්‍යාඥයන්ට දකින්න ලැබුණේ අහඹු ලෙස ගත් වීඩියෝ දසුන් නිරීක්ෂණය කළ විටය. කැඩී වෙන්වුණු කොටස, පලාස්මා රැහැනක් වගේ සූර්යයාගේ උත්තර ධ්‍රැවයට ඉහලින් ටෝනේඩෝවක හැඩයෙන් (පුනීල ආකාරයට) දැන් කැරෙකෙන අයුරු වීඩියෝ දසුන්වලින් දකින්න ලැබේ. මෙම සිදුවීම දකින්න ලැබීම, නාසා ආයතනයේ විද්‍යාඥයන් විස්මයටත්, ව්‍යාකූලත්වයටත් පත්වුණු බව අමුතුවෙන් කිවයුතු නැත.

හිරුගෙන් කැබැල්ලක් කැඩී ගිය බව ලොවට කීවේ, අභ්‍යවකාශ කාලගුණ විද්‍යාඥවරියක වන ටමිතා ස්කෝව් සහ ඇමෙරිකාවේ නාසා ආයතනයයි. විකිරණ සහ දීප්තිය නිසා හිරු දිහා බලන්නවත් හොඳ නැහැ. ඉතිං එහෙනම් කොහොමද හිරුගෙන් කැබැල්ලක් කැඩී යෑම රූගත කළේ? එහෙම කළේ හිරුගේ රහස් සොයමින් හිරු ගවේෂණයට යැවුණු සා ආයතනයේ සූර්ය ගතික නිරීක්ෂණාගාරය Solar Dynamics Observatory නමැති රොබෝ යානයේ ඇති කැමරාව මගිනි. නාසා ආයතනය, ඇමෙරිකන් ඩොලර් මිලියන 817 ක් වටිනා මෙම රොබෝ යානය හිරු බලා යැව්වේ 2010 වසරේදීය. හිරුගේ රහස් රැසක් අනාවරණය කර දීමට රොබෝ යානය සමත් වී ඇත.

“සූර්යයාගේ උත්තර ධ්‍රැවයේ එක්වරම නෙරුමක් ලෙස පිටතට සුර්යය ගිනි ජාලා විහිදුණා. එයින් වලාවක් මෙන් විහිදුණේ ආරෝපිත අංශුයි. අක්‍රමවත් රැහැන් ආකාරයට විහිදුණු ඒවා කොටසක් එක්වරම සූර්යයාගෙන් වෙන් වී ඉහළ අවකාශයේ රැ‍‍ඳ‍ෙමින් පුනීලයක ආකාරයෙන් කැරකෙන්න පටන් ගත්තා. මේ වගේ සංසිද්ධියක් සැලසුම් කර කැමරාවට ගන්න බැහැ. අනෙක මෙතෙක් කල් කිසිම කෙනකු මෙවැනි දෙයක් සිදුවෙනවා දැන සිටියේ නැහැ. සුර්ය ගිනිදැල් ඈතට විහිදුනත් කිසිම අවස්ථාවක මේ ආකාරයට හිරුගේ කැබැල්ලක් කැඩී යන ආකාරය කිසිම තාරකා විද්‍යාඥයකු නිරීක්ෂණය කර නැහැ” යැයි ටමිතා ස්කෝව් පැහැදිලි කර තිබේ. ස්කෝව් වැඩි දුරටත් පැහැදිලි කරන ආකාරයට සුර්යයාගේ මෙවැනි පිටතට නෙරායෑම් සෑම වසර 11කට වරක් සූර්ය ධ්‍රැව ආශ්‍රිතව අක්ෂාංශක 55 දී සිදුවෙයි.

“සූර්යයා සිය අක්ෂය වටා යන සෑම වාරයක දීම අක්ෂාංශක 55 දී ඇති වන නෙරුම ඊළඟට උත්තර ධ්‍රැවය දෙසට ගමන් කරනවා. ඊට පස්සේ නැතුව යනවා. වසර තුන හතරකට පසු හරියටම ඒ කලාපෙන් ම ඒක ආයිත් මතුවෙනවා, හදිසියෙන් ම. හරිම පුදුම දෙයක් සිදුවන්නේ. මෙයට හේතුව කියන්න අප දන්නේ නැහැ.” යැයි  ඇමරිකාවේ කොලරාඩෝ ජනපදයේ බෝල්ඩර්වල පිහිටුවා ඇති ජාතික වායුගෝලීය පර්යේෂණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ස්කොට් මැකින්ටෝෂ් කියයි.

සූර්යයාගෙන් විහිදෙන සූත්‍රිකා බඳු රැහැන් කැඩී වෙන් වී යන අයුරු තාරකා විද්‍යාඥයන් මීට පෙර දැක තිබේ. 2015 දී මතුවුණු සූර්ය ජාලා රැහැන් දෙකක් මෙලෙස කැඩ ගිය බව ඔවුන් පෙන්වා දෙයි. ඒත් ඒවා අවකාශයට එක් වී නොපෙනී ගිය බව පැවැසෙයි. ඒවා වෙන් වී, ප්ලාස්මා වලාවක් මෙන් මෙහෙම සුළියක් වගේ සූර්යයා ඉහළ රැඳ‍ෙමින් තිබෙනු කිසි දිනෙක දැක නැහැ. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන් විද්‍යාඥයන් මවිතය පළ කරන්නේ එහෙයිනි.

තරු බිලියන ගණනක් විශ්වය පුරා විසිරී තිබුණත්, අපට ඇත්තේ එක තරුවයි. ඒ අපේ සූර්යයාය. එසේත් නැතිනම් හිරුය. අප පෘථිවිය ඇතුළු සෙසු ග්‍රහලෝක, ග්‍රහවස්තූන් ආදී සියල්ල කැරකෙන්නේ, එම තරුව එසේත් නැතිනම් සූර්යයා වටාය. පෘථිවියේ ජීවය ඇති වුණේත් අපේ පැවැත්ම තීරණය කළේ සහ කරන්නේත් හිරුය. අපේ හිරු කිර්මාණය වූ බව පැවැසෙන්නේ අවුරුදු බිලියන 4.5 කට පෙරය. හිරු උපන්නේ දූවිලි සහ වායු වළාවක් එසේත් නැතිනම් සූර්ය නෙබියුලාවක් බිඳ වැටීමත් සමඟ ඇති වුණු පෙරළිවකින් පසුවය. විශ්වයේ ඇති අනෙක් තරු සමඟ සන්සන්දනය කරද්දී අපේ හිරු මධ්‍යම ප්‍රමාණයෙන් යුක්තය. විශ්කම්භය කිලෝ මීටර් 1,392,000 කි. එය පෘථිවියේ විෂ්කම්භය මෙන් 109 ගුණයකි.

හිරු මුළුමනින්ම පාහේ නිර්මාණය වී ඇත්තේ හීලියම් සහ හයිඩ්‍රජන් වායුවලිනි. හිරුගේ බර ටොන් ට්‍රිලියන ට්‍රිලියන 2,000 ක් යැයි විද්‍යාඥයෝ පැහැදිලි කරති. හිරුගේ මතුපිට සංයුතිය හයිඩ්‍රජන් (හිරුගේ ස්කන්ධයෙන් 74% ක් පමණ හෝ පරිමාවෙන් 92% ක් පමණ) හීලියම් (හිරුගේ ස්කන්ධයෙන් 24–25% ක්, පරිමාවෙන් 7% ක් පමණ) සහ යකඩ, නිකල්, ඔක්සිජන්, සිලිකන්, සල්ෆර්, මැග්නීසියම්, කාබන්, නියෝන්, කැල්සියම්, සහ ක්‍රෝමියම් යන මුලද්‍රව්‍ය ඉතා සුළු ප්‍රමාණ වලින් ද සමන්විතය.

හිරුට ඇත්තේ G2V ලෙස හැඳින්වෙන වර්ණාවලි පන්තියකි. G2 යනුවෙන් අර්ථ දැක්වෙන්නේ 5,780 K මතුපිට උෂ්ණත්වයක් එය සතුව ඇති බවත් එනිසා එයට සුදු පැහැයක් ලැබී ඇති බවත් ය. වායුගෝලීය විසිරීම හේතුවෙන් පෘථිවි පෘෂ්ඨයේ සිට බලන විට හිරු දිස්වන්නේ කහ පැහැයෙනි. එහි වර්ණාවලිය සතුව අයනීකරණය වු සහ උදාසීන ලෝහ රේඛා මෙන්ම ඉතා දුර්වල හයිඩ්‍රජන් රේඛා ද වෙයි. වර්ණාවලි පන්තියේ V යන්නෙන් අදහස් වන්නේ, බොහෝ තාරකා මෙන්ම හිරු ද ප්‍රධාන අනුක්‍රමයේ තරුවක් බවය. හිරුගේ ශක්තිය නිපදවන්නේ හයිඩ්‍රජන් න්‍යෂ්ටි හා හීලියම් න්‍යෂ්ටි විලයනයෙනි.

ක්ෂිරපථය මධ්‍යයේ සිට සූර්යයා‍ට ඇති දුර ආලෝක වර්ෂ 26,000 කි. සූර්යයා ක්ෂීරපථය වටා කක්ෂගත වෙයි. එහි උපරිම කක්ෂ වේගය තත්පරයට කි.මී. 220 ක් පමණ වේ. එනම් සෑම වසර 1400 කටම එක්ලෝක වර්ෂයක් ද සෑම දින 8 කට ම තාරකා විද්‍යා ඒකකයක් ද (සූර්යයා සහ පෘථිවිය අතර ඇති දුර තාරකා විද්‍යා ඒකකයක් ලෙස සැලෙකයි) ගමන් කරයි. සොයා ගෙන ඇති කරුණු අනුව, මෙම දුර ප්‍රමාණයන් නිවැරදි වන නමුත් නව දැනුම සමඟ මෙම අගයන් වෙනස් වීමට ඉඩ තිබේ. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 17 ක් ඇතුලත පිහිටි ආසන්නම තාරකා පද්ධති 50 අතරින් දීප්තිමත් බවින් සිවුවැනි ස්ථානයට වැටෙන්නේ අපේ හිරුය.

ස්තුතිය - නාසා ආයතනයට


RECOMMEND POSTS