සොම්බි කුහුඹුවන් හදන කොඩිසෙප්ස්



‘කොවිඩ් 19’ වයිරස වසංගතය අප කාගේත් ජීවිත උඩු යටිකුරු කළ අයුරු මතකයි නේද?  ඒක අමතක වෙන්නේ කොහොමද? ලහිලහියේ එන්නත් නිපදවා ඒවා ලබා දීමට පටන් ගැනීමත්, ප්‍රතිශක්තිකරණය සමඟ ‘කොවිඩ් 19’ වයිරසයේ සැර බාල වීමත් සමඟ ‘කොවිඩ් 19’ වසංගතයෙන් එල්ල වුණු ඒ බිහිසුණු බලපෑම අඩු වීමට පටන් ගත්තේය. ඒත් තවමත් ‘කොවිඩ් 19’ අප අතරේය. කෙසේ නමුත් අද වනවිට ලොව පුරා ව්‍යාප්ත වන්නේ ‘කොවිඩ් 19’ වයිරසයේ, ‘ඔමික්‍රෝන්’ යන නමින් නම් කළ උප ප්‍රභේදයයි. එය මුල් ප්‍රභේදය තරම් බිහිසුණු නැත; මාරක නැත.

ඇසට නොපෙනන වයිරසයකට මනුෂ්‍ය වර්ගයා දණ ගැස්සිය හැකි බව ‘කොවිඩ් 19’ යළි යළිත් අපට මතක් කර දුන්නේය. පසුගිය දා ලෝක සෞඛ්‍ය සංවිධානය රැස්වී, මනුෂ්‍යයාට හදි කළ හැකි මීළඟ වයිරස වංසගතය ගැන සාකච්ඡා කළේය. මුළු ලොවම දැන්ම තියා ඊට සූදානම් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්‍යාඥයන්ගේ ඒකමතික තීරණය විය. ඇත්තටම මීළඟ වසංගතය කුමක් වේවිද?

තවත් ගෝලීය වසංගතයක් හටගනීවි යැයි යන සිතුවිල්ල පවා බිහිසුණුය. එම වසංගතයට හේතුව තවත් වයිරසයක්ද? නැහැ. බිහිසුණු සිතුවිල්ල එය නොවෙයි. ආරම්භයේ පටන්, මිනිස් වර්ගයා වයිරස සමඟ සටන් කර තිබේ. ජීවිත හානි සිදුවුණත්,  මිලියන ගණනකට ජීවිත අහිමි වුණත්, කිසිම අවස්ථාවක කිසිම වයිරසයකට මිනිස් වර්ගයා විනාශ කර දැමීමට හැකි වූයේ නැත. කෙසේ හෝ අවසානයේ ජයග්‍රහණය කළේ මිනිසා මිස වයිරසය නොවෙයි.

වයිරසවලට වඩා මනුෂ්‍ය වර්ගයාට තර්ජනයක් වන බිහිසුණු  තවත් ක්ෂුද්‍ර ජීවියකු ඇතැයි කීවොත් ඔබ පුදුම වේවි. ඒ කවුරුන්ද? බැක්ටීරියාද? නැත. ඒ, දිලීරය. එසේත් නැතිනම් පුස් ය. ඒත් ඉතිං දිලීරයකට කළ හැක්කේ කුමක්දැයි යන සිතුවිල්ල බොහෝ දෙනකුගේ සිනහවකට ලක් වේවි. දිලීර යනු අහිංසක ක්ෂුද්‍ර ජීවීන් විශේෂයක් යැයි සිතේවි. ඒත් ඒ සිතුවිල්ල වැරදිය. වයිරස හෝ බැක්ටීරියා ශරීරගත වුවහොත් ඔබ රෝගී වෙයි. ඒත් දිලීරයක් ශරීරගත වුණොත්? ඇතැම් දිලීර වර්ග ඔබ මරා දමනවා වෙනුවට ඔබ පාලනය කරනු ඇත. ඔබ දිලීරයේ රූකඩයක් වනු ඇත. දිලීරය ඔබ ‘සොමිබි’ කෙනකු බවට පත් කරනු ඇත. දිලීර ඔබේ මනස පාලනය කරනු ඇත.

ඒත් ඒක එහෙම වෙන්න විදියක් නැහැ. හේතුව, මනුෂ්‍ය සිරුරේ උෂ්ණත්වය අනුව, දිලීරයකට මනුෂ්‍ය සිරුරකට ආසාදනය වී පැවැතීම කළ නොහැක. ඒත් දිනෙන් දින අර්බුදයක් වන දේශගුණික විපර්යාස නිසා, ගෝලීය උණුසුම නිසා අපගේ සිරුරුවල උෂ්ණත්වය කෙමෙන් වැඩි වුණොත් කුමක් වේවිද? එසේ වුවහොත් දිලීර අප ආක්‍රමණය කරනු ඇත. අප සොම්බි වනු ඇත. දිලීර අප අවනත කර ගනිමින් එසේ අප පාලනය කරනු ඇත්තේ එක් අරමුණක් වෙනුවෙන් පමණි. අරමුණ දිලීරය තව තවත් ව්‍යාප්ත වීමය. කෙසේ හෝ, කුමන විදියකින් හෝ අවසන් මනුෂ්‍යයාට දිලීරය ආසාදනය වනු ඇත. මෙවැනි දිලීර ආසාදනයට කිසිදු ප්‍රතිකර්මයක් නැත. බෙහෙතක් නැත. බෙහෙතක් නිපදවීම පවා අපහසුය. එසේ වුවහොත් මනුෂ්‍ය වර්ගයා පරාජයට පත් වේවි. එය අපේ අවසානය වනු ඇත. දිලීර නිසා රෝගී වී 'සොම්බි' බවට පත්වන කුහුඹුවන් ගැන කියන්නයි මේ සූදානම.

මිහිමත කෘමි ගහණයෙන් සියයට 80 ක් දකින්න ලැබෙන්නේ වනාන්තරවලය. ඒ අතරින් වනාන්තරයේ ජීවිතයට හොඳින්ම හුරු වූවන් වන්නේ කුහුඹුවන්ය. හෙක්ටාරයක ප්‍රදේශයක කුහුඹුවන් මිලියන අටක් පමණ ජීවත් වෙයි. ඒත් වනගත කුහුඹුවන්ට ඔවුන්ට රිසි පරිදි හැමදේම සිදුවන්නේ නැත. මේ කතාවට සම්බන්ධ වන්නේ ‘බුලට් ඈන්ට්ස්’ කුහුඹුවන්ය. කුහුඹු රංචුවක සිටින එක් කුහුඹුවකුගේ හැසිරීම හිටිහැටියේ  වෙනස් වෙයි. අසාමාන්‍ය ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කරයි. කුහුඹුවාගේ මනසට විසක් ඇතුළු වීම ඊට හේතුවය. මේ විස ‘කොඩිසෙප්ස්’ Cordyceps නමැති දිලීරයයි. ‘කොඩිසෙප්ස්’ දිලීරයේ බීජාණු කුහුඹුවා විසිනි ආඝ්‍රාණය කරනු ලැබ තිබේ. දැන් දිලීරය කුහුඹුවාගේ සිරුර තුළ වැඩීම අරඹයි. කුහුඹුවාගේ මනසත් සිරුරත් තමන්ගේ අණසකට නතු කර ගනී. කුහුඹුවා දිලීරයේ රූකඩයක් වී හමාරය.

දැන් කුහුඹුවා මෙහෙයවීම සිදු කරන්නේ, ‘කොඩිසෙප්ස්’ දිලීරයයි. දිලීරය ​කුහුඹුවාගේ මොළය පාලනය කරමින් ඌ ඉහළ ස්ථානයකට රැගෙන යෑමට උත්සාහ ගනී. කුහුඹුවා දිලීරයේ පාලනයෙන් මිදීමට හැකි සෑම අයුරින්ම උත්සාහ ගනී. මෙවැනි ආසාදිත කුහුඹුවකු අසරණ වී අඩපණ වී සිටිනවා දුටුවොත්, සෙසු කුහුඹුවන් කරන්නේ ඒ රැගෙන ​ජනපදයෙන් ඈතට ගෙන ගොස් විසි කර දැමීමය. එය මහ නපුරු දෙයක් යැයි සිතේවි. නැහැ. එය එසේ කළ යුතුමය. ආසාදිත කුහුඹුවවන් ඈතට ගෙන යා යුතුය. ඒ, සිරුර තුළත් මො​ළයේත් වැඩෙන ‘කොඩිසෙප්ස්’ දිලීරය, කුහුඹුවාගේ හිස පලාගෙන පිටතට මතුවන බැවිනි. එය විද්‍යා ප්‍රබන්ධයක බිහිසුණු සිදුවීම් පෙළක් වැනිය.

සති තුනක් යද්දී දිලීරය හොඳින් වැඩී අවසන්ය. බීජාණු පුපුරා දසත විසිරී යයි. ළඟ පාත වෙනත් කුහුඹුවන් සිටියොත්, බීජාණු ඔවුන්ගේ සිරුරු ද ආක්‍රමණය කරනු ඇත. එසේ වුවහොත්‍ ඔවුන්ට සිදුවන්නේ අපේ ‘බුලට්’ කුහුඹුවාට අත්වුණු ඉරණමය. කුහුඹු ජනපද මුළුමනින්ම විනාශ වනු ඇත. ‘කොඩිසෙප්ස්’ දිලීරයට ගොදුරු වෙන්නේ කුහුඹුවන් පමණක් ​නොවෙයි. තණකොළ පෙත්තන්, කුරුමිණියන් ආදිය ද සොම්බීන් බවට පත් වෙයි. එකිනෙකට වෙනස් විදියේ ‘කොඩිසෙප්ස්’ දිලීර දහස් ගණනක් ඇත. ඒවා විවිධ කෘමීන් ඉලක්ක කර ගන්නා බව සත්ව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

ඩේවිඩ් ඇටන්බරෝගේ
ප්ලැනට් අර්ත් ඇසුරිනි.

RECOMMEND POSTS