සෙල්ලම් දාන අත්තම්මා



පරිගණක සහ ජංගම දුරකතනවල ඇලීගැලී සිටින තරුණ තරුණියන්ට අරුමයක් නොවුණත්, ඔන්ලයින් වීඩියෝ ක්‍රීඩා කරමින් විනෝද වෙමින්, මුදල් උපයන බොහෝ දෙනෙක් වෙති. සජීවී වීඩියෝ ක්‍රීඩා කරමින් හෝ වෙනත් අය වීඩියෝ ක්‍රීඩා කරන අයුරු තම තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් හරහා ප්‍රසිද්ධියට පත් කරමින්, වැඩි වැඩියෙන් නරඹන්නන් සම්බන්ධ කර ගනිමින් මුදල් උපයන බොහෝ දෙනෙක් වෙති. එය සිදුවන්නේ, ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම්, යූ ටියුබ් ආදී සමාජ මාධ්‍ය පරිශීලනය හරහා සහ ඩිජිටල් මුදල් ඒකක හරහාය. ඔන්ලයින් වීඩියෝ ක්‍රීඩා කරන්මින්, නරඹන්නන් වැඩි කර ගනිමින්, මුදල් සෙවීමට පමණක් නොව, ජනප්‍රිය වීමට ද හැකියාව ඇත්තේ තරුණ තරුණියන්ට පමණක්ද? නැහැ. එම පැනයට පිළිතුර කැත් බෝවිය. 75 හැවිරිදි කැත් බෝවි ස්කොට්ලන්ත ජාතික අත්තම්මා කෙනෙකි. පරිගණක ක්‍රීඩා ලෝකයේ මේ අත්තම්මාට ඇත්තේ සුවිශේෂී ස්ථානයකි. පරිගණක ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරේ ඇය ප්‍රකටව සිටින්නේ, ‘ග්‍රම්පිග්‍රෑන්1948’ යන නමිනි. ඇය වීඩියෝ ක්‍රීඩා කරන අයුරු නරඹන ගණන (ෆලොවර්ස්) මිලියනයකට වැඩිය.

කැත් බෝවි, ‘ග්‍රම්පිග්‍රෑන්1948’ යන නමින්, සම්බන්ධ වී සිටින්නේ ‘ෆෝට්නයිට්’ ඔන්ලයින් ක්‍රීඩා සමඟය. සරලව පැහැදිලි කළොත්, ‘ෆෝට්නයිට්’ යනු වෙඩි තබා ගන්නා, ගහ මරා ගන්නා වීඩියෝ ක්‍රීඩා සමූහයකි. ලොව නන්දෙසින් ක්‍රීඩකයෝ, විශේෂයෙන් ගැටවර ගැටවරියන් සහ තරුණ තරුණියන් ‘ෆෝට්නයිට්’ වීඩියෝ ක්‍රීඩා සමඟ සම්බන්ධ වී, තනි තනියෙන් හෝ කණ්ඩායම් වශයෙන් හෝ ක්‍රීඩා කරති. තනි තනියෙන් හෝ කණ්ඩායම් වශයෙන්, ලොව ඕනෑම තැනක සිට, ක්‍රීඩා කළ හැකි ‘ෆෝට්නයිට්’ නමැති මෙම වීඩියෝ ක්‍රීඩා වේදිකාව හඳුන්වාදීම සිදුවූයේ 2017 වසරේදීය. අද මෙය ලොව ජනප්‍රියතම වීඩියෝ ක්‍රීඩා ජාලයක් බවට පත් වී අවසන්ය. මිලියන 400 ක් ක්‍රීඩකයෝ ඊට සම්බන්ධ වී සිටිති. එක් ක්‍රීඩාවකට ලොව නන්දෙසින් ක්‍රීඩකයන් 100 දෙනකු පමණ එක්වන අතර එකිනෙකා අභිබවා යමින්, අවසානයේ දී ඉතිරි වන්නේ දක්ෂයන්ගෙන් දක්ෂයා පමණි.

2017 වසරේදී හඳුන්වා දුන් සැණින්, ‘ෆෝට්නයිට්’ එක රැයින් ජනප්‍රිය විය. කැත් බෝවි ද ‘ෆෝට්නයිට්’ ගැන දැනගත්තේ ද 2017 වසරේදීය. ඒ, ඇගේ මුණුපුරා හරහාය. 2017 වෙද්දී, කැත් බෝවිගේ මුණුපුරාට අවුරුදු 17 කි.  “මම මගේ මුණුපුරාගේ කාමරයට යද්දී, එයා ෆෝට්නයිට් වීඩියෝ ක්‍රීඩාවකට යොමු වෙලා හිටියා ටිකක් බලාගෙන සිටිද්දී, මටත් ඒ ගැන උනන්දුවක් සහ ආශාවක් ඇති වුණා. වීඩියෝ ක්‍රීඩාවට මා යොමු වුණේ ඒ විදියට” යැයි බීබීසී ගුවන් විදුලියේ ‘ද මෝනිං ස්කොට්ලන්ඞ්’ වැඩසටහනට ආරාධිතයකු ලෙස එක් වෙමින්, කැත් බෝවි පැහැදිලි කර තිබේ.

“මුලදී මම තනියෙන් ක්‍රීඩා කළා. පස්සේ ක්‍රීඩකයන් දෙන්නා තුන්දෙනා සමඟ ක්‍රීඩා කළා. මුලදී මට හමුවුණේ ගැටවර ගැටවරියන් තමයි. ක්‍රීඩකයන් කණ්ඩායමක් සමඟ ක්‍රීඩාවල යෙදෙන්න මට අවස්ථාවක් ලැබුණේ අවුරුදු තුනක් ගතවීමෙන් අනතුරුවයි” යැයි කැත් බෝවි ‘ද මෝනිං ස්කොට්ලන්ඞ්’ වැඩසටහනට එක් වෙමින් පැහැදිලි කළේය. ඇතැම් ක්‍රීඩා ආවේගශීලී ඒවාය. ලොව නන්දෙසින් තරුණ තරුණියන් සමඟ ක්‍රීඩා කරද්දී, ඔවුන් පරුෂ සහ අසභ්‍ය වචන භාවිතයට ගැනීම කැත් බෝවිගේ නොසතුටට හේතුවක් විය.“තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ භාෂා විලාශය ගැන මට පැහැදීමක් ඇති වුණේ නැහැ. ඔවුන් ගහපන්, කොටපන්, මරපන් ආදී ප්‍රචණ්ඩ වචන භාවිතයට ගන්නවා. මම ඒකට කැමැති වුණේ නැහැ.” යැයි කැත් බෝවි පෙන්වා දී ඇත.

“මම වැඩි වැඩියෙන් යොමු වුණේ කණ්ඩායම් වශයෙන් ක්‍රීඩා කරන්න නොවෙයි, තනිවම ක්‍රීඩා කරන්නයි. කෙසේ නමුත් කල්ගත වෙද්දී, අවුරුදු 45, 50, 60 යන වයස්වල පරිගණක ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් හඳුනා ගන්න ලැබුණා. පසුව මම ඔවුන් සමඟ චැට් කරමින් තමයි ක්‍රීඩා කරන්න වුණේ. පරුෂ සහ අසභ්‍ය වචන භාවිතයට ගන්නා පිරිස් සමඟ ඇයිහොඳයිකම් සීමාවුණා. පසුව මා ක්‍රීඩා කළේ මා හොඳින් දැන හඳුනාගත් ක්‍රීඩකයන් සමඟ පමණයි. ඔවුන් බොහෝ දෙනකු ‘සයිපර්පීකේ’ ගැන දැන සිටියා. මටත් ඒ වනවිට ‘සයිපර්පීකේ’ ගැන විස්තර දැනගන්න ලැබී තිබුණා. මට ජනප්‍රිය වීමට අවස්ථාව උදා වූයේ ‘සයිපර්පීකේ’ නිසයි” යැයි කැත් බෝවි වැඩි දුරටත් කියයි.

කැත් බෝවිගේ ජනප්‍රියත්වය වැඩි වූයේ, පරිගණක ක්‍රීඩා ලොවේ සුපිරි චරිතයක් ලෙස ප්‍රසිද්ධ ‘සයිපර්පීකේ’ නිසාය. පරිගණක ක්‍රීඩා ලොවේ, ‘සයිපර්පීකේ’ යන නමින් හැඳින්වෙන්නේ 27 හැවිරිදි තරුණයෙකි. මොහුගේ සැබෑ නම, අලී හසාන්ය. මොහු යූටියුබ් හරහා ජනප්‍රිය වූ ඇමෙරිකන් තරුණයෙකි. දිනකට පැය 6 ක් වීඩියෝ ක්‍රීඩා කරමින්, විහිලු කරන, කමෙන්ට් පළ කරන අවුරුදු 75 ක අත්තම්මා කෙනකු සිටින බව ‘සයිපර්පීකේ’ දැනගත්තේය. ඒ අනුව, කැත් බෝවි සමඟ සම්බන්ධ වී ඇයටය ලොකු ප්‍රසිද්ධියක් ලබා දීමට කටයුතු කළේ ‘සයිපර්පීකේ’ ය. ‘එයා මම කරන කියන දේවල් දැකලා මට ඇරැයුම් කළා එයා සමඟ කණ්ඩායමකට එක් වී වීඩියෝ ක්‍රීඩා කරන්න. ඒ විදියට තමයි මට ‘සයිපර්පීකේ’ හමුවුණේ. මා වැනි වීඩියෝ ක්‍රීඩාවලට යොමු වුණු වැඩිහිටියන්ට හොඳ අවස්ථාවක් ලබා දීමටයි ‘සයිපර්පීකේ’ ඕනෑ වුණේ. ඉතිං ඔහු අන්තර් ජාලය හරහා මා සමඟ සම්බන්ධ වෙලා, මට ඇරැයුම් කළා ඔහු සමඟ ක්‍රීඩා කරන්න එන්න. ‘ෆෝට්නයිට්’ වීඩියෝ ක්‍රීඩාවලට යොමු වුණු කවුරුත් ‘සයිපර්පීකේ’ ගැන දන්නවා. ඔහු හඳුනනවා. අපි පළමුවෙන් ක්‍රීඩා තුනකට සම්බන්ධ වුණා. ‘සයිපර්පීකේ’ නිසයි මගේ ජනප්‍රියත්වය වැඩි වුණේ. ඒ දින තුනක් වැනි කෙටි කාලයක් ඇතුළතදී. දහස් ගණනින් මගේ නරඹන්නන් (ෆලොවර්ස්) වැඩි වුණා.” යැයි කැත් බෝවි යැයි බීබීසී ගුවන් විදුලිය සමඟ පවසා ඇත.

වීඩියෝ ක්‍රීඩාවලදී, ‘ග්‍රම්පිග්‍රෑන්1948’ නමින්, ජනප්‍රියත්වයක් ලබා සිටියත්, තමන් තමන්ගේ ගෙදර දොර රාජකාරි අතපසු කර නොමැති බව කැත් බෝවි පැහැදිලි කර තිබේ. ‘මගේ සැමියා නම් වැඩිම කැමැති නැහැ මම රෑ තිස්සේ අවදියෙන් වීඩියෝ ක්‍රීඩා කරනවාට. වීඩියෝ ක්‍රීඩා තරගවලි බොහොමයක් පැවැත්වෙන්නේ රාත්‍රී කාලයේ.’ යැයි කැත් බෝවි පවසන්නීය. ‘එක එක් කෙනෙකාගේ ආශාවල් වෙනස්. බොහෝ දෙනකු කරන්නේ රූපවාහිනිය නැරැඹීමයි. ඒත් මම වඩාත් ප්‍රිය කරන්නේ වීඩියෝ ක්‍රීඩාවලට.” යැයි ද කැත් බෝවි පෙන්වා දී ඇත.

 

බීබීසී ඇසුරිනි


RECOMMEND POSTS