ස්වභාවික පුදුම



අප සියලූම දෙනා ලෝක පුදුම 7 ගැන අසා ඇතතෙමු. ඒ සියල්ල මිනිස් ශ්‍රමයෙන් නිම කෙරූ අරුම පුදුම විශ්මිත නිර්මාණයන්ය. එහෙත් අද අපගේ කතාබහට ලක්වන්නේ මිනිසාගේ මැදිහත්වීමෙන් තොරව ස්වභාවදර්මයා විසින් නිමකල අපූරු ස්ථානයන් පිළිබඳවයි. 

ලෝක ජනගහනයෙන් අඩකට වඩා දැන් නගරවල ජීවත් වුවද, මිනිසුන් තවමත් සොබාදහම කෙරෙහි දැඩි ඇල්මක් දක්වයි. පෘථිවියේ ඇති විශාල ස්වාභාවික ස්ථාන අතරින්, ඇතැම් ස්ථාන විශේෂයෙන් විශ්මයජනක වන අතර, ඒවා සෑම වසරකම දහස් ගණනක් හෝ මිලියන ගණනක් අමුත්තන් ආකර්ෂණය කරයි.

ඇමෙරිකන් CNN පුවත් සේවය ලබා ගත් සමීක්ෂණ වාර්තා අනුව, ලෝකයේ වඩාත්ම විශ්මයජනක ස්වාභාවික පුදුම ලැයිස්තුවක් සකස් කෙරුණි. එම ලැයිස්තුවට,  වඩාත් විශ්මයජනක ස්වාභාවික පුදුම කිහිපයක් අතරට එවරස්ට් කන්ද, පැරිකියුටින් ගිනි කන්ද, ග්‍රෑන්ඩ් කැනියොන්, වික්ටෝරියා දිය ඇල්ල, රියෝ ද ජැනයිරෝ වරාය, මහා බාධක පරය සහ උතුරු ආලෝකය ඇතුළත් වේ.

Mount Everest - එවරස්ට් කන්ද

එවරස්ට් කන්ද පෘථිවියේ උසම කන්ද වන අතර එහි උස මීටර් 8,848 (අඩි 29,029) කි. එය චීනය (ටිබෙට්) සහ නේපාලය අතර මායිමේ හිමාලයේ පිහිටා ඇත. මෙම කන්ද වසර මිලියන 60 කට පෙර නිර්මාණය වූ අතර ඉතා කටුක කාලගුණයක් ඇති අතර බොහෝ විට -60°C (-76°F) ට වඩා අඩු උෂ්ණත්වයකට ළඟා වේ. ආසියාවේ බොහෝ ගංගා සඳහා එවරස්ට් වැදගත් ජල මූලාශ්‍රයක් වන අතර හිම දිවියන් සහ හිමාලයානු ටහර් වැනි සතුන්ට නිවහනක් වන අතර එම සතුන්ට ඉතා ඉහළ උන්නතාංශවල ජීවත් විය හැකිය.

එවරස්ට් කන්ද මුහුදු මට්ටමේ සිට උසම කන්ද වුවද, හවායි හි මෞනා කී නමින්ද කන්දක් ඇත, එය සාගර පතුලේ සිට මනින විට උසින් වැඩිය. මෑත වසරවලදී වැඩි වැඩියෙන් මිනිසුන් එවරස්ට් තරණය කරමින් සිටිති. 1990 දී, 100 කටත් වඩා අඩු පිරිසක් මුදුනට ළඟා වූ නමුත් 2023 දී, 656 ක් පමණ කඳු මුදුනට ළඟා විය. කඳු නගින්නන් 900 කට ආසන්න සංඛ්‍යාවක් මුදුනට ළඟා වූ 2019 ට වඩා මෙය තවමත් අඩුය. කඳු නගින්නන්ට මඟ පෙන්වන ෂර්පා ජනයා තම ආදායම සඳහා සංචාරක ව්‍යාපාරය මත බොහෝ සෙයින් විශ්වාසය තබති. කෙසේ වෙතත්, කඳු නගින්නන්ගේ සංඛ්‍යාව වැඩි වන විට සහ දේශගුණික විපර්යාසවල බලපෑම් කන්ද වඩාත් භයානක කරන විට ඔවුන්ගේ ආරක්ෂාවට ඇති අවදානම් පිළිබඳව කනස්සල්ලක් පවතී. එසේම, සංචාරකයින්ගෙන් ලැබෙන කසළ සහ ප්ලාස්ටික් දූෂණය පරිසරයට හානි කරන අතර, එමඟින් කොපමණ පිරිසකට එවරස්ට් තරණය කළ හැකිද යන්න පිළිබඳව සීමාවන් පැනවිය යුතු බව ජනයාගේ මතයයි.

Paricutin Volcano - පැරිකියුටින් ගිනි කන්ද

මෙක්සිකෝවේ මිචෝකාන් හි පිහිටි පැරිකුටින් ගිනි කන්ද ලෝකයේ ලාබාලතම ගිනි කඳු වලින් එකකි. භූමිකම්පා මාලාවකින් පසු එය 1943 දී ගොවියෙකුගේ ඉරිඟු වගාවක එය පුපුරා යාමට පටන් ගත් අතර, උණු කළ ලාවා මුදා හැර ඉක්මනින් සින්ඩර් කේතුවක් බවට වර්ධනය වී මීටර් 424 (අඩි 1,391) ක උසකට ළඟා විය. පිපිරීම 1952 දක්වා පැවතුන අතර, වර්ග කිලෝමීටර් 25 ක් (වර්ග සැතපුම් 9.7) පමණ ලාවා සහ අළු වලින් වැසී ගිය අතර, අසල ගම්මාන ඉවත් කිරීමට සිදුවිය. සැන් ජුවාන් පරන්ගරිකුටිරෝ ගම්මානය විශේෂයෙන් බලපෑමට ලක් වූ අතර, එහි පල්ලියේ කුළුණ තවමත් දැඩි වූ ලාවා වලින් පිටතට ඇලී තිබේ. දැන් නිද්‍රාශීලී, ඝන වූ ලාවා සහ අළු වලින් සමන්විත පැරිකුටින්හි භූ දර්ශනය සංචාරකයින් සහ භූ විද්‍යාඥයින් ආකර්ෂණය කරයි. අමුත්තන්ට කඳු මුදුනට නැඟී ලාවා වලින් වට වූ සැන් ජුවාන් පරන්ගරිකුටිරෝ පල්ලියේ නටබුන් දැක ගත හැකිය.

ගිනිකඳු ප්‍රදේශය කටුක වුවද, සමහර සතුන් එහි ජීවත් වීමට අනුවර්තනය වී ඇත. රාජාලීන් සහ උකුස්සන් වැනි ගොදුරු පක්ෂීන් ගිනි කන්දට ඉහළින් පියාසර කරන අතර, roadrunners සහ වටු කුරුල්ලන් ශාක පඳුරු අතර ජීවත් වේ. වවුලන් කෘමීන් පාලනය කිරීමට උපකාරී වන අතර, සර්පයන්, මීයන් සහ ෂෲ (මීයෙකු වැනි සතෙක්) (shrews) වැනි සමහර සතුන් ගිනිකඳු පාෂාණවල ඉරිතැලීම් වල ජීවත් වෙති.

The Grand Canyon - ග්‍රෑන්ඩ් කැනියොන්

ඇරිසෝනා හි ග්‍රෑන්ඩ් කැනියොන්, කොලරාඩෝ ගඟෙන් වසර බිලියන ගණනක් තිස්සේ හැඩගස්වා ඇති පාෂාණ ස්ථර හරහා පෘථිවියේ වසර බිලියන 1.2 ක ඉතිහාසය පෙන්වයි. කැනියොන් කිලෝමීටර් 447 (සැතපුම් 277) ක් දිග, කිලෝමීටර් 29 (සැතපුම් 18) දක්වා පළල සහ කිලෝමීටර් 1.8 (සැතපුම් 1.1) කට වඩා ගැඹුරකින් යුක්ත වේ. එහි ගැඹුර පිළිබඳ අදහසක් ලබා දීම සඳහා, එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ල ග්‍රෑන්ඩ් කැනියොන් තුළට හතර ගුණයකට වඩා ගැලපේ. කැනියොන්හි රතු පැහැති වර්ණ සහ අවසාදිත ස්ථර සැතපුම් ගණනක් දිගු වන අතර, එය ශාක විශේෂ 1,500 ක්, පක්ෂි විශේෂ 355 ක්, ක්ෂීරපායින් විශේෂ 89 ක්, උරගයින් 47 ක්, උභයජීවීන් 9 ක් සහ මාළු වර්ග 17 ක් ඇතුළුව විවිධාකාර වනජීවීන්ට නිවහන වේ. අද්විතීය විශේෂයක් වන ග්‍රෑන්ඩ් කැනියොන් රෝස රැට්ල්ස්නේක් රෝස පැහැයක් ඇති අතර එය වර්ණවත් පාෂාණවලට මිශ්‍ර වීමට උපකාරී වේ.

අද වන විට, සෑම වසරකම මිලියන හයක් පමණ ජනතාවක් ග්‍රෑන්ඩ් කැනියොන් ජාතික වනෝද්‍යානයට පැමිණෙති. මෙම උද්‍යානය වර්ග කිලෝමීටර් 4,931 (වර්ග සැතපුම් 1,904) ක භූමි ප්‍රමාණයකින් යුක්ත වන අතර එමඟින් එය එක්සත් ජනපද රෝඩ් අයිලන්ඩ් ප්‍රාන්තයට වඩා විශාල වේ. නරඹන්නන්ට කැනියනය නැරඹීම, කඳු නැගීම සහ ඔරු පැදීමෙන් භුක්ති විඳිය හැකි අතර, එය එක්සත් ජනපද මාර්ග චාරිකාවක යෙදෙන ඕනෑම කෙනෙකුට ජනප්‍රිය නැවතුමක් බවට පත් කරයි.

Victoria Falls - වික්ටෝරියා දිය ඇල්ල

සැම්බියාව සහ සිම්බාබ්වේ අතර පිහිටා ඇති වික්ටෝරියා දිය ඇල්ල ලොව විශාලතම දිය ඇල්ලයි. එය මීටර් 1,708 (අඩි 5,604) පළලින් යුක්ත වන අතර මීටර් 108 (අඩි 354) ක් පහළට වැටේ. වැසි සමයේදී, සෑම මිනිත්තුවකම ජලය ලීටර් මිලියන 500 ක් පමණ දාරය හරහා ගලා යන අතර, එය පෘථිවියේ විශාලතම අඛණ්ඩව කඩා හැලෙන දිය ඇල්ල නිර්මාණය කරයි. සැම්බේසි ගඟ සහ බැසෝල්ට් ඛාදනය හේතුවෙන් මෙම දිය ඇලි සෑදී ඇත. මෝසි-ඕ-ටූන්යා නොහොත් "ගිගුරුම් දෙන දුම" ("The Smoke That Thunders") ලෙස හැඳින්වෙන ඒවායේ සාමාන්‍ය ජල ප්‍රවාහය තත්පරයට ඝන මීටර් 1,088 කි. ඇල්ල කඩා හැලෙන වේගය කෙතරම්ද යත් සමහර විට දිය ඇල්ලේ ශබ්දය කිලෝමීටර් 40 (සැතපුම් 25) ක් දුරට ඇසෙනු ඇත.

සෑම වසරකම මිලියනයකට අධික සංචාරකයන් වික්ටෝරියා දිය ඇල්ල නැරඹීමට පැමිණේ. විවිධ ස්ථාන වලින් දිය ඇලි නැරඹීම, වතුර අඩු සමයේදී දිය ඇලි අද්දර පිහිනීම සහ වික්ටෝරියා දිය ඇලි පාලමෙන් බංජී පැනීම (bungee jumping) වැනි විවිධ ක්‍රියාකාරකම් ඔවුන්ට භුක්ති විඳිය හැකිය. සැම්බියාව සහ සිම්බාබ්වේ යන දෙරටේම දිය ඇල්ල වටා ජාතික වනෝද්‍යාන පිහිටා ඇති අතර, යුනෙස්කෝව එය 1989 දී ලෝක උරුම අඩවියක් ලෙස නම් කළේය.

The Harbor Of Rio De Janeiro - රියෝ ද ජැනයිරෝ වරාය

රියෝ ද ජැනයිරෝ වරාය, ගුවානබරා බොක්ක ලෙසද හැඳින්වේ, එය ගිනිකොනදිග බ්‍රසීලයේ පිහිටා ඇති අතර පරිමාව අනුව ලොව විශාලතම ස්වාභාවික බොක්ක වේ. වර්ග කිලෝමීටර් 412 ක් ආවරණය වන අතර මීටර් 17 (අඩි 56) දක්වා ගැඹුරකින් යුක්ත වන මෙම බොක්ක, ෂුගර්ලොෆ් කන්ද සහ මොරෝ කාරා ඩි කාඕ වැනි ප්‍රසිද්ධ සන්ධිස්ථාන සඳහා නිවහන වේ. ග්‍රැනයිට් පාෂාණ සැකැස්මකින් වට වූ එහි පිවිසුම, සෑම වසරකම මිලියන ගණනක් සංචාරකයින් ආකර්ෂණය කරන විශ්මයජනක දර්ශනයක් නිර්මාණය කරයි. 1502 දී පෘතුගීසි යටත් විජිතවාදීන් ප්‍රථම වරට පැමිණි ස්ථානය වූ බැවින්, බොක්ක ඓතිහාසික වශයෙන් ද වැදගත් වේ. නගරය සඳහා, එය සංස්කෘතික ශක්තිය, සජීවී බව සහ සමුද්‍රීය උරුමයේ සංකේතයකි.

කොපකබානා වෙරළ (Copacabana Beach) වැනි ස්ථාන සමඟ බොක්ක ආර්ථික හා මානව ක්‍රියාකාරකම් සඳහා කාර්යබහුල මධ්‍යස්ථානයක් බවට පත්ව ඇතත්, එහි ස්වාභාවික සුන්දරත්වය නොවෙනස්ව පවතී. ගුවානබරා බොක්ක (Guanabara Bay) බ්‍රසීලයේ කාර්යබහුලම වරායන්ගෙන් එකක් වුවද, එය තවමත් වනජීවීන්ගෙන් පොහොසත් වන අතර ඩොල්ෆින්, කොළ පැහැති මුහුදු කැස්බෑවන්, ජෙලිෆිෂ්, නිවර්තන මාළු, කැපුචින් වඳුරන්, හර්මිට් කකුළුවන්, මුහුදු අශ්වයන්, great egrets (කොක්කු විශේෂයකි) සහ තවත් බොහෝ සත්වයින් මෙහි වාසය කරයි.

Great Barrier Reef - මහා බාධක පරය

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත වෙරළට ඔබ්බෙන්, මුහුදේ පිහිටා ඇති මහා බාධක කොරල් පරය, ලොව විශාලතම කොරල් පර පද්ධතියයි. එය කිලෝමීටර් 2,300 කට වඩා විහිදෙන අතර ගල්පර 2,900 ක් සහ දූපත් 900 ක් ඇතුළත් වන අතර එය වර්ග කිලෝමීටර් 344,400 ක් ආවරණය කරයි. එහි ඇදහිය නොහැකි ජෛව විවිධත්වයට ප්‍රසිද්ධ මෙම පරයේ මත්ස්‍ය විශේෂ 1,500 කට වඩා සිටියි. මෙය දෘඩ කොරල් වර්ග 411 ක් සහ ලෝකයේ මෘදු කොරල් වලින් තුනෙන් එකකට නිවහන වේ. එය මෝරුන් සහ මඩු විශේෂ 134 ක් ද තර්ජනයට ලක්ව ඇති සමුද්‍ර කැස්බෑ විශේෂ හතෙන් හයක් සහ සමුද්‍ර ක්ෂීරපායින් විශේෂ 30 කට වඩා මෙහි ජීවත් වේ. මෙම පරය හම්ප්බැක් තල්මසුන් (humpback whales) සඳහා වැදගත් අභිජනන භූමියක් වන අතර ඩුගොන්ග් නොහොත් මුහුදු ඌරා (dugong) සහ කොළ කැස්බෑවා වැනි වඳවීමේ තර්ජනයට ලක්ව ඇති විශේෂ සඳහා ආරක්ෂිත තෝතැන්නකි.

සංචාරකයන්ගේ පැමිණීම හා දේශගුණික විපර්යාසයන්ගෙන් තර්ජන එල්ල වුවද, මහා බාධක කොරල් පරය සෑම වසරකම මිලියන 2 කට අධික අමුත්තන් ආකර්ෂණය කර ගනිමින් ප්‍රධාන ස්වාභාවික පුදුමයක් ලෙස පවතී. බොහෝ අමුත්තන් කිමිදීම, ස්නෝකර්ලිං, හෙලිකොප්ටර් චාරිකා, වීදුරුවකින් පතුල නැරඹිය හැකි බෝට්ටු සවාරි සහ යාත්‍රා (sailing) කිරීම වැනි ක්‍රියාකාරකම් භුක්ති විඳිති. දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම, කටු සහිත තරු මාළු (crown-of-thorns starfish) වැනි හානිකර විශේෂ ඉවත් කිරීම සහ ප්‍රදේශයේ ජල දූෂණය අවම කිරීම මගින් කොරල්පරය ආරක්ෂා කිරීම සඳහා සංරක්ෂණ කණ්ඩායම් ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටී.

Northern Lights - උතුරු ආලෝකය

උතුරු ආලෝකයන් හෙවත් ඕරෝරා බොරියාලිස්, ආක්ටික් කවය ඇතුළු ධ්‍රැවීය ප්‍රදේශවල බහුලව දක්නට ලැබෙන සුන්දර ස්වාභාවික ආලෝක සංදර්ශකයකි. මෙම ආලෝක සංදර්ශන මගින් කොළ, නිල් සහ දම් වැනි වර්ණ පෙන්වන අතර, ඒවා සිදුවන්නේ සූර්යයාගේ අංශු පැයට කිලෝමීටර මිලියන 72 (පැයට සැතපුම් මිලියන 45) දක්වා වේගයෙන් ගමන් කරන විටය. උතුරු ආලෝකයේ දීප්තිය සහ හැඩය රඳා පවතින්නේ සූර්යයාගේ ක්‍රියාකාරිත්වය සහ පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රය මත ය. වර්ණ ඇති වන්නේ සූර්ය ගිනිදැල් වලින් විද්‍යුත් ආරෝපිත අංශු පෘථිවි වායුගෝලය සමඟ අන්තර්ක්‍රියා කිරීමෙන් වන අතර එය විශ්මයජනක බලපෑමක් ඇති කරයි.

උතුරු ආලෝකයන් නැරඹීමට හොඳම ස්ථාන නගර ආලෝකයන්ගෙන් වෙන් වුන ස්ථානයි. නෝර්වේ, ස්වීඩනය, ෆින්ලන්තය, අයිස්ලන්තය, ග්‍රීන්ලන්තය, කැනඩාව සහ ඇලස්කාව යන ඉහළම ස්ථාන ඒ අතර වේ. බොහෝ අමුත්තන් උතුරු ආලෝකයන් දැකීමට කැමති නිසා මෙම උතුරු ප්‍රදේශවල ශීත සංචාරක ව්‍යාපාරය බොහෝ විට වැඩි වේ.

ලියන්නේ - ජයනි සිතාරි අල්විස්


RECOMMEND POSTS