විද්‍යාඥයන්ට හමුවුණු විස්මිත පොසිලය



එකෝමත් එක කාලයක සිදුවුණු කතාවක් කියන්නයි මේ හදන්නේ. එකෝමත් එක කාලයක කීවාට, මේ සිද්ධිය වුණේ, මීට අවුරුදු මිලියන 130 කට හෝ 120 කට පෙරය. අද උතුරුදිග චීනයට අයත් ලියොනින් පළාතේ, ලුජියැටන් කැණීම් භූමියේ එදා තිබුණේ ඝන වැසි වනාන්තරයකි. තැනින් තැන සක්‍රීය වුණු ගිනි කඳු ද පැවැතිණි. මේ කාලයේ පෘථිවියේ රජ කළේ ඩයිනසෝරයන්ය. ඩයිනසෝරයන් පෘථිවියේ රජ කරද්දී, ක්ෂීරපායීන්, එසේත් නැතිනම් අපේ ආදීතම මුතුන්මිත්තෝ ද පෘථිවියේ වාසය කළහ. ඒත් ඩයිනසෝරයන් නිසා ක්ෂීරපායීන්ට වැඩි තැනක් ලැබී තිබුණේ නැත. එවැනි එක් ක්ෂීරපායී සත්වයකු ලෙස රිපීනෝමැමස් රොබස්ටස් සැලකිය හැකිය. සෙසු ක්ෂීරපායීන් සමඟ සන්සන්දනය කරද්දී,  රිපීනෝමැමස් ප්‍රමාණයෙන් විශාල සත්වයෙකි. එපමණක් නොව, රිපීනෝමැමස්, ඩයිනසෝරයන් දඩයම් කළ ක්ෂීරපායියෙක් විය.

එදා ඒ, දෛවෝපගත දිනයේ, රිපීනෝමැමස් සත්වයා, ආහාර සොයමින් දඩයමේ යමින් සිටියේය. උගේ තියුණු නාස් මුඩුවලට ගොදුරක ඉවක් දැනුණි. වනාන්තරය මැද ගස් අතරේ බිම ගුලක සිටකෝසෝරස් ඩයිනසෝරයකුගේ නිවහනකි. සිටකෝසෝරස් යනු රිපීනෝමැමස් ට වඩා ප්‍රමාණයෙන් තරමක් විශාල, සෙසු ඩයිනසෝරයන් සමඟ සසදද්දී, ප්‍රමාණයෙන් ඉතා කුඩා දෙපා ඩයිනසෝරයෙකි; විශාල ගිරා හොටක් වැනි මුඛයක් තිබුණු, ශාක භක්ෂක ඩයිනසෝරයෙකි. සිටකෝසෝරස්, අම්මා ගුල තුළ සිටියේ තනිවම නොව, පැටවුන් ද තුරුලු කර ‌ගෙනය.

සිටකෝසෝරස්, ඩයිනසෝරයන් ගොදුරු කර ගැනීමේ හපනකු වූ රිපීනෝමැමස්, ඉව කරමින් පැමිණ, සිටකෝසෝරස් නිවසට ඇතුළු විය. ඒ ගුලේ සිටින පැටවුන් ආහාරයට ගැනීමේ අරමුණින්ය. රිපීනෝමැමස් දුටු සැණින්, ගුලි වී ගුල තුළ සිටි ඩයිනසෝර අම්මා පැටවුන් ආරක්ෂා කර ගැනීමට යුහුසුළු වූවාය. ඒත් සිටකෝසෝරස් අම්මාට හෝ පැටවුන්ට හෝ බේරී යෑමට ක්‍රමයක් තිබුණේ නැත. සිටකෝසෝරස් අම්මා පැටවුන් ආරක්ෂා කරද්දී, දත් විලිස්සා ගනිමින් ආ රිපීනෝමැමස්ගේ සිටකෝසෝරස් අම්මා වෙත පැන්නේය. තියුණු දත් ඩයිනසෝරයාගේ සිරුර පසුරු කළේය.  එය මාරාන්තික සටනක් වීමට ඉඩ තිබුණි. ඒත් ඒ මොහොතේ සොබාදහම ඊට බාධා කළේය.

ඒ වනවිටත්, කෙමෙන් කෙමෙන් සක්‍රිය වී පුපුරා යමින් තිබුණු එක් ගිනි කන්දක් බිහිසුණු ආකාරයට පුපුරා ගියේය. භූමිය කම්පා වූයේ සිටකෝසෝරස් අම්මා, පැටවුන් සහ රිපීනෝමැමස් සිටි ගුල පස්වලින් වසා දමා සියලු දෙනා පණ පිටින් වළලමිනි. ඒ සමඟ ගිනි කන්දෙන් නිකුත් වුණු උණු උකු ලාවා තට්ටුවලින් මුළු ප්‍රදේශයම වැසී ගියේය. සිටකෝසෝරස් සහ රිපීනෝමැමස් මියගියේ රිපීනෝමැමස්ගේ දත් ඩයිනසෝරයාගේ සිරුර පසාරු කරද්දීය. සතුන් දෙදෙනාගේ පැටලුණු සිරුරුවල අස්ථි පොසිලකරණය වී, පසුව කැණීම් කරන්න වූ චීන විද්‍යාඥයන්ට හමුවිය. පොසිලකරණට ලක්වුණු අස්ථි ඉතා හොඳින් සුරැකී තිබුණි.

මුලින් එය දුටු සැණින්, විද්‍යාඥයන් අන්දදුන් කුන්දුන් වූයේ, පොසිලයේ සිටින සත්වයා මොකෙක්දැයි වටහා ගැනීමට අපහසු වුණු බැවිනි. වැඩිදුර පරීක්ෂා කරද්දී, එතැන එකිනෙකට වෙනස් සතුන් දෙදෙනකුගේ සිරුරු පැටලී ඇති බව අවබෝධ විය. තවත් අධ්‍යයනය කරද්දී, එක් සතකු උරගයකුට සමාන ඩයිනසෝරයකු බවත්, අනෙක් සත්වයා ලොකු ඌරු මීයකු වැනි ක්ෂීරපායී සත්වකු බවත් විද්‍යාඥයන් විසින් අවබෝධ කර ගන්නා ලදී. එය සැබැවින්ම අපූරු සොයා ගැනීමක් විය.

උතුරුදිග චීනයට අයත් ලියොනින් පළාතේ, ලුජියැටන් කැණීම් භූමියෙන් හමුවුණු පොසිල බොහොමයක් ඈත අතීතයේ ගිනි කඳු පිපිරීම්වලින් නිකුත් වුණු උණුවුණු අළු සහ ලාවා තට්ටුවලින් වැසී පාෂාණීකරණයට ලක්වුණු ඒවාය. ක්‍රි.ව. 790 දී විසූවියස් ගිනි කන්ද පුපුරා" පොම්පේ නගරය මීටර් 6 ක් අළු සහ ලාවා තට්ටුවලින් වැසී ගියේ බොහෝ දෙනා පණ පිටින් මමීකරණය කරමිණි. අදත් තම ආදරණීයයන් තුරුලු කරගෙන ලාවා තට්ටුවලට හසුවී මියගිය අයගේ සිරුරු හමුවේ. ලියොනින් පළාතේ, ලුජියැටන් කැණීම් භූමියෙන් හමුවුණු මෙම පොසිල අස්ථි ද එවැන්නක් සිහිපත් කරන බව විද්‍යාඥයෝ පැහැදිලි කරති.

‘රිපීනෝමැමස් සහ සිටකෝසෝරස් දෙදෙනාගේ එකිනෙකට පැටලුණු පොසිල අස්ථි හමුවී සැබැන්ම සුවිශේෂීයි. ඩයිනසෝරයන් මිහිමත රජ කරද්දී, අපගේ ආදීතමයන් එසේත් නැතිනම් ක්ෂීරපායීන්ට තැනක් තිබුණේ නැහැ. බොහෝ ක්ෂීරපායීන් ප්‍රමාණයෙන් කුඩායි. මීයන් වගේ. උන් සැඟවී, අප්‍රකටව ජීවත් වුණු බව තමයි, විශ්වාස කරන්නේ. රිපීනෝමැමස් ප්‍රමාණයෙන් විශාල ක්ෂීරපායී සත්වයෙක්. පොසිල අස්ථි සොයා ගැනීමත් සමඟ දැන් අපි පැහැදිලිව දන්නවා රිපීනෝමැමස් ඩයිනසෝරයන්ගේ පැටවුන් ආහාරයට ගත් බව. රිපීනෝමැමස්ගේ ප්‍රධාන ආහාරය වන්නට ඇත්තේ සිටකෝසෝරස් පැටවුන්.’ මෙසේ කියන්නේ, මැන්චෙස්ටර් විද්‍යාලයේ පොසිල විද්‍යාඥයකු මෙන්ම භූ විද්‍යාඥයකු වන රේමන්ඩ් රොජර්ස්ය.

‘පසුගිය වසර 120 තුළ හමුවුණු වැදගත්ම පොසිල සාක්ෂියක් ලෙස මෙම පොසිල අස්ථි පෙන්වා දෙන්න පුළුවන්. අපට මෙම ක්ෂීරපායී සත්වයා ගැනත්, ඩයිනසෝරයා ගැනත් අලුත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකිවුණා. මෙය ඇත්තෙන්ම පුදුමයි’ යැයි කොලොම්බියා විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයකු වන පෝල් ඕල්සන් පෙන්වා දෙයි.

සිටකෝසෝරස් (Psittacosaurus) ඩයිනසෝරයා පසුපසු ගාත්‍වලින් (පාද) ඇවිද ගෙන ගිය දෙපා ඩයිනසෝරයෙකි. සිටකෝසෝරස් ආසියාවේ මුල් ක්‍රිටේසියස් යුගයේ සිට දැනට වසර මිලියන 105 කට පෙර සිට දැනට පවතින ක්‍රිටේසියස් යුගයේ සිට වඳ වී ගිය සෙරටොප්සියන් වර්ගයට අයත් ඩයිනසෝරයෙකි. සිටකෝසෝරස් යන්නෙහි අරුත ගිරා හොටක් ඇති ඩයිනසෝරයා යන්නය. චීනය, මොංගෝලියාව, රුසියාව සහ තායිලන්තය ආදී රටවලින් මෙම ඩයිනසෝරයා සහ මෙම ඩයිනසෝරයා අයත් විශේෂ 12 කගේ පොසිල අස්ථි හමුවී ඇත. ඩයිනසෝරයාගේ හොටක් වැනි මුඛය සහ හිස ශක්තිමත්ය. පාද ශක්තිමත් වී ඇත්තේ දිවීමට හැකි වන අයුරිනි. රිපීනෝමැමස් (Repenomamus) යන්නෙහි අරුත ‘උරග ක්ෂීරපායීයා’ යන්නයි. රිපීනෝමැමස් ට එම නම ලැබුණේ ඌ ඩයිනසෝරයන් සමඟ ජීවත් වූ සත්වයකු බැවිනි. මොවුන් ප්‍රමාණයෙන් බැජර් සතකුට හෝ ඔපොසම් සත්වයකුට සමානය. රිපීනෝමැමස් විශේෂ දෙකක් සොයාගෙන ඇත. එම විශේෂ දෙක ම වසර මිලියන 125 - 123 කට පමණ පෙර ක්‍රිටේසියස් යුගයේ ජීවත් වෙන්නට ඇතැයි පැවැසෙයි. ඒ චීනයෙන් හමුවුණු පොසිල අනුවය.

ලයිව් සයන්ස් ඇසුරිනි


RECOMMEND POSTS