වැරදුණු ඉලක්කය



ජපාන අභ්‍යවකාශ ආයතනය හැඳින්වෙන්නේ ‘ජැක්සා’ යන නමිනි. වැඩිය කතාබහට ලක් නොවන, ‘ජැක්සා’ ආයතනය මාධ්‍ය සංදර්ශන නැතිව, තමන්ගේ පාඩුවේ අභ්‍යවකාශ මෙහෙයුම් සිදු කරයි. ‘ජැක්සා’ ඔවුන්ගේ අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා භාවිතයට ගන්නේ, ජපානයේ ම නිෂ්පාදිත රොකට්ටුය. එම රොකට්ටු බොහොමයක් නිපදවීමට දායක වන්නේ, ජපානයේ මිට්සුබිෂි සමාගමය. මිට්සුබිෂි සමාගම ගැන අමුතුවෙන් කිවයුතු නැත. මෝටර් රථ නිෂ්පාදනයේ කීර්ති නාමයක් හිමි කරගෙන සිටින්නේ මිට්සුබිෂිය.

ජපානය සඳ ගවේෂණය කිරීමේ අරමුණින් ආරම්භ කළ නවතම අභ්‍යවකාශ මෙහෙයුම නම් කර ඇත්තේ ‘සිල්ම්’ යනුවෙනි. මෙම මෙහෙයුම යටතේ පතිත කරවන යානයක්, එසේත් නැතිනම් ලෑන්ඩර් වර්ගයේ රොබෝ යානයක් සහ රෝද සහිත කුඩා රෝවර් යානා දෙකක් චන්ද්‍රයා බලා යැවීම ‘ජැක්සා’ විද්‍යාඥයන්ගේ අරමුණ විය. ‘මූන් ස්නයිපර්’ ලෙස නම් කළ මෙම චන්ද්‍ර යානය, පසුගිය 2023 වසරේ සැප්තැම්බර් 6 වැනිදා, චන්ද්‍රයා බලා පිටත් කිරීම සිදුවිය. රොකට්ටුවේ ආධාරයෙන්, පෘථිවි කක්ෂයට සාර්ථකව පිවිසි ‘මූන් ස්නයිපර්’ චන්ද්‍ර යානය, ඉන්පසු චන්ද්‍රයා බලා ගමන් ආරම්භ කළේ පෘථිවි ගුරුත්ව බලයේ සහාය ලබා ගනිමිනි. යානය, චන්ද්‍ර පෘෂ්ඨයට ගොඩ බැසීම සිදුවූයේ පසුගිය ජනවාරි 19 වැනිදාය.

‘ජැක්සා’ විද්‍යාඥයන් ඔවුන්ගේ යානය, චන්ද්‍ර පෘෂ්ඨයට ගොඩබසින අයුරු දැක්වෙන සජීවී දසුන්, යානයේ පාලක පද්ධතියේ පාලක පුවරුවේ දත්ත ඇසුරින් අපට නැරැඹීමට සැලැස්වීය. යානයේ ඉන්ධන, ඔක්සිකාරක සහ බැටරි බලය ද අඩු වැඩි වෙමින් ක්‍රියාකාරී වන අයුරි පාලක පුවරුවෙන් දිස්වෙයි. යානය සෙමින් සෙමින් චන්ද්‍ර පෘෂ්ඨයට ළං වෙද්දී, එහි ඉන්ධන සහ ඔක්සිකාරක සෙමින් අඩුවන අයුරු ද පාලක පුවරුවේ දත්ත ඇසුරින් දකින්න ලැබුණි.

යානය කිසිදු ගැටලුවකින් තොරව සඳට පතිත කෙරුණි. මෙහෙයුම සාර්ථකය. සඳට යානාවක් පතිත කළ ලොව පස්වැනි රට බවට ජපානය පත්විය. ඉතිහාස පොත්වලට ද එක් විය. ජපානය එසේ පස්වැනි රට වූයේ ඇමෙරිකාවට, සෝවියට් රුසියාවට, චීනයට, ඉන්දියාවට පසුවය. ඒත් ගැටලුවක් මතුවිය. යානය ගොඩබැසීම සාර්ථකව සිදු වුණත්, ඉන්පසු ඊට සිදුවුණේ කුමක්දැයි යන්න සම්බන්ධයෙන් ‘ජැක්සා’ ආයතනය හිටිහැටියේ නිහඩ විය.

පැය කීපයක් ගත වෙද්දී, ‘ජැක්සා’ ප්‍රධානීන් මාධළ්‍ය හමුවක් කැඳවීය. ඒ, යානයට සිදුවුණු දේ පැහැදිලි කිරීමේ අරමුණින්ය. යානයේ සූර්ය පැනලවල ගැටලුවක් ඇති බවත්, යානයේ බැටරි ආරෝපණය කර ගනිමින් බලය ලබා ගැනීම ගැටලුවක් බවත් එහිදී අනාවරණය විය.ඒත් නිල නොවන වාර්තා පෙන්වා දුන්නේ ඊට වෙනස් දෙයකි. යානය චන්ද්‍ර කක්ෂයට ඇතුළු වීමෙන් පසුව, එය චන්ද්‍රයා මත ගොඩ බැසීම සිදුවූයේ සෙමින් සෙමින්ය. යානය චන්ද්‍රයා මතු පිටට ගොඩබැසීමට, පහළට ගමන් කළේ තිරස් ආකාරයටය. ගොඩබැසීම සිදු කිරීමට සූදානම් වූ විට එය සිරස් අතට හැරෙයි. ඒ ඇන්ජින් පහළට සිටින ලෙසය.

යානය නියමිත පරිදි හැරවීමෙන් පසු, ගොඩබෑමට සුදුසු ස්ථානයක් තෝරාගෙන, චන්ද්‍ර පෘෂ්ඨය ආසන්නයට පැමිණ, නැවතත් යානය තිරස් අතට හැරීම කළ යුතුය. ඒත් අවාසනාවකට, යානය මෙම අවස්ථාවේදී තිරස් අතට හරවා ගැනීමට නොහැකි විය. එය චන්ද්‍ර පෘෂ්ඨයට පතිත වූයේ, ඇන්ජින් ඉහළට සිටින අයුරිනි. යානයේ සූර්ය පැලය පිහිටා ඇත්තේ සූර්යා දෙසට නොවෙයි, ඊට විරුද්ධ දෙසටය. ඒ අනුව, බැටරි බලය අවසන් වූ පසු බලය ලබා ගැනීමට බැටරි ආරෝපණය කර ගැනීමට නොහැකි විය.

සූර්ය පැනලවලට සූර්යාලෝකය ලැබෙන තෙක් බලන් සිටියොත්, යානය යළි පණ ගන්වා ගැනීමට ‘ජැක්සා’ විද්‍යාඥයන් සමත් වනු ඇත. එසේ වුවත්, යානය නිවැරදි අයුරින් හරවා යළි චන්ද්‍ර පෘෂ්ඨයට පතිත කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතී. කෙසේ නමුත් නිල නොවන ආරංචි අනුව, යානයේ සූර්ය පැනලවලටත් මේ වනවිට හානි සිදුවී ඇත.

එහෙයින් යානයේ ඉදිරි කටයුතු අවිනිශ්චිතය. කෙසේ නමුත්, යානය සඳට ගොඩබෑමේදී ලබාගත් ඡායාරූප සහ දත්ත ‘ජැක්සා’ සතුය. ඒවා ඉදිරියේ දී ප්‍රසිද්ධියට පත් කිරීමට ජපන් විද්‍යාඥයන් බලාපොරොත්තු වෙයි. ලෑන්ඩරය තුළ ඇති ‘එල්.ඊ.වී1’ සහ ‘එල්.ඊ.වී2’ කුඩා රෝවර් යානා ආරක්ෂිතව ඇති බැවින් සහ ඒවා සෘජුව පෘථිවිය සමග සම්බන්ධ බැවින, ඒවා පණ ගන්වා ගැනීමට ‘ජැක්සා’ විද්‍යාඥයන් සමත් වනු ඇත. කෙසේ නමුත් එය ද සැක සහිතය.

සී.එන්.එන් ඇසුරිනි


RECOMMEND POSTS