වැඩිම කාලයක් ධුරයේ සිටින ජනපති



‘ගිනියා’ නමින් රටවල් තුනකි. ප්‍රංශ යටත් විජිතයක් වූ ප්‍රංශ ගිනියාව වර්තමානයේ හැඳින්වෙන්නේ ගිනියාව කියාය. පෘතුගීසී යටත් විජිතයක් වූ ගිනියාව හැඳින්වෙන්නේ ‘ගිනි-බිසෝව්’ යන නමිනි. ස්පාඤ්ඤ යටත් විජිතයක් වූ ගිනියාව හැඳින්වෙන්නේ ‘ඉක්වටෝරල් ගිනියා’ හෙවත් ‘නිරක්ෂීය ගිනියාව’ යනුවෙනි. ‘සමක ගිනියාව’ යනුවෙන් සිංහලෙන් හැින්වුවත්, වඩාත් නිවැරදි ‘නිරක්ෂීය ගිනියාව’ යන්නය. නිරක්ෂීය ගිනියාවේ  ප්‍රධානියා ජනාධිපතිවරයාය‍. ජනාධිපති ධුරය හොබවන්නේ තියෝදෝරෝ ඔබියාංග් නිගුවේමා ම්බසෝගෝ ය. ලොව වැඩිම කාලයක් එක දිගම ජනාධිපති ධුරය හොබවන තැනැත්තා ලෙස වාර්තා අතරට එක් වී සිටින්නේ ද නිගුවේමා ම්බසෝගෝ ය.

පසුගිය නොවැම්බර් 20 වැනිදා නිරක්ෂීය ගිනියාවේ මහ මැතිවරණය පැවැත්විණි. නිරක්ෂීය ගිනියාව මිලියන 1.5 ක ජනගහනයක් වෙසෙන රාජ්‍යයකි. ලියාපදිංචි ඡන්ද දායකයන් ගණන ලක්ෂ 4  ක් බව මැතිවරණ කොමිසම පවසා තිබුණි. පාර්ලිමේන්තු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ආසන 100 කින් සමන්විත අතර, සෙනට් මණ්ඩලය ආසන 55 කින් සමන්විතය. මැතිවරණය පැවැත්වූයේ ජනාධිපතිවරයා පමණක් නොව, පාර්ලිමේන්තුවට නියෝජිතයන් තෝරා ගැනීම සඳහාය.

මැතිවරණය පවත්වා දින හයක් ගතවෙද්දී එහි ප්‍රතිඵල නිකුත් කෙරුණි. 80 හැවිරිදි තියෝදෝරෝ ඔබියාංග් නිගුවේමා ම්බසෝගෝ ට යළිත් වරක් ජනවරමක් හිමිවී තිබුණි. ඒ, සය වැනි ධුර කාලය සඳහාය. එය පුදුමයට හේතුවක් නොවිණි. ඊට හේතුව, මර්දනයට ලක්ව ඇති බැවින්, නිරක්ෂීය ගිනියාවේ විපක්ෂයක් නොමැති වීමය. අභියෝග නොමැතිව, සියයට 95 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගනිමින් දිගටම ජනපති ධුරයේ රැදී සිටීමට නිගුවේමා ම්බසෝගෝ සමත් විය.

නිගුවේමා ම්බසෝගෝ නියෝජනය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයි. “ඡන්ද ප්‍රතිඵලය පැහැදිලියි. අපට තවත් ජනවරමක් හිමිවුණා. අපේ පක්ෂය තවදුරටත් ජනතා ආදරය දිනාගෙන වැජඹෙනවා” ලැබූ ජය සමරමින් මෙසේ පැවැසුවේ නිරක්ෂීය ගිනියාවේ උප ජනාධිපතිවරයාය. උප ජනාධිපති ලෙස ධුරය හොබවන්නේ වෙන කවුරුවත් නොව, ජනාධිපති තියෝදෝරෝ ඔබියාංග් නිගුවේමා ම්බසෝගෝගේ පුත්‍රයාය. 54 හැවිරිදි ඔහුගේ නම තියෝදෝරෝ නිගුවේමා ඔබියාංග් ම්බසෝගෝ ය. නිගුවේමා ඔබියාංග් ම්බසෝගෝ උප ජනාධිපති ධුරය හොබවන්නේ 2016 වසරේ සිටය.

තෙල් සම්පතින් පොහොසත් නිරක්ෂීය ගිනියාව පිහිටා ඇත්තේ මධ්‍යම අප්‍රිකාවේය. පුත්‍රයා පමණක් නොව, ජනාධිපති ම්බසෝගෝගේ පවුලේ සාමාජිකයන් බොහෝ දෙනකු අමාත්‍ය ධුර හොබවයි; රජයේ ඉහළ නිලතල දරයි. නිගුවේමා ම්බසෝගෝ, පළමුවෙන් 1979 වසරේ බලයට ආවේ ජන වරමකින් නොව; හමුදා කුමන්ත්‍රණයකිනි. ඉන්පසු නිරක්ෂීය ගිනියාවේ හමුදා කුමන්ත්‍රණ කීපයක් සිදුවුවත්, ඒවා සාර්ථක නොවිණි නිගුවේමා ම්බසෝගෝ ට අභියෝග කළ හැකි අයකු නැගී සිටියේ ද නැත.

හමුදා කුමන්ත්‍රණයෙන් නිගුවේමා ම්බසෝගෝ රටේ බලය අල්ලා ගනිද්දී, නිරක්ෂීය ගිනියාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේ ඔහුගේ මාමා ෆ්‍රැන්සිස්කෝ මාර්සියාස් නිගුවේමා ය. ස්පාඤ්ඤ යටත් විජිතයක් ලෙස පැවැති නිරක්ෂීය ගිනියාවට නිදහස හිමිවූයේ 1968 වසරේදීය. නිරක්ෂීය ගිනියා ජනරජයේ පළමු ජනාධිපතිවරයා වූයේ ෆ්‍රැන්සිස්කෝ මාර්සියාස් නිගුවේමා ය. මාමා නෙරපා බලයට පත් වීමන් පසු ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දී ක්‍රියාත්මක කළත්, මාමා මෙන්ම නිගුවේමා ම්බසෝගෝ දලදඩු පාලකයෙක් බවට පත් විය. රටේ විපක්ෂයක් හෝ මාධ්‍ය නිදහසක් හෝ නොමැති තරම්ය. සියලු විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය එක්කෝ රජය සතුය. එසේත් තැනිතම් ජනාධිපති තියෝදෝරෝ ඔබියාංග් නිගුවේමා ම්බසෝගෝගේ හෝ ඔහුගේ පවුලේ සාමාජිකයකු හෝ පවුලේ හිතවකු සතුය.

නිරක්ෂීය ගිනියාවේ මානව හිමිකම් උල්ලංඝනය සිදුවෙන බවටත්, මැතිවරණ දූෂණ සිදුවෙන බවටත් වසර ගණනක් තිස්සේ චෝදනා එල්ල වෙයි. මෙවර මැතිවරණයේ දී ද එම චෝදනා එල්ල විය. ජාත්‍යන්තරයේ අප්‍රසාදය නිගුවේමා ම්බසෝගෝ ප්‍රමුඛ රජයට එල්ල විය. එම අප්‍රසාදය යම්තාක් දුරකට මඟ හරවා ගැනීමට ජනාධිපති නිගුවේමා ම්බසෝගෝ සමත් වූයේ පසුගිය සැප්තැම්බරයේය. ඒ, රටේ මරණ දඩුවම අහෝසි කිරීමට ගත් තීරණය හේතුවෙනි. මෙම තීරණය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැසැසුමට ලක් විය.

බීබීසී ඇසුරිනි


RECOMMEND POSTS