ලොව විශාලතම සර්පයා වාසුකී



ඇමසන් වනාන්තරයෙන් හමුවුණු යෝධ ඇනකොන්ඩා මතකයි නේද? මෙතෙක් හුනාගත්, ජීවතුන් අතර සිටි, ලොව විශාලතම සහ දිගම සර්පයා ලෙස වාර්තා අතර ගියේ මිටර් 8 ක් දිග මෙම හරිත ඇනකොන්ඩාය. ඇනකොන්ඩාවන් යනු පිඹුරු විශේෂයකි. ‘ඇනා ජුලියා’ යන නමින් නම් කෙරුණු, ඇමසන් වනාන්තරයේ අතු ගංගාවක සැගවී ජීවත් වුණු, මෙම යෝධ ඇනකොන්ඩා ගැහැනු සතා සොයා ගනු ලැබුවේ ජාත්‍යන්තර විද්‍යාඥයන් කණ්ඩායමක් විසිනි. ඒත් අවාසනාවකට, ‘ඇනා ජුලියා’ ලොවට අනාවරණය කර, මාස කීපයක් යද්දී, දඩයක්කරුවන් අතින් ඇය ඝාතනය විය. එය සැබැවින්ම ඛේදවාචකයකි. විද්‍යාඥයන්ට ඇය හමු නොවුණා නම්, ඇය තවමත් ජීවතුන් අතරය.

ඈත අතීතයේ මීටර් 10 ක් දිග යෝධ සර්පයන් ජීවත් වූ බවට සාක්ෂි ලැබී තිබේ. ‘ටයිටන්බෝවා’ යනු එම සර්පයාය. මිහිමත ජීවත් වුණු විශාලතම සර්පයා ලෙස මෙතෙක් නමක් දිනාගෙන සිටියේ ‘ටයිටන්බෝවා’ ය. ඒත්, ‘ටයිටන්බෝවා’ ට අභියෝග කිරීමට හැකි තවත් දැවැන්ත සර්පයකු පසුගිය දා ඉන්දියාවේ ගුජරාඨ ප්‍රාන්තයෙන් හමුවිය. මැඩ්සොයිඩේ Madtsoiid යනුවෙන් හැඳින්වෙන සර්ප පවුලට අයත්, (පොදුවේ ගත් කළ ටයිටන්බෝවා ද මෙම පවුලට අයත් වෙයි. මැඩ්සොයිඩේ යනු වැඩි වශයෙන් ගොඩබිම ජීවත් වුණු සර්ප විශේෂයකි.) අවුරුදු මිලියන 47 කට පෙර, ජීවත් වුණු දැවැන්ත සර්පයෙකි. පිඹුරු විශේෂයකි.

ඉන්දීය විද්‍යාඥයන් මෙම දැවැන්තයා නම් කර ඇත්තේ ‘වාසුකී ඉන්ඩිකස්’ Vasuki indicus යන නමිනි. ඒ, හින්දු පුරාණයට අනුව, ශිව දෙවියන්ගේ ගෙල වටා එතී සිටින නාග රාජයා සිහි ගන්වමිනි. ඉන්දියානුවන් නාගයින් වන්දනාමාන කරන්නේ ‘වාසුකී’ නාග රාජයාට ගෞරව කරමිණි. zජංගල් බුක්’ යනු ඉංග්‍රීසි ලේඛක රිඩ්යාඩ් කිප්ලිං ලියූ අතිශය ජනප්‍රිය නවකතාවකි. මෙම නවකතාව ඇසුරින් චිත්‍රපට, කාටූන් ආදිය නිර්මාණය වී ඇත. zජංගල් බුක්’ කතාවේ ප්‍රධාන චරිත ඉන්දියාවේ වන සතුන්ය. ඒ අතරේ යෝධ පිඹුරියක ද සිටී. ඇය zකා’ ය. එමෙන්ම බුදුරජුන් බුදුවී සත් සතිය ගතකරන කාලයේ මුචලින්ද විල අසල සිටි වැස්සට නොතෙමී ඉන්නට ඉඩ සැලසූ මුඡලින්ද නාග රාජයා ද මෙම අවස්ථාවේ සිහියට නැගෙයි.

‘වාසුකී ඉන්ඩිකස්’ Vasuki indicus නමැති මෙම යෝධ පිඹුරාගේ පොසිල අස්ථි සොයා ගැනීම සිදුවූයේ ඉන්දියාවේ බටහිරින් පිහිටි ගුජරාඨ ප්‍රාන්තයේ පැනැන්ඩ්‍රෝ ලිග්නයිට් Panandhro Lignite පතලෙනි. ඒ, කැණීම් කරමින් සිටි පතල් සේවකයන් පිරිසකටය. පොසිල සාක්ෂි හමුවුණු බව සැලවීමත් සමඟ රෝර්කී Indian Institute of Technology Roorkee නමැති ඉන්දීය තාක්ෂණ ආයතනයට සම්බන්ධ පොසිල විද්‍යාඥයෝ පිරිසක් පොසිල අස්ථි කොටස් පරීක්ෂා කළහ. සර්පයකුගේ අස්ථි කොටස් බවත්, ඒවා වසර මිලියන 47 ක් පැරණි බවත් කාල නිර්ණ පරීක්ෂණවලින් තහවුරු කර ගැනුණි.

‘වාසුකී ඉන්ඩිකස්’ සර්පයාගේ පොසිල අස්ථි හමුවුණු භූමිය අතීතයේ, වගුරක් වන්න ඇතැයි විද්‍යාඥයෝ පවසති. එදා අප්‍රිකාව, ඉන්දියාව සහ දකුණු ඇමරිකාව තනි භූමි ස්කන්ධයක් ලෙස පවතින්න ඇති බවත් විද්‍යාඥයන්ගේ අදහසය. කැණීම්වලදී හමුවී තිබුණේ සර්පයාගේ පොසිල අස්ථි කොටස් 27 කි. ඒවා ඉතාමත් හොඳින් සුරැකී තිබීම, සර්පයා හඳුනා ගැනීමට විද්‍යාඥයන්ට උපකාරී විය. අස්ථි කොටස් අනුව, ‘වාසුකී ඉන්ඩිකස්’ මීටර් 11 ත් 15 ත් අතර දිගකින් සහ ටොන් 1 කට වඩා වැඩි බරකින් යුක්ත වන දැවැන්ත සිලින්ඩරාකාර සිරුරකට හිමිකම් කී සතකු යැයි තහවුරු කර ගැනුණි. කෙසේ නමුත් ‘වාසුකී ඉන්ඩිකස්’, ටයිටනොබෝවාට වඩා විශාලද නැද්ද යන්න සම්බන්ධයෙන් නිවැරදිව තහවුරු කර ගැනීමට නම් තවත් සාක්ෂි අවශ්‍ය බව මෙම අධ්‍යයන කටයුතුවලට සම්බන්ධ වූ ඉන්දීය පොසිල විද්‍යාඥ ඩෙබාජිත් දත්තා මාධය හමුවේ පැහැදිලි කර තිබේ.

ටයිටන්බෝවාගේ (Titanoboa Cerrejonensis) පොසිල අස්ථි කොටස් සොයා ගැනීම සිදුවූයේ 2009 වසරේ දී ආසියානු රටක් වන කාම්බෝජයෙනි. එම පොසිල අස්ථි කොටස් අනුව, ‘ටයිටන්බෝවා’ මීටර් 10 ත් 13 ත් අතර දිගින් යුත් සර්පයෙකි. ඩයිනසෝරයන්ගේ වදවීමෙන් පසු මෙගලඩොන් නමැති යෝධ මෝරුන් සාගරයේ රජ කරද්දී, ‘ටයිටන්බෝවා’ වැනි යෝධ සර්පයන් මිහිමත රජ කරන්න ඇතැයි යන්න විද්‍යාඥයන්ගේ මතයයි.

ඉන්දීය මාධ්‍ය ඇසුරිනි


RECOMMEND POSTS