රොබෝ කර්මාන්ත ශාලා



ඔන්ලයින් ගනුදෙනු, නැතිනම් ඔන්ලයින් ඇණවුම් යනු අරුමයක් නොවෙයි. අද වනවිට ජංගම දුරකතනයකින්, පරිගණකයෙන් සම්බන්ධ වී ඉතා පහසුවෙන් සහ ඉක්මනින් ඔන්ලයින් ඇණවුම් කිරීමට අපි හුරු වී සිටිමු. කෑම බීම, ඖෂධ, ඇඳුම් පැලඳුම්, සපත්තු සෙරප්පුවල, විසිතුරු බඩු බාහිරාදිය පමණක් නොව, සිල්ලර බඩු පවා, ඔන්ලයින් ඇණවුම් මගින් පහසුවෙන් මෙන්ම ඉක්මනින් අප ළඟට ගෙන්වා ගැනීම කළ හැකිය. ඉතාමත් කාර්ය බහුල ජීවිත ගත කරන බටහිර රටවල වැසියන් නම්, බහුල වශයෙන් ඔවුන්ට අවශ්‍ය බඩු බාහිරාදිය මිලදී ගැනීම කරන්නේ ඔන්ලයින් ක්‍රමයටය. ඔන්ලයින් ක්‍රමයට සිල්ලර බඩු ඇණවුම් කිරීම බටහිර රටවල මහා පරිමාණයෙන් සිදුවන්නකි. සාමාන්‍යයෙන් ඔබ ඔබට අවශ්‍ය සිල්ලර බඩු ලැයිස්තුව ඇණවුම් කිරීමෙන් පසු ඒ ගැන තැකීමක් කරන්නේ නැත. එසේ තැකීමක් කිරීමට අවශ්‍යතාවක් ද නැත. හේතුව, ඔබේ ඇණවුම ඔබ අසලට ඉක්මනින් ලැබෙන බැවිනි. ඒත් බටහිර රටවල නම්, ඔන්ලයින් හරහා ඔබ ඇණවුමක් කළොත්, ඒ ඇණවුම ඔබට ලැබෙන තෙක් අපූරු ක්‍රියාකාරකම් රැසක් සිදුවෙයි. තාක්ෂණයේ දියුණුවත් සමඟ, ඔබ කරන ඇණවුම ඔබ අතට පත් වන්නේ පරිගණක මෘදුකාංග, කෘත්‍රිම බුද්ධි පරිගණක වැඩසටහන් සහ රොබෝවරුන් තිරයෙන් පිටුපස ක්‍රියාකාරකම් බොහොමයකට සම්බන්ධ වන බැවිනි.

කලින් සඳහන් කළ පරිදි කාර්ය බහුල දිවියක් ගත කරන බටහිර වැසියන් බොහෝ දෙනකු ඔන්ලයින් ක්‍රමයට ඔවුන්ගේ සිල්ලර බඩු නිවසට හෝ නවාතැනට හෝ ගෙන්වා ගැනීම කරයි. එංගලන්තයේ ‘ඔර්කාඩෝ සමූහය’ යනු ඔන්ලයින් සිල්ලර බඩු වෙළෙඳ සමාගමකි. එංගලන්තයේ හැට්ෆීල්ඩ් නගරය කේන්ද්‍රකොටගත් ‘ඔර්කාඩෝ’ සමාගම, එංගලන්ත වැසියන්ගේ විශ්වාසය දිනා සිටින ප්‍රධානතම ඔන්ලයින් සිල්ලර බඩු සේවා සැපයුම්කරුය. මෙහි ශාඛා එංගලන්තය පුරා විසිරී තිබේ. ‘ඔර්කාඩෝ’ සමාගමට අයත් ගබඩාවල රොබෝවරුන් සිය ගණනක් පැය 24 පුරා සේවයේ යෙදෙයි. ලුටන් නගරයේ පිහිටි ‘ඔර්කාඩෝ’ ගබඩා සංකීර්ණයේ තත්ත්වය ද එසේමය. ඇණවුම්වලට අනුව, භාණ්ඩ තේරීම සිදු කරන්නේ කෘත්‍රිම බුද්ධි පරිගණක වැඩසටහන්ය. එම වැඩසටහන් රොබෝවරුන් හා සම්බන්ධ වෙයි.

කිසියම් පාරිබෝගිකයකු ඔන්ලයින් ක්‍රමයට මුදල් ගෙවා ඔන්ලයින් ඇණවුමක් කළ සැණින්, එම ඇණවුම හොඳින් කියවා බැලීම පරිගණක පද්ධතියේ මෘදුකාංග හා සම්බන්ධ අයත් කෘත්‍රිම බුද්ධි පරිගණක වැඩසටහන් විසින් සිදු කරනු ලැබේ. මිලදී ගැනීම් මොනවාද? ඒවා යවන්නේ කාටද? ආදිය තෝරා බේරා ගැනීම, පරිගණක මෘදුකාංග මගින් සිදු කරයි. ඉන්පසු ගබඩාවේ ඇති භාණ්ඩවලින් අවශ්‍ය සිල්ලර භාණ්ඩ ඇණවුමට ඇතුළත් කිරීම සිදුවෙයි. මෙය සිදුවන්නේ කෘත්‍රිම බුද්ධිය ට ඇණවුම සම්බන්ධ විස්තර යැවීමෙනි. ගබඩාවේ රොබෝවරුන් මෙහෙයුම් කෘත්‍රිම බුද්ධිය විසින් පාලනය කරනු ලබයි. වරදවා වටහා ගන්නට එපා; මේ රොබෝවරුන් යනු මිනිසුන් වැනි අතපය ඇති රොබෝවරුන් නම් නොවෙයි.  ‘ඔර්කාඩෝ’ ගබඩා සංකීර්ණයේ සිටින්නේ රොබෝ අත් සහ රෝද සහිත රොබෝ යන්ත්‍ර පමණි. ඇණවුමට අදාල සිල්ලර බඩු රාක්කවලින් තෝරා ගැනීම කරන්නේ මෙම රොබෝ අත් ය. රාක්ක පේළිවලට අදාලව රොබෝ අත් සම්බන්ධ කර ඇත්තේ ගබඩා සංකීර්ණයේ රාක්ක පේළිය දිගේ ගමන් කිරීමට හැකි ලෙසය. පරිගණක මෘදුකාංග, කෘත්‍රිම බුද්ධිය සහ රොබෝ අත් එකමුතු වී සකස් කරන ඇණවුම, ‘ඔර්කාඩෝ’ ගබඩාවේ සේවකයන්ගේ අධීක්ෂණයට ලක් වී, ඉන්පසු පෙට්ටිවල අසුරා එය අදාල ලිපිනයට යැවෙයි. මේ සඳහා සේවකයන් සම්බන්ධ වෙයි. සේවක සේවිකාවන් සම්බන්ධ නොවන සියලුම ක්‍රියාකාරකම් කෘත්‍රිම බුද්ධිය සහ රොබෝවරුන් යටතේ සිදුවෙයි. එය සැබැවින්ම විස්මිතය. සාමාන්‍යයෙන්, ඔන්ලයින් ඇණවුමක් කළ විට ගබඩාවේ සේවකයන් එම ඇණවුම පිළියෙළ කර බාර දෙයි. ඒත්, ‘ඔර්කාඩෝ’ ගබඩා සංකීර්ණවල මිනිස් ශ්‍රමය සීමිතය. මිනිස් ශ්‍රමය වන්නේ, ඇණවුම් බහාලූ පෙට්ටි හොඳින් අසුරා, ඒවා අදාල ලිපියනට රැගෙන යෑමට පමණි.

කෘත්‍රිම බුද්ධිය සහ රොබෝවරුන්ගේ සේවාව ලබා ගනිමින් ‘ඔර්කාඩෝ’ කටයුතු කරන්නේ වසර කීපයක සිටය. ඒත්, ‘ඔර්කාඩෝ’ පමණක් නොව, මේ අයුරින් ‘ස්වයංකරණය’ ට ලක් වුණු සිල්ලර බඩු වෙළෙඳ සමාගම් තවත් බොහොමයකි. උදාහරණයක් ලෙස එංගලන්තයේ ‘ඇස්ඩා’ සමාගම හැඳින්විය හැකිය. මේ සමාගම, ඇණවුම් සකස් කරමින්, අවශ්‍ය කටයුතු සිදු කරන්නේ, ස්විට්සර්ලන්ත රොබෝ යන්ත්‍ර සූත්‍ර නිපදවන තාක්ෂණ ආයතනයක් වන ‘ස්විස්ලෝග්’ සහ නෝර්වේ රාජ්‍යයේ ‘ඔටෝස්ටෝර්’ ආයතනය සමඟ එක් වෙමිනි. කෘත්‍රිම බුද්ධි වැඩසටහන් සහ රොබෝ යන්ත්‍ර යොදා ගනිමින් ඇණවුම් නිකුත් කරන ඇමෙරිකාවේ අංක එකේ සාප්පු සංකීර්ණ ජාලය ‘වෝල්මාට්’ ය. ‘වෝල්මාට්’ සමාගම සතු රොබෝ යන්ත්‍ර සියල්ල ඇමෙරිකාවේ ‘සිම්බොටික්’ රොබෝ තාක්ෂණ ආයතනය විසින් නිර්මාණය කරනු ලැබූ ඒවාය.

අපි ආපසු යමු ලුටන් නගරයේ පිහිටි ‘ඔර්කාඩෝ’ ගබඩා සංකීර්ණයට. අද වනවිට ‘ඔර්කාඩෝ’ ගබඩා සංකීර්ණයේ කටයුතුවලින් සියයට 95 ක් පමණ ‘ස්වයංකරණයෙන්’ සිදුවෙයි. රොබෝ යන්ත්‍ර (රොබෝ අත්) ලහි ලහියේ ඔවුන්ට පැවැරුණු රාජකාරිවල නියැලෙයි. ඒ ඒ ඇණවුම්වලට අදාල සිල්ලර බඩු එක් රැස් කරමින් පෙට්ටියකට දැමීම කරන්නේ රොබෝ අත්ය. රොබෝ අත් බොහොම පරිස්සමෙන් හාල් ගෝනි, පිටි පැකට්, සීනි, තේ කොළ පැකට් ආදිය පෙට්ටිවලට දමයි. මෙම රොබෝ අත්වල අග කෙළවර සකසා ඇත්තේ හොඳින් අල්ලා ගත හැකි අන්දමටය. එහෙයින් බඩු බාහිරාදිය බිම වැටීමක්, සිදුරුවීමක් හෝ පළුදු වීමක් වන්නේ නැත. නිසි ලෙස නිවැරදි භාණ්ඩය හඳුනා ගැනීම සිදුවන්නේ කෘත්‍රිම බුද්ධිය මගිනි. භාණ්ඩ හඳුනා ගැනීමට කෘත්‍රිම බුද්ධිය ද පුහුණු කළ යුතුය. එය පහසු කටයුත්තක් නොවෙයි. ‘ඔර්කාඩෝ’ ඉන්ජිනේරුවෝ සියයකට වැඩි පිරිසක් පසුගිය වසර ගණනක් තිස්සේ මහන්සි වී, කෘත්‍රිම බුද්ධිය පුහුණු කළහ. අද ‘ඔර්කාඩෝ’ ඔන්ලයින් සිල්ලර වෙළෙඳ සමාගමක් ලෙස නමක් දිනා සිටින්නේ එම ඉන්ජිනේරුවන්ගේ මහන්සියේ ප්‍රතිඵලයක් හැටියටය.

‘භාණ්ඩ හඳුනා ගැනීමට කෘත්‍රිම බුද්ධි පරිගණක වැඩසටහනක් පුහුණු කිරීම ඇත්තටම හරිම අසීරුයි. එක් එක් භාණ්ඩය සවි කළ කුඩා කැමරා ආධාරයෙන් ස්කෑන් කර ඒවායේ දත්ත කෘත්‍රිම බුද්ධියේ ගබඩා කළ යුතුයි. ඉන්පසු තැලෙන්නේ පොඩිවෙන්නේ හෝ ඉරෙන්නේ නැතිව, කෙළවරින් පැකට්ටුවක් වැනි දෙයක් අල්ලාගෙන එය එහෙටමෙහෙට ගෙන යෑමට  කෘත්‍රිම බුද්ධිය හරහා රොබෝ අත්වලට පණිවුඩ යැවීම කළ යුතුයි මෙය ද අසීරු කටයුත්තක්. නමුත් අප සාර්ථක වුණා’ යැයි ‘ඔර්කාඩෝ’සමාගමේ තාක්ෂණික අංශ ප්‍රධානී ජේම්ස් මැතිව්ස් පැහැදිලි කරයි.

ලුටන් ගබඩා සංකීර්ණයේ රොබෝ යන්ත්‍ර (රොබෝ අත්) 44 ක් ක්‍රියාත්මක වෙයි. සතියකට බඩු බාහිරාදිය ලක්ෂ 4 ක් මෙම රොබෝ අත්වලින් එහෙට මෙහෙට කෙරේ. භාණ්ඩ පෙට්ටිවලට අසුරා යැවීම සිදු කරනු ලබන්නේ සේවක සේවිකාවන් විසිනි. රොබෝ අත්වවලට පහසුවෙන් ග්‍රහණය කර ගැනීමට නොහැකි දේවල් (බෝතල් වැනි) ඇණවුම්වලට එක් කිරීම කරන්නේ ද මෙම සේවක සේවිකාවන්ය. ඉල්ලුම දිනෙන් දින වැඩි වෙද්දී, රොබෝ අත් ද තව තවත් හොඳ තත්ත්වයෙන් නිර්මාණය කිරීමට තාක්ෂණික අංශයේ ඉන්ජිනේරුවන් යුහුසුළු වන බව මැතිව්ස් බීබීසී පුවත් සේවය සමඟ අදහස් දක්වමින් පවසා ඇත. රොබෝවරුන් වැඩි වීම යනු සේවක සේවිකාවන් තවත් අඩු වීමය. රොබෝවරුන් නිසා තම රැකියා අහිමි වේවි යැයි යන බියක් සේවක සේවිකාවන් තුළ පවතී. කෙසේ නමුත් තවමත්, ලුටන් ගබඩා සංකීර්ණයේ සේවක සේවිකාවෝ 1,400 දෙනෙක් රාජකාරිවල යෙදෙති. සියයට 100 ක් රොබෝ තාක්ෂණය පමණක් භාවිතයට ගන්නා දිනයක් අනාගතයේ උදා වේවි. නමුත් ඒ දැන්ම නොවෙයි. රොබෝ තාක්ෂණය කොතරම් තිබුණත්, සුළු ප්‍රමාණයකින් හෝ මිනිස් ශ්‍රමය ද අවශ්‍ය වනු නිසැකය. ‘ඔර්කාඩෝ’ සිල්ලර බඩු සම්බන්ධයෙන් ඔවුන්ගේ තාක්ෂණය වෙනත් සමාගම්වලට අලෙවි කිරීමට ද බලාපොරොත්තු වෙයි. පසුගිය වසරේ ඔවුන් කැනඩාවේ, ‘මැකෙසොන්’ සමාගම සමඟ ගිවිසුම් ඇති කර ගත් බව ද වාර්තා විය. ‘මැකෙසොන්’ යනු කැනඩාවේ අංක එකේ ඖෂධ අලෙවි සමාගමකි.

බීබීසී ඇසුරිනි


RECOMMEND POSTS