රජිව් ගාන්ධි ඝාතකයන්ට නිදහස
මුළු ඉන්දියාව මෙන්ම තමිල්නාඩු ප්‍රාන්තය ද දේශපාලන උණුසුමින් ඇළලී ගොස් තිබුණි. ඒ, මහ මැතිවරණය නිසාය. බලයේ සිටි කොංග්‍රස් පක්ෂය ප්‍රමුණ සන්ධානයේ ජය නියතය. එහි සැකයක් නොවිණි. නේරුමුණුපුරු, අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි, කොංග්‍රස් පක්ෂයට ශක්තියක් වී සිටියා පමණක් නොව,පක්ෂයට නායකත්වය දෙමින්, රටපුරා දේශපාලන රැලිවලට එක් වී සිටියේය. මේ වනවිට එක් ධුර කාලයක් සාර්ථකව අවසන් කර සිටි රජිව් ගාන්ධි ඉන්දීය ජනතාවගේ ආදරයටත් ගෞරවයටත් පලක් වී සිටියේය.
1991 වසරේ මැයි 21 වැනිදා තමිල්නාඩු ප්‍රාන්තයට සුවිශේෂ දිනයකි. දෙවැනි ධූර කාලය අපේකෂාවෙන් තරග වදින්න වූ අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි තමිල්නාඩුවේ කොංග්‍රස් පක්ෂ රැලියකට සහභාගී වීමට චෙන්නායි අගනුවර ශ්‍රීපෙරුම්බුදූර් වෙත පැමිණියේය. විශාකපට්ටනම් සහ ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ පැවැති ජන රැලිවලට සහභාගී වීමෙන් අනතුරුව,අග්‍රාමාත්‍යවරයා කෙළින්ම ශ්‍රීපෙරුම්බුදූර් වෙත පැමිණියේය. ඒ, මදුරාසි ගුවන් තොටුපොළ තෙක් ආ ගුවන් ගමනකින් පසුවය. විශේෂ ආරක්ෂාවක් සහිත රිය පෙරහරකින් අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි, ශ්‍රීපෙරුම්බුදුර් වෙත කැඳවා ගෙන එනු ලැබුවේ තමිල්නාඩුවේ කොංග්‍රස් පක්ෂ සංවිධායකයන් විසිනි.
අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි වෙනුවෙන් විශේෂ වේදිකාවක් සූදානමින් තැබුණි. මහා ජන ගංගාවක් අතරින්, ඔහු වේදිකාව වෙත පිය නගන්න වූයේ රැස්ව සිටි පිරිසට ආචාර කරමිනි. ජන ගංගාවක් අතරින් එසේ වේදිකාව වෙත ඇවිද එද්දී මල් මාලා රැසක් ඔහුට පැලඳවීම සිදුවූයේ බුහුමන් දක්වමිනි. අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි, ජනතා බුහුමන් පිළිගත්තේ ගෞරවයෙනි. මුහුණේ කිසිදු හැඟීමක් නොමැතිව, දැඩි සිතින් යුත් ඇය ද ජනතාව අතරේ සිටියාය. ප්‍රීති ඝෝෂා මැද අග්‍රාමාත්‍යවරයා ඉදිරියට ඇදෙද්දී, ජනතාව අතරින් ඇය ද ඔහුට කිට්ටු වූවාය. ඇය අත ද මල් මාලයක් විය. අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධිට එම මල් මාලය පැලඳවීමට ඇය සූදානම් වෙද්දී, අග්‍රාමාත්‍යවරයා මොහොතකට නැවැතී, ඇයට හිස පෑවේ, ඇය ඔහුට වඩා උසින් අඩු තැනැත්තියක වූ නිසාය. අග්‍රාමාත්‍යවරයාට මල් මාලය පලඳවමින් ඇය හෙමින් පහත් වන්න වූවාය. ඇය ඔහුගේ දෙපා ස්පර්ශ කරමින් අශිර්වාද ලබා ගැනීමට සැරසෙනවා යැයි ඇගේ ක්‍රියාව දුටුවෝ සිතූහ. ඒත් එය එසේ නොවිණි.
තෙන්මෝෂි රාජරත්නම් නමැති ඇය එල්ටීටීඊ කොටිත්‍රස්ත සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකාරියක වූවාය. සාරියට යටින් ඇය පුපුරන ද්‍රව්‍ය පැලඳ සිටියාය. ඇය පහත් වූයේ ඩෙටනේටරය ඇද දමමින් බෝම්බය පුපුරා හැරීමටය. ප්‍රබල පිපිරුමට, අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි පමණක් නොව ඔහු අසල සිටි 16 දෙනෙක් එම අවස්ථාවේදී ම බෝම්බකාරිය බිලි වූහ. 40 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.එසේ රෝහල්ගත කළ පිරිස අතරින් ද පසුව මරණ වාර්තා විය.
ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ඝාතනය මුළු ලෙපාවම කම්පා කළ නොව, එය එල්ටීටීඊ සංවිධානයේ ම්ලේච්ඡත්වය ලොවට කියා පෑවේය. රජිව් ගාන්ධි ඝාතනවයට ලක් වූයේ ඔහුගේත් ඉන්දීය මධ්‍යම රජයේත් අනුකම්පාවට ලක් වුණු එල්ටීටීඊ සංවිධානය අතිනි. එල්ටීටීඊ සංවිධනාය ශ්‍රී ලංකා භූමියෙන් බැහැරව සිදු කළ ප්‍රබලතම ඝාතනය එය විය. ලොව පුරා රටවල් රැසක් එල්ටීටීඊ සංවිධානය තහනම් කිරීමට රජිව් ඝාතනය හේතුවක් කර ගත්තේය. ඉන්දියාව පවා එල්ටීටීඊ සංවිධානය තහනම් සංවිධානයක් ලෙස නම් කළේය.
ශ්‍රී ලංකාවේ, උතුරේ අරගලයට ඉන්දීය අගමැති ධූරය හොබවමින් සිටියදී රජීව් ගාන්ධි මැදිහත් වූයේ අනවශ්‍ය ආකාරයට බව ඉන්දීය දේශපාලන විශ්ලේෂකයෝ පවා එදා පෙන්වා දුන්හ.ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයට විසඳුමක් දිය හැකි බව එදා ඉන්දීය අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි විශ්වාස කළේය. එල්ටීටීඊ සංවිධානය විශ්වාස කිරීම රජිව් ගාන්ධිට සිදුවුණු ලොකුම වැරදීම විය. එම වරද වෙනුවෙන් ඔහු ජීවිතයෙන් වන්දි ගෙවීය.
එදා එම සිදුවීමෙන් පසුව රජීව් ගාන්ධිගේ බිරිය සෝනියා ගාන්ධි ශ්‍රී ලංකාවේ හිටපු ප්‍රබල විපක්ෂ දේශපාලනඥයකු වූ අප්පාපාලෙයි අමිර්තලිංගම් ගේ බිරියට ලිපියක් එවමින් කියා සිටියේ ඇයගේ සැමියා මෙන්ම තම සැමියාද මිය ගියේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ සමානාත්මතාව සහ සම අයිතිවාසිකම් උරුම කරදීමට ගත් උත්සාහය නිසා බවය. අමිර්තලිංගම් මෙන්ම රජීව් ගාන්ධිද වටහා නොගත් දෙයක් විය. ඒ, එල්ටීටීඊ සංවිධානය සමානාත්මතාව හෝ මූලික මිනිස් අයිතිවාසිකම් යනු කුමක්දැයි පවා නොදැන සිටීමය. ඔවුන් දැන සිටි එකම පිළිතුර උණ්ඩයයි; බෝම්බයයි; ප්‍රචණ්ඩත්වයයි.
රජීව් ගාන්ධි යනු එල්ටීටීඊ සංවිධානයට ඉතා විශාල වශයෙන් පහසුකම් සැපයූ නායකයෙකු විය. ඔහුට පෙර ඔහුගේ මව ඉන්දිරා ගාන්ධි ද එල්ටීටීඊ සංවිධානයට ඉන්දියාව තුළ පුහුණු වීම් සඳහා පහසුකම් සැපයූ බව රහසක් නොවෙයි. පසුව ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ගුවන් සීමාව පවා උල්ලංඝනය කිරීමට, රජීව් ගාන්ධි කටයුතු කළේ එල්ටීටීඊ සංවිධානය කෙරෙහි අනවශ්‍ය ලෙස විශ්වාසය තැබූ නිසා බව පැහැදිලිය.
රජීව් ඝාතනය සම්බන්ධයෙන් ප්‍රභාකරන්ගේ සිට චෝදනා එල්ල කොට වරෙන්නතු නිකුත් කෙරුණි. අවසානයේ අත්අඩංගුවට ගැනීමට හැකිවූ පිරිස සමඟින් නඩු විභාග පැවැත්විණි. බොහෝ දෙනෙකුට මරණ දඬුවම නියම විය.රජීව් ඝාතනය කළ බෝම්බකාරිය තෙන්මෝෂි රාජරත්නම් මඩකළපුවේ පදිංචිකාරියක් ලෙස හඳුනා ගැණුනි.ඇයට පහසුකම් සැපයූ ඉන්දීය ජාතිකයන් හය දෙනකු හඳුනාගෙන අත්අඩංගුවට ගැනුණි. මරණ දඬුවම නියම වූයේ ඔවුන්ටය. ඔවුන් සය දෙනා නම්, ශ්‍රීහරන් සහ ඔහුගේ බිරිඳඑස්. නාලිනී, ටී. සුතෙන්ත්‍රිරාරාජා, රොබට් පියස්, ආර්. පී. රවිචන්ද්‍රන් සහ ජයකුමාර්ය. මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලෙස සංශෝධනය කරනු ලැබීය. ඊට ගාන්ධි පවුලේ ද අනුමැතිය හිමි වූයේ සමාව දීම නම් වූ උතුම් ගුණාංගය ලොවට හෙළි කරමිනි.
තමන්ට හෝ තම රටට හෝ කිසිසේත් අදාළ නොවන ගැටලුවකට මැදිහත් වීමට යෑමෙන් අවසානයේ ඉන්දියාවට කීර්තිමත් නායකයකු අහිමි විය. අද ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ කෙංග්‍රස් පක්ෂයයි. එහෙත්, පසුගිය කාලය පුරාවට කොංග්‍රස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය ලැබූ මැතිවරණ පරාජයන් වලින් පිළිබිඹු වූයේ එක් දෙයකි. ඒ, හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශක්තියයි.
අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වූ සය දෙනා පසුගිය දා නිදහස් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. ඒ එස්. නාලිනී සහ ආර්. පී. රවිචන්ද්‍රන් දෙදෙනා තමා නිසිකලට පෙර නිදහස් කරන ලෙස ඉල්ලීමක් අධිකරණයට ඉදිරිපත් කර තිබුණු බැවිනි.මෙම වරදකරුවෝ සත්දෙනාම ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳිමින් සිටි අතර, වසර 30කට වැඩි කලක් සිරගතව සිටියහ.සිරකරුවන්ගේ හැසිරීම යහපත් බැවින්, ඔවුන් නිදහස් කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී තිබුණි.
(විශේෂ වාර්තාකරුවකු විසිනි)