රජයක් පිහිටුවන්න පොරකති



පාකිස්තාන මහ මැතිවරණය අවසන්ය. කිසිදු දේශපාලන පක්ෂයකට බහුතරය නොලැබේවි යැයි කී අනාවැකි සඵල කරමින්, කිසිදු දේශපාලන පක්ෂයක් බහුතරය හිමි නොවිණි. වැඩිම ආසන දිනුවේ ස්වාධීන අපේක්ෂකයන්ය. ඔවුන්ගෙන් වැඩි දෙනා, සිරදඬුවම් විඳින, හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂ සාමාජිකයන්ය. ස්වාධීන අපේක්ෂකයන් ලෙස මොවුන් මැතිවරණයට ඉදිරිපත් වූයේ, අධිකරණයෙන් සහ මැතිවරණ කොමිසමෙන් තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය මර්දනයට ලක් කළ බැවිනි. තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයේ ලකුණ, ක්‍රිකට් පිත්ත පවා තහනම් කෙරුණි. දූෂණ චෝදනාවලට වරදකරු වී, බන්ධනාරගතව සිටින ඉම්රාන් වෙනුවෙන් පක්ෂය මෙහෙයවූයේ නව නායක නීතීඥ ගොහාර් අලී ඛාන්ය. 

භාරකාර රජයක් යටතේ, පාකිස්තාන මහ මැතිවරණය පැවැත්වූයේ පසුගිය 8 වැනිදාය. ඒ, පාකිස්තානයේ 12 වැනි මහ මැතිවරණයයි. පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් 266 දෙනකු තෝරා පත් කර ගැනීමට මැතිවරණය පැවැත්විණි. පාකිස්තාන නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ආසන 366 කින් සමන්විත වන අතර, ආසන 70 ක් කාන්තාවන් සහ සුළු ජාතිකයන් වෙනුවෙන් වෙන් කර තිබේ. මෙවර මැතිවරණයට අපේක්ෂකයන් 5,000 ක් ඉදිරිපත් වූ බව පැවැසිණි. ඔවුන්ගෙන් 313 ක් කාන්තාවන්ය. රජයක් පිහිටුවීමට තනි පක්ෂයක් දිනාගත යුතු ආසන ගණන 134 කි. මහ මැතිවරණයට සමගාමීව, පළාත් සභා මැතිවරණය ද පැවැත්විණි. පළාත් සභා මැතිවරණය පැවැත්වෙන්නේ පන්ජාබ්, සිං, බලුකිස්තාන් සහ කයිබර් පක්තුන්ක්වා පළාත් සඳහා නියෝජිතයන් පත් කර ගැනීමටය.

ප්‍රතිඵල නිකුත් වෙද්දී හවුලක් වෙනුවෙන් දේශපාලන පක්ෂ පොර කන්න පටන් ගත්තේය. මැතිවරණ ප්‍රතිඵල අනුව, තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය දිනා ගත්තේ ආසන 59 කි. ඔවුන් සෙසු ස්වාධීන අපේක්ෂකයන් ද හවුල් කර ගනිමින් රජයක් පිහිටුවීමට උත්සාහ ගත් නමුත් එය සාර්ථක වූයේ නැත.

ඉම්රාන්ගේ තරීක් ඊ ඉන්සාෆ් (පොදු මිනිසාට යුක්තිය) පක්ෂය කරළියට පිවිසීමට පෙර, පාකිස්තාන දේශපාලනයේ මාරුවෙන් මාරුවට රජ කළේ මුස්ලිම් ලීගය එන් සහ පාකිස්තාන ජනතා පක්ෂයයි. පාකිස්තානයේ පවුල් දේශපාලන පක්ෂ දෙක මෙයයි. ෂරීෆ් පවුලේ දේශපාලන පක්ෂය මුස්ලිම් ලීගය එන් වන අතර, ඝාතනය ලක්වුණු හිටපු අග්‍රාමාත්‍ය බෙනාසීර් බූතෝ පවුලේ දේශපාලන පක්ෂය පාකිස්තාන ජනතා පක්ෂයයි.

හවුල් රජයක් පිහිටුවීමට,  සඳහා එකඟතාවක් ඇති කර ගැනීමට, පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ මුස්ලිම් ලීගය එන් පක්ෂය සහ ඝාතනයට ලක්වුණු හිටපු අග්‍රාමාත්‍යවරිය බෙනාසීර් බූතෝගේ පුතු බිලාවිල් බූතෝ නායකත්වය දෙන පාකිස්තාන ජනතා පක්ෂය එකඟක්වය පළ කළේ සාකච්ඡා මාලාවකින් පසුවය.

මෙම ප්‍රධාන පක්ෂ දෙක එක් වුවත් බහුතරයක් පෙන්වීමට නොහැකි බැවින්, මුස්ලිම් ලීගය සහ ජනතා පක්ෂය ඔවුනොවුන්ට හවුල් දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කර එකඟතාවක් ඇති කරගෙන තිබේ. මුස්ලිම් ලීගය එන් පක්ෂය ෂරීෆ් පවුලේ පක්ෂයයි.

පටු දේශපාලන අරමුණු පසෙකලා, එකමුතු වී, හවුල් රජයක් පිහිටුවන්නැයි පාකිස්තාන හමුදාව මුස්ලිම් ලීගය එන් පක්ෂයෙන් ඉල්ලා ඇත. පාකිස්තාන හමුදාව සහ දේශපාලනය අතරේ පවතින්නේ සමීප සම්බන්ධයකි. මෙවර මැතිවරණයේ දී පාකිස්තාන හමුදාවේ මනාපය හිමිවී ඇත්තේ නවාස් ෂරීෆ් පුමුඛ මුස්ලිම් ලීගය එන් පක්ෂයටය.

මෙවර මැතිවරණයේ දී මුස්ලිම් ලීගය පක්ෂය මෙහෙයවීම කළේ වසර ගණනක් ලන්ඩන් නුවර සිට ආපසු පාකිස්තානය බලා ආ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ය. කෙසේ නමුත් ජනතා පක්ෂය සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් පසු බිලවල් බූතෝගේ ද කැමැත්ත ඇතිව, පිහිටුවන නව රජයේ අග්‍රාමාත්‍යවරයා වනු ඇත්තේ තම බාල සොහොයුරු ෂෙහ්බාස් ෂරීෆ් බව මුස්ලිම් ලීගය එන් පක්ෂයට නායකත්වය දෙන නවාස් ෂරීෆ් මාධ්‍ය හමුවේ අවධාරණය කර තිබේ.

2022 වසරේ දී, ඉම්රාන් ඛාන් විශ්වාසභංගයකින් ධුරයෙන් නෙරපා දමා පිහිටුවූ රජයේ අග්‍රාමාත්‍ය වරයා වූයේ ද 72 හැවිරිදි ෂෙහ්බාස් ෂරීෆ් ය. එම රජයේ විදේශ කටයුතු අමාත්‍ය ධුරය හෙබවූයේ 35 හැවිරිදි බිලාවිල් බූතෝය. පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේ  බිලාවිල් බූතෝ, සිය පියා අසීෆ් අලී පාකිස්තාන ජනාධිපති ධුරයට පත්වනු දැකීම තම අපේක්ෂාව බවය.

අසීෆ් අලී සර්දාරි මීට පෙර පාකිස්තාන ජනාධිපති ධුරය හොබවා ඇත. ඒ, 2008 සිට 2013 දක්වා කාලයේය. පාකිස්තානය, දේශපාලනික වශයෙන් පමණක් නොව, ආර්ථික වශයෙන් ද කඩා වැටී අවසන්ය. චීනයෙන් ගත් ණය කන්දරාවක්ගෙවීමට ද ඔවුන්ට සිදුවී ඇත. එහෙයින්, බලයට පත්වන නව රජය හමුවේ ඇත්තේ අභියෝග රැසකි.

පාකිස්තාන මාධ්‍ය ඇසුරිනි


RECOMMEND POSTS