යළි පණ ලැබූ ටෝරස්



රොබට් නොක්ස්ගේ ‘එදා හෙළ දිව’ කෘතියේ යෝධ ගවයකු ගැන කියැවෙයි. මේ ගවයා දිගු අං ඇති, දැවැන්ත ශක්තිමත් ස්ථුල සිරුරකට හිමිකම් කියයි. ජෝන් ඩෙයිලිගේ වාර්තාවල ද මෙම යෝධ ගවයා ගැන සඳහන් වෙයි. මේ සත්වයා හැඳින්වෙන්නේ ‘ගවරා’ යන නමිනි. දෙවැනි රාජසිංහ රජු සුදු ගවරකු ඇති කළ බව ඉතිහාසයේ දැක්වෙයි. ගවරා ප්‍රචණ්ඩ බිහිසුණු සතකු බැවින්, හේවායන්ගේ ශක්තිය බැලීමට, හෙල්ලක් පමණක් දී, ගවරුන් වසන වනාන්තරවලට යැවීම සිදුවිය. මෙය ක්‍රීඩාවකි. හෙළ ජන සම්ප්‍රදායට අනුව ‘ගවර කෙළිය’ යනු මෙයයි. අතීතයේ, උඩරට වනාන්තරවල ජීවත් වූ ගවරා, සුදු ජාතිකයන් විසින් දඩයමට ලක් වුණැයි කියයි. අද ගවරුන් දකින්න නැත. උතුරු ඇමෙරිකාවේ බයිසන් ගවයකුට සමාන ගවරා යනුවෙන් දැවැන්ත සිරුරක් ඇති ගවයන් විශේෂයක් සිටි බවත්, උන් අප රටින් වද වී ගොස් ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම් සහ වන විනාශය නිසා බවත් සත්වවේදීහු පැහැදිලි කරති.

අප රටේ අතීතයේ විසූ ‘ගවරා’ වැනි ගවයන් විශේෂයක්, මීට වසර දහස් ගණනකට පෙර යුරෝපයේ ද ජීවත් විය. මේ ගව විශේෂය හැඳින්වෙන්නේ ‘අවුරෝච්’ යන නමිනි. ‘ගවරා’ මෙන් නොවෙයි, ‘අවුරෝච්’  මහත, බර සිරුරකට හිමිකම් කියන ගවයකු නොවෙයි, ‘අවුරෝච්’ යනු දිගු අං ඇති, දිගු කකුල් ඇති ගවයෙකි. ඈත අතීතයේ, පෘතුගාලයේ කෝවා නිම්නය ‘අවුරෝච්’ ගවයන්ගෙන් ‘සොරායියා’ නමැති කැළෑ අශ්වයන්ගෙන් පිරී පැවැතිණි. ගිජුලිහිණියන් සහ රාජාලියන්, නිම්නයේ කඳුකර ප්‍රදේශවල රජ කරද්දී, පහළ තණ බිම් ‘අවුරෝච්’ ගවයන්ගෙන් සහ කැළෑ අශ්වයන්ගේ රජ දහන විය. කෝවා නිම්නයේ රජ කළේ ‘ටෝරස්’ නමැති ‘අවුරෝච්’ ගව විශේෂයයි. ‘ටෝරස්’ ඉතාමත් ක්‍රියාශීලී ගවයකු වන අතර අද වනවිට මොවුන් සම්පූර්ණයෙන්ම වඳ වී ගොසිණි.

අද පෘතුගාලයේත්, සෙසු යුරෝපා රටවලත් දකින්න ලැබෙන්නේ, ‘අවුරෝච්’ ගවයන්ගෙන් පැවත එන ගවයන් විශේෂයන්ය. ‘ටෝරස්’ ගවයන්ගේ ද වඳවීම සිදුවූයේ මිනිස් ක්‍රියාකාරකම් නිසාය. පුරාණ මානවයන්, මෙම ගවයන් ඉවක් බවක් නොමැතිව දඩයම් කරන්න ඇත. වාස භූමි විනාශ කරන්න ඇත. අද කෝවා නිම්නයේ ලෙන් චිත්‍ර අතරේ ‘ටෝරස්’ ගවයන් ද දකින්න ලැබේ. ගල් කැටයම්වලින් ද ‘ටෝරස්’ ගවයන් නිරූපණය කෙරේ. පුරාවිද්‍යා සාක්ෂි සහ පොසිල සාක්ෂි අනුව, අතීතයේ, ‘ටෝරස්’ ගවයන් කෝවා නිම්නයේ ජීවත් වූ බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. ‘ටෝරස්’ ගවයන් පිළිබඳ ඇති ප්‍රබලතම සාක්ෂියක් වන්නේ මෙම ලෙන් චිත්‍ර සහ ගල් කැටයම්ය. ලෙන් චිත්‍ර සහ ගල් කැටයම් ඇති මෙම භූමිය අද යුනෙස්කෝ ලෝක උරුම අඩවියකි.

අතීතයේ ජීවත් වී, පසුව වඳ වී ගිය වන සතුන්, කෝවා නිම්නයට යළි හඳුන්වා දීමේ නව ව්‍යාපෘතියක් පෘතුගාල රජය ආරම්භ කළේ 2019 වසරේදීය. ඒත් ඊට පෙර සිටම, ‘ටෝරස්’ ගවයන් අභිජනනය සහ උන් යළි වනාන්තරයට මුදා හැරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබුණි. පෘතුගාලය, එරටට අහිමි වූ වන ජීවීන්ට යළි වනාන්තරවලට හඳුන්වා දීමේ නව ව්‍යාපෘතිය ‘රී වයිල්ඩිං පෘතුගාල්’ යන නමින් නම් කර ඇත. ‘ඇත්තටම මේක හරි අපූරු ව්‍යාපෘතියක්. අප චිත්‍රපටවලින් දකිනවා ඩයිනසෝරයන්ට පණ දෙනවා. අයිස් යුගයේ ජීවත් වුණු අලි ඇතුන්ට සමාන මැමතුන්ට, පියඹා යා නොහැකි ඩෝඩෝ කුරුල්ලන්ට පණ දීමට විද්‍යාඥයන් මේ වනවිට සූදානම් වෙනවා. පෘතුගාලයට අහිමි වුණු වන ජීවීන් යළි එරට හඳුන්වා දීමට ආරම්භ කළ ව්‍යාපෘතිය එවැන්නක්.’ යැයි එම ව්‍යාපෘතියේ ප්‍රධානී පේඩ්‍රෝ ප්‍රාටා බීබීසී පුවත් සේවය සමඟ පවසා තිබේ.

කලක් යුරෝපයේ විශාලතම ගොඩබිම් ක්ෂීරපායී සත්වයා ලෙස සැලකුණේ ‘අවුරෝච්’ ගවයන්ය. 17 වැනි සියවසේ දී ‘අවුරෝච්’ ගවයන් ඉවක් බවක් නොමැතිව දඩයම් කිරීම සිදුවුණු බව ඉතිහාසයේ සඳහන් වෙයි. ඉතිහාස වාර්තාවල සඳහන් ආකාරයට, අවසන් ‘අවුරෝච්’ ගවයා මියගියේ 1627 වසරේදීය. ‘රී වයිල්ඩිං පෘතුගාල්’ ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ 2019 වසරේදීය. අද වනවිට, අභිජනනය කරමින් බිහි කළ, ටෝරස්’ ගවයන් 15 දෙනකු පමණක් නොව, ‘සොරායියා’ කැළෑ අශ්වයන්ගෙන් 20 දෙනෙකු ද ‘කෝවා’ නිම්නයේ වර්ග කිලෝ මීටර් 20 ක් පුරා පැතිරුණු භූමි ප්‍රදේශයක නිදැල්ලේ වාසය කරති. ඒ වසර දහස් ගණනක අතීතය යළි ප්‍රති නිර්මාණය කරමිණි. ව්‍යාපෘතියට සම්බන්ධ විද්‍යාඥයන්, ‘අවුරෝච්’ ගව පවුලට අයත් ‘ටෝරස්’ ගවයන් සහ කැළෑ අශ්වයන්ට පණ දුන්නේ කෙසේද? එය සිදුවූයේ ජාන තාක්ෂණයෙනි. ඒත් ජුරාසික් පාර්ක් චිත්‍රපටයේ ඩයිනසෝරයන්ට පණ දුන් අයුරින් නම් නොවෙයි. විද්‍යාඥයන් පළමුවෙන් ‘ටෝරස්’ ගවයන්ගේ ජාන හඳුනා ගත්තේය. ඒ, දීර්ඝ කාලීන පර්යේෂණවල ප්‍රතිඵලයකිනි. එම ජානවලට සමාන, අද ජීවත් වන ගවයන් ගැන විස්තර අධ්‍යයනය කරමින්, ‘ටෝරස්’  පරම්පරාවේ පිරිසුදු ජාන වෙන් කර ගනිමින්, තෝරා ගත් ගවයන් යොදා ගනිමින්, අභිජනනය සිදු කෙරුණි. ජාන තාක්ෂණය යොදා ගනිමින් ‘ටෝරස්’ ගවයන් අභිජනනය කිරීමේ වැඩසටහන 2008 දී ආරම්භ කෙරුණි. ඊට ද පෘතුගාල රජයේ අනුග්‍රහය හිමිවිය. ‘ටෝරස් පදනම’ යන නමින් මෙම අභිජනන වැඩසටහන හැඳින්වෙයි.

‘ටෝරස් පදනම’ නමැති මෙම අභිජනන වැඩසටහන ආරම්භ කෙරුණේ ‘ටෝරස් පදනමේ’ අධ්‍යක්ෂ, පරිසර විද්‍යාඥ රොනල්ඩ් ගොඩේරිගේ මැදිහත් වීමෙනි. විශාල, උස, දිගු කකුල්, සිහින් සිරුරක් සහ ඉදිරියට වක්‍ර විශාල අං ඇති, ‘ටෝරස්’ උන්ගේ ආරෝච් මුතුන් මිත්තන්ගේ ලක්ෂණ සහිතව අභිජනනය කිරීම පහසු වුණේ නැහැ. එම කටයුත්තේ දී යුරෝපය පුරා ගවයන් ගැන අපට හොඳින් අධ්‍යයනය කරන්න සිදුවුණා. කෙසේ නමුත් අප පර්යේෂකයන්ට දකුණු යුරෝපයේ ගවයන් අභිජනනය කරමින්, ‘ටෝරස්’ ගවයන් බිහි කිරීමට හැකි වුණා. මේ ගවයන් සියයට 100 ක් ‘ටෝරස්’ යැයි කියන්න බැහැ. ඒත් අප ආසන්නට පැමිණ සිටිනවා.” යැයි රොනල්ඩ් ගොඩේරි පැහැදිලි කරයි.

“මෙම ක්‍රියාවලියේ දී අප ප්‍රාථමික අභිජනන ක්‍රම භාවිතයට ගත්තා. හැකි සෑම අයුරින්ම අතීතයේ ජීවත් වුණු ගවයන්ට සමාන ආකාරයට ජාන වෙනස්වීම් කළා. අප අභිජනනය කළ ගවයන්, පෙනුමින් පවා ‘ටෝරස්’ ගවයන්ට සමානයි. බැලූ බැල්මට වෙනසක් සොයන්න බැහැ. අපේ ඉලක්කය වන්නේ නැවත වරක් නිදහසේ සැරිසැරීමට හැකි සහ විලෝපිකයන් සමඟ ගැයෙන්න පුළුවන් කැළෑ ගවයකු නිර්මාණය කිරීමයි. ඈත අතීතයේ මෙන්, මෙම ගවයන් පමණක් නොව කැළෑ අශ්වයන් ද අද කෝවා නිම්නයේ තණ පිට්ටනිවල දකින්න ලැබෙනවා’ යැයි රොනල්ඩ් ගොඩේරි වැඩි දුරටත් කියා සිටී.

බීබීසී වාර්තා ඇසුරිනි


RECOMMEND POSTS