මොකක්ද මේ ෆයිබර් ඔප්ටික්ස්



ෆයිබර් වලට අධික වේගයකින් දත්ත හුවමාරු කරන්නට හැකියාවක් තිබේ. එම නිසාම මහද්වීප රටවල් අතර මුහුද යටින් කිලෝමීටර දහස් ගණන් දුර ස්ථාන සම්බන්ධ කරන්නටද ඔප්ටිකල් ෆයිබර් වලට හැකියාව පවතී . විශාල දත්ත ප්‍රමාණයක් එකවර සම්ප්‍රේෂණය කළ හැකිය.

අද වන විට මුහුද හරහා යන කේබල් මගින් මුලු ලෝකයම දැලක් ලෙස ඔප්ටිකල් ෆයිබර් වලින් සම්බන්ධ වී පවතී. දැනට ලෝකයේ ප්‍රායෝගිකව භාවිත වන වේගවත්ම සහ වැඩිම ධාරිතාවකින් දත්ත සම්ප්‍රේෂණය කළ හැකි මාධ්‍යය ඔප්ටිකල් ‍ෆයිබර් ලෙස හැදින්විය හැකිය. Fiber optics ඇතුළේ කිසිම කම්බියක් නැත. තිබෙන්නේ ඇහැට නොපෙනෙන තරම් සිහින් වීදුරු කෙන්දක් පමණි. දත්ත හුවමාරු වන්නේ මෙසේයි, ඕනම දත්තයක් ද්වීමය (binary) සංඛ්‍යාවකින් නිරූපනය කළ හැක.

උදාහරණ ලෙස ඔබට මේ ඉවුරේ සිට එහා ඉවුරේ සිටින පුද්ගලයකුට 011010 දත්තය යැවීමට අවශ්‍ය නම් විදුලි පන්දම Off නම් 0 ලෙසද On නම් 1 ද ලෙසද යොදාගෙන මේ ආකාරයට , off (0), on (1), on (1) , off (0), on (1) , off (0) ලෙස යැවිය හැක. පසුව එම සංඛ්‍යාවට අදාල පණිවුඩය ලබා ගනී. Fiber optics හරහාද දත්ත හුවමාරු වන්නේ මේ ලෙසයි.  

එක සහ බිංදුව විතරක් උපයෝගී කරගෙන දත්ත සම්ප්‍රේෂණය කරනු ලබයි. මෙය ආලෝක වේගයෙන් දත්ත සම්ප්‍රේෂණය කිරීමක් ලෙස අපට හැඳින්විය හැකියි. වීදුරු කෙන්ද දිගේ යවනු ලබන අධි බලැති ලේසර් කදම්භය on off වන ආකාරය අනුව 1 ද 0 ද යන්න හඳුනාගනු ලබයි. පසුව එම සංඛ්‍යා Decode කිරීමෙන් අනතුරුව පණිවිඩය ලබා ගත හැකිය. 

Fiber optics කේබල් මිලෙන් සහ බරෙන් අඩුය. බර අඩු නිසාම මේවා සවි කිරීම සහ නඩත්තු කිරීම ඉතා පහසුය.විද්‍යුත් හා චුම්භක ක්ෂේත්‍ර පවතින ස්ථානවලට සහ අධිසැර විදුලි රැහැන් හෝ විකිරණශීලි තත්ත්ව වලදී පවා fiber optics කේබල් හරහා දත්ත පහසුවෙන්ම හුවමාරු කරගත හැකිය.

(ජයනි සිතාරි අල්විස්)


RECOMMEND POSTS