මියන්මාරය කැලඹූ භූමිකම්පාව



අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථේරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා පාලනයකි. හමුදාව කුමන්ත්‍රණය කරමින්, රටේ බලය අල්ලා ගත්තේ, 2021 පෙබරවාරි පළමු වැනිදාය. ඒ, බලයේ සිටි ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන් සාන් සූ කී සහ ඇගේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන නායකයන් අත්අඩංගුවට ගනිමිනි. සූ කී ට විවිධ චෝදනා යටතේ නඩු පවරා ඇත. එම නඩු විභාග බොහොමයක් රහසේ සිදු වූ අතර, මාධ්‍යයට හෝ ජාත්‍යන්තර නිරීක්ෂකයන්ට ඒවාට සහභාගී වීමට අවසර හිමි නොවිණි. මේ වන විට නොබෙල් සාම ත්‍යාගයෙන්ද පිදුම් ලැබූ සූ කී වසර ගණනාවක සිර දඬුවම් විඳිමින් සිටී. මානව හිමිකම් උල්ලංඝනය කරන බවටත්, සුළු ජාතීන්ට කෙණෙහිලිකම් කරන බවටත්, සුළු ජාතීන්ට එරෙහිව අපරාධ කරන බවටත් ජාත්‍යන්තරයෙන් මියන්මාර හමුදා පාලකයන්ට චෝදනා නැගෙයි. මියන්මාරය, දේශපාලනික වශයෙන් අස්ථාර වී ඇත. තත්ත්වය මෙසේ තිබියදී, පසුගිය සිකුරාදා (28) මධ්‍යම මියන්මාරය බිහිසුණු භූමි කම්පාවකින් කැලැඹිණි. භූමිකම්පා හටගන්නේ භූ තැටි එකිනෙක ගැටෙද්දීය. මියන්මාරය පිහිටා ඇත්තේ ප්‍රධාන භූ තැටි කිහිපයකට ආසන්නවය. එහෙයින් භූමි කම්පා හට ගැනීමේ අවදානම වැඩිය.

භූමිකම්පාවෙන් මියගිය මියන්මාර වැසියන් ගණන මේ වනවිට 1,700 පසු කර ඇතැයි පැවසෙයි. මරණ සංඛ්‍යාව 10,000 පසු කරනු ඇතැයි ඇමෙරිකන් භූ විද්‍යා සමීක්ෂණ ආයතනය බිය පළ කරයි. තුවාල ලැබූ ගණන 5,000 කට වැඩිය. සියවසකට අධික කාලයකින් පසු, මියන්මාරය කැලැඹූ ප්‍රබලතම භූමිකම්පාව මෙයයි.

මියන්මාර රෝහල් තුවාලකරුවන්ගෙන් පිරී ගොස් ඇති අතර, පසුකම්පන අවදානම හේතුවෙන් තුවාලකරුවන්ට ප්‍රතිකාර ලබා දීම සිදුවන්නේ එළිමහනේය. ප්‍රධාන භූමිකම්පාවෙන් පසු ගතවුණු පැය කීපය ඇතුළත පසුකම්පන 14 ක් සිදු වී ඇතැයි වාර්තා වෙයි. තුවාලකරුවන්ට ලේ අවශ්‍ය බවත්, ලේ දීමට ඉදිරිපත් වන ලෙසත්, මියන්මාර හමුදා රජය එරට වැසියටන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

රික්ටර් පරිමාණයේ 7.7 ක ප්‍රබලත්වයකින් යුත් මෙම භූමිකම්පාව හටගත්තේ, 28 වැනිදා දහවල් කාලයේය. භූමිකම්පාවේ අප්‍රිකේන්ද්‍රය; එනම් භූමිකම්පාවේ හටගත් ස්ථානය සටහන් වූයේ, මියන්මාරයේ ඊසාන දෙසින් පිහිටි සගායිං නගරයේ සිට කිලෝ මීටර් 16 ක් උතුරිනි. ප්‍රධන භූමිකම්පාවෙන් පසු හටගත්, එක් පසු කම්පනයක් රික්ටර් පරිමාණයේ සටහන් වූයේ ඒකක 6.7 ක් ලෙසය. සගායිං නගරය බෞද්ධ විහාරවලින් පිරුණු තැනකි. භූමිකම්පාවෙන් බෞද්ධ සිද්ධස්ථාන බිමට සමතලා වන දසුන්, භික්ෂූන් වහන්සේලා හිස්ලූලූ අත දිවයන දසුන් මේ වන විට විදෙස් පුවත් සේවා ඔස්සේත්, සමාජ මාධ්‍ය ඔස්සේත් අපට දකින්න ලැබී ඇත. මියන්මාරයේ දෙවැනි විශාලතම නගරය වන මැන්ඩලේ නගරයටත් දරුණු ලෙස හානි සිදුවිය. භූමි කම්පාවෙන් වැඩිම හානියක් සිදුවී ඇත්තේ මැන්ඩලේ නගරයට යැයි පැවැසෙයි. විනාශ වුණු නිවාස ගණන 1500 ට වැඩිය.

මැන්ඩලේ ජනගහනය මිලියන එකහමාරකි. හමුදා පාලනය හේතුවෙන්, මානුෂීය අර්බුදයකට මුහුණ දෙන මියන්මාර වැසියන්, භූමිකම්පාවෙන් පසු කබලෙන් ලිපට වැටුණි. භූමිකම්පාව සිදුවෙද්දී මැන්ඩලේ නුවර, පෙර පාසල් ගොඩනැගිල්ලක් බිමට සමතලා වූයේ කුඩා දරුවන් සහ ඔවුන්ගේ ගුරුවරයා සුන්බුන් අතරේ සඟවමිනි. මැන්ඩලේ නගරයේ මියගිය පුද්ගලයන්ගේ සිරුරු එකට ගොඩගසා ඇති දසුන් බීබීසී පුවත් සේවය හරහා ලොවට දකින්න ලැබුණි.

භූමිකම්පාවෙන් දෙදරා ගිය නිවාස ගොඩනැගිලි බිමට සමතලා වෙද්දී, දුම්රිය මාර්ග පවා ඇද වී විකෘති විය. නිවාස සහ ගොඩනැගිලි සුන්බුන් අතරේ සිරවුණු මවුවරුන් සහ දරුවන් විලාප දෙන ආකාරයත්, ඔවුන් බේරා ගැනීමට මියන්මාර දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් උත්සාහ ගන්නා ආකාරයත් දැක්වෙන වීඩියෝ දසුන් ද අපට දකින්න ලැබුණි. මියන්මාර හමුදා පාලකයන්, අභ්‍යන්තර තොතුරු කිසිවක් පිටතට ලබා දෙන්නේ නැත. එහෙයින්, අපට විදෙස් මාධ්‍ය ඔස්සේ දකින්න ලැබුණේ සිදුවුණු විනාශයේ අංශු මාත්‍රායක් පමණි.

විපතට පත්වූවන්ට සහාය පළ කිරීමට චීනය, සහන සේවා කණ්ඩායම් කීපයක් මියන්මාරයට යවා ඇත. භූමිකම්පාව සැලවුණු සැණින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැවැසුවේ, මියන්මාරයට හැකි සෑම අයුරින්ම සහාය ලබා දීමට ඉන්දියාව සූදානම් බවය. ඉන්දීය සහන සේවා කණ්ඩායමක් ද මේවනවිට මියන්මාරයට ගොස් ඇතැයි පැවසෙයි. මැලේසියාව, ඉන්දුනීසියාව, වියට්නාමය, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව ද ඔවුන්ගේ සහන සේවා කණ්ඩායම් මියන්මාරයට යැවීමට කටයුතු කර තිබේ. මේ අතර, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද මියන්මාරය මුහුණ දුන් ව්‍යසනය ගැන අදහස් දැක්වීමක් කළේය. ‘මියන්මාර හමුදා පාලනය ගැන අපේ කිසිම පැහැදීමක් නැහැ. නමුත් මේ වෙලාවේ මියන්මාර වැසියන් මුහුණ දී සිටින තත්ත්වය ඛේදනීයයි. ඇමෙරිකාව අවශ්‍ය ඕනෑම උදවුවක් ලබා දීමට සූදානම්.’ යැයි ට්‍රම්ප් පැවැසීය. කෙසේ නමුත් රට මහ ව්‍යසනයකට ලක් වී ඇති අවස්ථාවදී පවා මියන්මාර හමුදාව, ඔවුන්ට එරෙහි කැරැලිකරුවන් ඉලක්ක කරමින් දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බව ද විදෙස් පුවත් සේවා වාර්තා කර ඇත.

මියන්මාර භූමි කම්පාවේ ප්‍රබලත්වය, අසල්වැසි තායිලන්තයටත්, චීනයටත් හොඳින් දැනුණි. තායිලන්තයේ බැංකොක් අගනුවර ඇත්තේ මියන්මාරයේ සගායිං නගරයේ සිට කිලෝ මීටර් දහස් ගණනක් දුරිනි. එසේ වුවත්, බැංකොක් නගරය ද මුළුමනින්ම දෙදරා ගියේය. ඉදිකරමින් තිබුණු මහල් 30 කින් සමන්විත රජයේ ගොඩනැගිල්ලක් බිමට සමතලා වූයේ ඉදිකිරීම් සේවකයන් ද සමඟය. එම දසුන් ද විදෙස් මාධ්‍ය ඔස්සේ දකින්න ලැබුණි. ඉදිකිරීම් සේවකයන් සියයකට වැඩි ගණනක්, සුන්බුන් අතරේ සිරවුණු බව පැවසෙයි. සුන්බුන් අතර සිරවුණු එම පිරිස් සොයා තවමත් සෝදිසි මෙහෙයුම් සිදුවෙමින් පවතී. මේ වනවිට මළ සිරුරු 15 ක් හමුවී ඇතැයි ද පැවැසෙයි.

ඩේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS