මහතීර්ගේ අවසන් හෝරාව



මැලේසියානු මහ මැතිවරණයේ ප්‍රතිඵල පසුගිය 20 වැනිදානිකුත් කෙරුණි. එහිදී කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමි වූයේ නැත.තියුණු සටනක් පැවැතියේ විපක්ෂ නායක අන්වාර් ඊබ්‍රහීම් ප්‍රමුඛ ඔහුගේ 'පක්ටාන් හරප්පාන්' සන්ධානය සහ හිටපු මැලේසියානු අග්‍රාමාත්‍ය මුහිදීන් යසීන් ප්‍රමුඛ ඔහුගේ 'ජාතික සන්ධානය' අතරේය.

ආසන දෙසිය විසි දෙකකින් සමන්විත මැල්සියානු පාර්ලි​මේන්තුවේ ආසන 82 ක් 'පක්ටාන් හරප්පාන්' සන්ධානය සතු වුණු අතර, 'ජාතික සන්ධානය' හිමි කරගෙන තිබුණේ ආසන 73 ක් පමණි. වත්මන් මැලේසියානු අග්‍රාමාත්‍ය ඉස්මයිල් සබ්රි යාකූබ් සහ ඔහුගේ 'බර්සියන් ජාතික සන්ධානය' දිනා ගෙන තිබුණේ ආසන 30 කි. අග්‍රාමාත්‍ය ඉස්මයිල් සබ්රි යාකූබ් සහ ඔහුගේ 'බර්සියන් ජාතික සන්ධානය' ජනතා අප්‍රසාදයට පත් වූයේ එල්ල වී ඇති දූෂණ චෝදනා හේතුවෙනි.

මැලේසියාවේ කෘතහස්ථ දේශපාලනඥයකු වන හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් ද මෙම මැතිවරණයට ඉදිරිපත් විය. ඒ, ඔහු විසින් පිහිටුවා ගත් 'හෝම්ලෑන්ඩ් ෆයිටර්ස්' පක්ෂයෙනි. කෙසේ නමුත් 97 හැවිරිදි මහතීර් මොහොමඩ් මෙම මැතිවරණයේ දී දරුණු පරාජයක් ලැබුවේය. මහතීර් මොහොමඩ්ට ඔහුගේ ලංග්කාවී ආසනය පවා අහිමි විය. අඩ සියවසකට පසු මහතීර් මොහොමඩ් ලැබූ එකම මැතිවරණ පරාජය මෙයයි. ‘මහතීර් මොහොමඩ් දැන් වයසයි. ඔහු  වරක් දේශපාලනයෙන් සමුගත්තා. දැන් ඔහු දේශපාලනයෙන් විශ්‍රාම යා යුතුයි’ මැලේසියානු තරුණ තරුණියන්ගේ අදහස වූයේ  මෙයයි. මෙම වසර ආරම්භයේ මහතීර් මොහොමඩ් හෘදයාබාධයකට පවා ලක් වී ප්‍රතිකාර ලැබුවේය.

මහතීර් මොහොමඩ් වසර 22 ක් මැලේසියාවේ අග්‍රාමාත්‍ය ධුරය හොබවා තිබේ. ඒ, 1981 සිට 2003 තෙක් කාලයේය. පසුව ඔහු දේශපාලනයෙන් විශ්‍රාම ගියේය. මීට වසර දෙකකට පසු ඔහු යළි දේශපාලනයට පිවිසියේය. ඒ, දූෂණ චෝදනා හේතුවෙන් මැලේසියානු දේශපාලනයේ අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබුණු අවස්ථාවකය. 2018 වසරේ දී, 93 වැනි ජන්ම දිනයට ඔන්න මෙන්න කියා තිබියදී මහතීර් මොහොමඩ් යළි මැලේසියානු අග්‍රාමාත්‍ය ධුරයට පත්විය.

මහතීර් මොහොමඩ් උපන්නේ 1925 ජූලි 10 වැනිදාය. මැලේසියාව, කාර්මික ජාතියක් ලෙස නැගී සිටීම සිදුවූයේ මහතීර් මොහොමඩ් අග්‍රාමාත්‍ය ධුරය හොබවද්දීය. ඒ, 1981 සිට 2003 දක්වාත්, පසුව 2018 සිට 2020 දක්වාත් කාලයේය. මහතීර්යේ පියා විදුහල්පතිවරයෙකි. මූලික අධ්‍යාපනය ලැබුවේ මැලේසියාවේ සුල්තාන් අබ්දුල් හමීඩ් විදුහලෙනි. සිංගප්පූරු​වේ මලායා විශ්ව විද්‍යාලයේදී, ඔහු වෛද්‍ය විද්‍යාව හැදෑරුවේය. 1953 දී වෛද්‍ය උපාධිය හිමිකර ගැනීමෙන් පසු 1957 තෙක් ඔහු රජයේ වෛද්‍ය නිලධාරියකු ලෙස රාජකාරි කළේය. පසුව පෞද්ගලික වෛද්‍යවරයකු ලෙස රැකියාව කළේය. 1964 පාර්ලිමේන්තුවට තේරී පත් විය. ඒ, ‘යූඑන්එම්ඕ’ පක්ෂය නියෝජනය කරමිනි. 1969 දී අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ අබ්දුල් රහ්මාන් සමග පැවැති මත ගැටුම් නිසා මහතීර් මොහොමද් පක්ෂයෙන් ‘යූඑන්එම්ඕ’ නෙරපා දැමුණි. 1971 දී ක්‍රියාත්මක කළ නව ආර්ථික ප්‍රතිපත්ති බොහොමයක් මහතීර් මොහොමඩ් විසින් යෝජනා කරනු ලැබූ ඒවා විය.

1970 දී යළි ‘යූඑන්එම්ඕ’ පක්ෂය සමග මහතීර් මොහොමඩ් එක් විය. 1972 දී පක්ෂයේ උත්තරීතර මණ්ඩලයටත් 1974 දී යළි පාර්ලිමේන්තුවටත් තේරී පත් විය. එම වසරේ දීම අධ්‍යාපන අමාත්‍ය ධුරය මහතීර්ට හිමිවිය. 1976 දී නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ධුරයත්, 1981 දී ‘යූඑන්එම්ඕ’ පක්ෂ නායකත්වයත් මහතීර්ට හිමිවිය. එම වසරේ ජූලි මාසයේදී ඔහු මැලේසියානු අග්‍රාමාත්‍ය ධුරයට පත්විය. දීර්ඝ කාලයක් අග්‍රාමාත්‍ය ධුරයේ දිගු කලක් කටයුතු කළඔහු මැලේසියාවට දේශපාලනික වශයෙන් ස්ථාවරත්වයක් ගෙන දීමට සමත් විය. රටේ විශාල ආර්ථික වර්ධනයක්ද දක්නට ලැබුණි. විදෙස් ආයෝජන රටට ගලා ඒමට පටන් ගත්තේය. රාජ්‍ය ආයතන බොහොමයක් පෞද්ගලීකරණය කෙරුණි. බදු ප්‍රතිව්‍යුහගත කෙරුණි; තීරු බදු අඩු කෙරුණි. මැලේසියාවේ පැවැති වාර්ගික බෙදුවාදය තුරන් කර ජනතාව අතර සහජීවනයනැංවීමටද අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් මැදිහත් විය.

1991 හඳුන්වා දුන් නව ආර්ථික ප්‍රතිපත්ති හරහා ක්‍රියාත්මක කෙරුණු නව සංවර්ධන වැඩපිළිවෙළ මැලේසියාවේ ආර්ථිකය තව තවත් ශක්තිමත් කිරීමට හේතු විය. රටේ පැවති දරිද්‍රතාව තුරන් කිරීමටද ඔහු සමත් විය. දූෂණය පිටුදැකීම සඳහා ඔහු විශේෂයෙන් ක්‍රියා කළේය. මැලේසියාව ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වෙද්දී, යටිතල පහසුකම් දිනෙන් දින දියුණු විය. මැලේසියාව සමෘද්ධිමත් දේශයක් කරා ගෙන යෑම අග්‍රමාත්‍ය මහතීර් මොහොමඩ්ගේ දැක්ම විය.

කෙසේ නමුත් 90 දශකය අවසන් වෙද්දී, මැලේසියාවේ ආර්ථිකය අවපාතයකට මුහුණ දුන්නේය. අග්‍රාමාත්‍ය මහතීර් සහ ඔහුගේ අනුප්‍රාප්තිකයා වීමට සූදානමින් සිටි නියෝජ්‍ය අග්‍රාමාත්‍ය අන්වාර් ඊබ්‍රහීම් අතරේ මත ගැටුමක් නිර්මාණය විය. විවෘත වෙළඳ පොළ ආර්ථිකය සඳහාත්, ජාත්‍යන්තර ආයෝජන සඳහාත්, අන්වාර් ඊබ්‍රහීම් සිය සහාය ලබා දෙද්දී, මහතීර් මොහොමඩ් සහ බටහිර රටවල් අතර හිත් අමනාපකම් ඇතිවිය. අග්‍රාමාත්‍ය ​මහතීර් මොහොමඩ් ප්‍රසිද්ධියේ ඇමෙරිකාව විවේචනය කළ අයකු විය.

2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා අල් කයිඩාව ඇමෙරිකාවට පහර දුන්නේය. ඇමෙරිකාව ආරම්භ කළ ගෝලීය ත්‍රස්තවාදයට එරෙහි සටනට අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් සහාය පළ කළේය. එසේ වුවත් 2003 වසරේ ඇමෙරිකාව, ඉරාකය අක්‍රමණය කිරීම, අග්‍රාමාත්‍ය මහාතීර්ගේ දැඩි විරෝධයටත්, විවේචනයටත් හේතුවක් විය. අන්වාර් සමග පැවැති මත ගැටුම් උග්‍ර වෙද්දී, අන්වාර් ඊබ්‍රහීම් සියලු ධුරවලින් නෙරපා දමා අත්අඩංගුවට ගනු ලැබීය. මෙය මැලේසියාව පුරා රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ රැල්ලක් නිර්මාණය කිරීමට හේතුවක් විය. ඒ සමඟම මහතීර් මොහොමඩ්ට ධුරයෙන් ඉවත් වෙන්නැයි බලපෑම් එල්ල විය.

අන්වාර්ගේ ආධාරකරුවන් නිර්දය ලෙස මර්දනය කිරීමට අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් කටයුතු කළේය. 2003 ඔක්තෝබරයේ මහතීර් මොහොමඩ් අග්‍රාමාත්‍ය ධුරයෙන් සමුගත්තේය. 2008 වසරේ දී, දශක ගණනාවකට පසු, ‘යූඑන්එම්ඕ’ පක්ෂය සහ ඊට සහාය දැක්වූ සෙසු ​පක්ෂවලට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය අහිමි විය. මහතීර් මොහොමඩ් ‘යූඑන්එම්ඕ’ පක්ෂයෙන් ඉවත් වූවා පමණක් නොව දේශපාලනයෙන් ද සමුගත්තේය.

දේශපාලනයෙන් සමුගත්තත්, ඉන්පසු අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ නජීබ් රසාක් නිරන්තරයෙන් විවේචනය කිරීම මහතීර්ගේ පුරුද්දක් විය. කලින් නජීබ් රසාක් ගුරුහරුකම් ලබා ගත්තේ මහතීර් මොහොමඩ්ගෙනි. මැලේසියා රජයේ සංවර්ධන අරමුදලින් ඇමෙරිකන් ඩොලර් මිලියන 700 ක් වංචා කළේ යැයි අග්‍රාමාත්‍ය නජීබ් රසාක් සහ තවත් රජයේ නිලධාරීන් රැසකට චෝදනා එල්ල විය. ජාත්‍යන්තර මට්ටමින් සිදුවුණු මුදල් විශුද්ධිකිරීම් සම්බන්ධයෙන් ද ඔවුන්ට චෝදනා රැසක් ද එල්ල විය.

2018 මැතිවරණ වේදිකාව උණුසුම් විය. විපක්ෂ සන්ධානයට මැතිවරණය ජයක් සඳහා පොදු අපේක්ෂකයකු අවශ්‍ය වී තිබුණි. එහිදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූයේ 92 හැවිරිදි වියෙහි පසුවූ මහතීර් මොහොමඩ්ය. පාර්ලිමේන්තුවේ ආසන 222 න්, 122 ක් දිනාගත් විපක්ෂ සන්ධානයට ජය හිමිවුණු අතර, මහතීර් මොහොමඩ් යළි අග්‍රාමාත්‍ය ලෙස දිවුරුම් දුන්නේය.

එදා මැතිවරණ රැලිවලදී මහතීර් මොහොමඩ් දිගින් දිගටම පවසා තිබුණේ තමන් අග්‍රාමාත්‍ය ධුරය හොබවන්නේ වසර දෙකක් පමණක් බවත්, අන්වාර් ඊබ්‍රහීම්ට ඉන්පසු අග්‍රාමාත්‍ය ධුරය පිරිනමන බවත්ය. ඒ අනුව, මහතීර් මොහොමඩ් සිරදඬුවම් විදිමින් සිටි අන්වාර් ඊබ්‍රහීම්ට සමාව දීමට මැදිහත් වී කටයුතු කළේය. ඒ, සුල්තාන් මුහම්මද්ට පෙත්සමක් යොමු කිරීමෙන් පසුවය.

මහතීර් මොහොමඩ් අග්‍රාමාත්‍ය ධුරයේ රාජකාරි ආරම්භ කර දින කීපයක් ගතවෙද්දී, අන්වාර් ඊබ්‍රහීම් හිරෙන් නිදහස් වී යළි දේශපාලන කටයුතුවල නියැළීම ආරම්භ කළේය.එහෙත් මහතීර් සහ අන්වාර් සුසංයෝගය ආරම්භයේ පටන් ම අර්බුදකාරී ස්වරූපයක් ගත්තේය. ඔවුන් අතර වූ මත ගැටුම් උත්සන්න විය. 2020 පෙබරවාරි මාසයේ දී මහතීර් මොහොමඩ් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය.

මෙවර මැතිවරණයෙන් මහතීර් මොහොමඩ් ලද පරාජය ඛේදනීය එකකි. අල්ලස් හා දූෂණයෙන් තොර, බෙදුම්වාදයෙන් තොර, මැලේසියාවක් නිර්මාණය කිරීමට ඔහු ගත් වෙහෙස ඔහුගේ ජීවිත කාලය තුළ ම අත්දකින්නට ඔහුට හැකිවිය. ඔහුට මැලේසියාවේ ජනතා ගෞරවය නොඅඩුව ලැබුණේ ය. 97 හැවිරිදි වියේ පසුවන මහතීර් මොහොමඩ් 2020 දී දේශපාලනයෙන් විශ්‍රාම ගිය ද ඔහුට දේශපාලනය අත්හළ නොහැකි විය.

මෙවර මැතිවරණයට තරග වැදුණේ ද ඒ නිසාය. එහෙත් තරුණ පරපුර ඔහුව පිළිගත්තේ නැත. ‘මහතීර් දැන් මහලුයි’ යන්න ඔවුන්ගේ තීරණය විය. වෛද්‍ය මහතිර් මොහොමඩ්ට සිය දේශය නිවැරදි දිශානතියට ගෙන යන්නට එදා තියුණු දැක්මක් තිබුණ ද මෙදා තරුණ පරපුර යන දිසාව දැක ගන්නට නොහැකි වීම ඛේදයට කරුණකි.

මැලේසියානු පුවත් සේවා ඇසුරිනි


RECOMMEND POSTS