බහුතරය නැතත් මෝදි දිනුම්



අදියර 7 ක් යටතේ, දින 44 ක් තිස්සේ පැවැති, ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම සිදුවිය. ඉන්දීය මහ මැතිවරණය සැලකෙන්නේ ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙසය. ඡන්ද ගණන් කිරීම ආරම්භ වූයේ ඉන්දියාවේ වේලාවෙන් උදෑසන 8 ටය. අනාවැකි සඵල කරමින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය පිටපිට තෙවැනි වරටත් විශිෂ්ට ජයක් හිමි කර ගත්තේය.

පසුගිය පෙබරවාරි 19 වැනිදා සිට, අදියර 7 ක් යටතේ මහ මැතිවරණය පැවැත්වූයේ ඉන්දීය පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හෙවත් ලොක් සභාවේ ආසන 543 සඳහා නියෝජිතයන් තෝරා ගැනීමටය. බහුතරය සඳහා ආසන 272 ක් දිනා ගත යුතු විය. සුපුරුදු පරිදි මෝදි සහ ඔහුගේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය මැතිවරණයට පිවිසියේ ‘ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය’ හරහාය. භාරතීය ජනතා පක්ෂය ආසන 300 කට වැඩි ගණනක් දිනාගෙන සිටියේය.

මෙවර මැතිවරණයට අග්‍රාමාත්‍ය මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය ඉදිරිපත් වූයේ නිසැක ජයක් අපේක්ෂාවෙනි. එය ප්‍රධාන විපක්ෂය වන ‘කොංග්‍රස්’ පක්ෂයත්, විපක්ෂ පක්ෂ එක් වී අභිනවයෙන් පිහිටුවාගත් ‘ඉන්දියා’ නමැති විපක්ෂ සන්ධානයත් හොඳින් දැන සිටියේය. මෙවර මැතිවරණයේ දී මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂයට සුවිශේෂී ඉලක්කයක් තිබුණි. ඒ, තනිවම ආසන 400 කට වඩා වැඩියෙන් දිනා ගැනීමටය. එසේ කිරීමට නම්, තමිල්නාඩුව ඇතුළු දකුණු ඉන්දීය ප්‍රාන්තවප බලය භාරතීය ජනතා පක්ෂයට හිමි විය යුතු විය. එහෙත්, මෝදිගේ ආසන 400 සිහිනය බොඳ විය.

මෝදි මෙවර මැතිවරණ ව්‍යාපාරයේ දී මුස්ලිම් ෆෝබියාවක්, එසේත් නැතිනම් මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් භීතිකාවක් අනිර්මාණය කර, එය වාසියට ගෙන, හින්දුවරුන්ගේ ඡන්ද ලබා ගැනීම කළේ යැයි දේශපාලන විචාරකයන්ගේ බොහෝ දෙනාගේ අදහස වී තිබේ. ඉන්දීය දේශපාලන කරළියේ පෙරැළි අනුව, එවැනි අදහස් පළ වීම අරුමයක් නොවෙයි. මෙවර මැතිවරණ ව්‍යාපාරයේ දී හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය, විපක්ෂයට දිගින් දිගටම චෝදනා කරන්න වූයේ, කොංග්‍රස් පක්ෂය ඇතුළු විපක්ෂ දේශපාලන කණ්ඩායම්, ඉන්දීය මුස්ලිම්වරුන් වෙනුවෙන් පෙනී සිටිමින්, මුස්ලිම්වරුන්ට වාසි වන අයුරින් කටයුතු කරන බවටය. මෝදි මැතිවරණ රැලිවලදී දිගින් දිගටම මේ බව අවධාරණය කළේය. භාරතීය ජනතා පක්ෂය, අග්‍රාමාත්‍ය මෝදි හඳුන්වා දෙන්න වූයේ ඉන්දියාවේ බහුතරය වන හින්දුවරුන්ගේ ගැලවුම්කරුවානන් කියාය. ඉන්දියාවේ සුළුතරය වන මුස්ලිම් ජනගනය මිලියන 200 ක් පමණය. ආසියානු කලාපයේ ඉන්දුනීසියාවට සහ පාකිස්තානවයට පසු, වැඩිම මුස්ලිම් බහුතරයක් වෙසෙන්නේ ඉන්දියාවේය. ‘ඉන්දියා’ විපක්ෂ සන්ධානය, මෝදි සහ භාරතීය ජනතා පක්ෂයෙන් දිගින් දිගටම එල්ල වුණු චෝදනා ප්‍රතික්ෂේප කළේ, ඉන්දියාව තුළ සමානාත්මතාවක් ඇති කරමින්, සමාජ සාධාරණත්වයක් ඇති කිරීමට උත්සාහ ගන්නා බව පැහැදිලි කරමිණි. 

ඉන්දියාවේ කුල ක්‍රමය තවමත් පවතී. කුල භේදය නිසා පීඩාවට පත්වන ඉන්දියානුවන් බොහොමයකි. අසාධාරණයට ලක්වූවන් සහ ගොවියන් වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීම, රජයේ රැකියා වැඩි කිරීම ආදිය මෙවර මහ මැතිවරණයේ දී කොංග්‍රස් පක්ෂය අයත් ‘ඉන්දියා’ විපක්ෂ සන්ධානයේ ඡන්ද පොරොන්දු අතරින් කැපී පෙනෙයි. අග්‍රාමාත්‍ය මෝදි මෙම ඡන්ද පොරොන්දු සියල්ල හෑල්ලු කරමින්, මැතිවරණ රැලිවලදී කියා සිටියේ, ඒ සියල්ල විපක්ෂයේ ඡන්ද ගුණ්ඩු බවය. භාරතීය ජනතා පක්ෂය මෙවර මැතිවරණයේ දී ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශනය හරහා ඉස්මතු කළේ අග්‍රාමාත්‍ය මෝදිය. මෝදි කේන්ද්‍ර කර ගනිමින්, ‘මෝදි සහතිකය’ යනුවෙන්, ජනතාවට සහතික වූයේ පවතින ජීවන තත්ත්වය තව තවත් උසස් කිරීමට මෝදි සමත් වනු ඇතැයි පැහැදිලි කරමිණි. ඉන්දියාව අභ්‍යවකාශ ගවේෂණයට යොමු වී සිටී. ඒ සියලු කටයුතු සොයා බලන්නේ අග්‍රාමාත්‍ය මෝදිය. ඉන්දීය අභ්‍යවකාශ වැඩසටහන ඉතා වේගයෙන් ඉදිරියට යයි. ඉන්දියාව අඟහරු ගවේෂණයට යානාවක් යවා තිබේ. සඳට යානාවක් ගොබස්සවා තිබේ. හිරු ගවේෂණයට ද යානයක් යවා තිබේ. ඉදිරියේ දී අභ්‍යවකාශයට ඉන්දීය ගගනගාමීන් යැවීමට ද මෝදි රජය සැලැසුම් සකස් කර ඇත. මේවා මෝදි සහ භාරතීය ජනතා පක්ෂයේ ජයග්‍රහණයේ සාධක ලෙස සැලකිය හැකිය.

අග්‍රාමාත්‍ය මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය සහ ඔවුන්ගේ සන්ධානය, පළමුවෙන් බලයට පැමිණියේ 2014 වසරේදීය. ආසන 543 කින් සමන්විත ලොක් සභාව හෙවත් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය සඳහා ආසන 272 ක් දිනා ගැනීම කළ යුතුය. 2014 දී භාරතීය ජනතා පක්ෂය ආසන 303 ක් දිනා ගත්තේය. සෝනියා ගාන්ධි සහ පුතු රාහුල් ගාන්ධි නියෝජකය කරන, ගාන්ධි පවුලේ උරුමය ද වන කොංග්‍රස් පක්ෂය සහ ඔවුන්ට හිතවත් සෙසු විපක්ෂ දේශපාලන පක්ෂ එක් වී පිහිටුවාගෙන තිබුණු ‘එක්සත් ප්‍රගතශීලී සන්ධානය’ විපක්ෂ සන්ධානයට දිනා ගැනීමට හැකිවූයේ ආසන 44 ක් පමණි. මෙය කොංග්‍රස් පක්ෂය ලැබූ ප්‍රබල පරාජයකි. 2019 වසරේ මහ මැතිවරණය පැවැත් වෙද්දී, මෝදි සහ භාරතීය ජනතා පක්ෂයේ ජනප්‍රියත්වය අන් කවරදාටත් වඩා ඉහළ ගොස් තිබුණි. 2019 මහ මැතිවරණයේදී භාරතීය ජනතා පක්ෂය ආසන 303 ක් දිනා ගත්තේය. සෝනියා ගාන්ධි සහ පුතු රාහුල් ගාන්ධිගේ කොංග්‍රස් පක්ෂ සන්ධානයට දිනා ගැනීමට හැකිවූයේ ආසන 52 කි. කොංග්‍රසයේ පරාජය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෝදි කියා සිටියේ, ‘ගාන්ධි පරපුරේ උරුමය’ ඉන්දීය ජනතාව ප්‍රතික්ෂේප කළ බවය.

මෙම 2024 මහ මැතිවරණය වනවිට, කොංග්‍රස් පක්ෂ නායකත්වයට ‘ගාන්ධි’ වාසගම නොමැති අයකු  පත් කර ගැනීම සිදුවිය. මේවනවිට කොංග්‍රස් පක්ෂ නායකත්වය හොබවන්නේ මල්ලිකාර්ජුන් කාර්ගේය. මෙම මහ මැතිවරණයේදී අග්‍රාමාත්‍ය මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂයට යම් තරමින් හෝ අභියෝගයක් වීමට කොංග්‍රස් පක්ෂය සහ ඔවුන්ගේ සන්ධානය, ඉන්දියාවේ සියලු ප්‍රධාන විපක්ෂ දේශපාලන පක්ෂ සමඟ හවුල් වී නව සන්ධානයක් පිහිටුවීය. ‘ඉන්දියා’ විපක්ෂ සන්ධානය එයයි. දිල්ලි මහ ඇමැති අරවින්ද් කෙජ්රිවාල්ගේ ආම් ආද්මී පක්ෂය, තමිල්නාඩු මහ ඇමැති එම්.කේ ස්ටාලිංගේ ඩී.එම්.කේ පක්ෂය, බටහිර බෙංගාල මහ ඇමැතිනී මමතා බෙනර්ජිගේ ත්‍රිණමූල කොංග්‍රසය ආදී ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම් 15 ක්, ‘ඉන්දියා’ විපක්ෂ සන්ධානයේ සාමාජිකයන් විය.

වැඩිම කාලයක් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවූයේ ජවහර්ලාල් නේරුය. නූතන ඉන්දියාව බිහි කිරීමේ අඩිතාලම දැමුවේ නේරුය. යටත් විජිත ඉන්දියාවේත්, නිදහස් ඉන්දියාවේත් දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක් ලෙස නේරු සැලකෙයි. නේරු, 1947 සිට 1964 දක්වා වසර 16 ක් අගමැති ධුරය හෙබවූයේය. ඉන්පසු වැඩිම කාලයක් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරය හෙබවූයේ නේරුගේ දියණිය ඉන්දිරා ගාන්ධිය. ඇය වසර 15 ක් ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරිය වූවාය. 1884 දී ඉන්දිරා ගාන්ධි ඝාතනයට ලක් වූවාය. ඉන්දියාවේ පළමු සහ එකම කාන්තා අගමැති ඉන්දිරාය. පසුගිය අගමැති වූ රජිව් ගාන්ධි, ඉන්දිරා ගාන්ධිගේ පුතුන් දෙදෙනාගෙන් කෙනෙකි. රජිව් ගාන්ධිගේ බිරිඳ මෙන්ම රාහුල් ගාන්ධිගේ මව වන්නේ සෝනියා ගාන්ධිය. ඉන්දිරා ගාන්ධිගේ ඝාතනයෙන් පසු රජිව් ගාන්ධි ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත් වෙද්දී, ඔහුගේ වයස අවුරුදු 40 ක් විය. ඉන්දියාවේ ළාබාලතම අග්‍රාමාත්‍යවරයා වන්නේ ද රජිව් ගාන්ධිය. 1984 මහ මැතිවරණයේදී රජිව් ගාන්ධි ප්‍රමුඛ කොංග්‍රස් පක්ෂය බලයට පැමිණියේ ආසන 414 ක් දිනා ගනිමිනි. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ භාරතීය ජනතා පක්ෂයේ මෙවර ඉලක්කය වූයේ ද ආසන 400 ක් දිනා ගැනීමය.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලෝකයේ වඩාත් පිළිගැනීමට ලක්වී සිටින රාජ්‍ය නයෙකයෙකි. සුළුජාතීන්ට කෙණෙහිලිකම් සිදුවෙනවා යැයි චෝදනා එල්ල වුවත්, ලොව වැඩිම ජනගහනයකට හිමිකම් කියන ඉන්දියාව, ලෝකයේ ප්‍රමුඛ ස්ථානයකට ගෙන යෑමේ නියමුවා වී සිටින්නේ මෝදිය. ඇමෙරිකාවේ, ‘ආසියාවේ මිතුරා’ මෝදිගේ ඉන්දියාවය. චීනයත් ඉන්දියාවත් අතර ගැටුම් පවතී. දේශසීමා ආරවුල් එම ගැටුම් උත්සන්න කර තිබේ. චීනය ආසියාවේ බලය තහවුරු කර ගැනීමට උත්සාහ ගනිද්දී, ඇමෙරිකාවේ සහායට සිටින මිතුරා ඉන්දියාවය. මෝදි සහ ඇමෙරිකා ජනාධිපතිවරුන් අතරේ සවිමත් ශක්තිමත් සබඳතා පවතී.

දේශපාලනයට පිවිසීමට පෙර මෝදි ගුජරාඨයේ දුම්රිය පොළක තේ කඩයක සේවය කළේය. මෙය කවුරුත් දන්නා කතාවකි. මෝදි බිම් මට්ටමේ සිට, දේශපාලන කරළියේ පෙරැළි කළ අයෙකි. තරුණ වියේ යෝජිත විවාහයක් සිදුවී ඇති නමුත්, එම විවාහයට අකැමැති වූ බැවින් මෝදිට අවිවාහකය. දරු මල්ලන් නැත. ඉන්දියාවේ යෝග ව්‍යායාම ලෝකයට ගෙන ගියේ මෝදිය. යෝග වෙනුවෙන් අද ජාත්‍යන්තර දිනයක් ද වෙන් කර ඇත. ඒ, මෝදිගේ මැදිහත් වීමෙනි. මෝදි නවීන තාක්ෂණය භාවිතයට ගනී. මෝදිගේ එක්ස් ගිණුම අතිශය ජනප්‍රියය. ෆේස්බුක් ගිණුම ද ඊට දෙවැනි නැත. මෙවර මැතිවරණයේ දී මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය පමණක් නොව, සියලුම දේශපාලන පක්ෂ සමාජ මාධ්‍ය උපරිමයෙන් භාවිතයට ගත්තේය. ඒ.අයි. කෘත්‍රිම බුද්ධි තාක්ෂණය භාවිතයට ගනිමින් එකිනෙකාට මඩ ගසා ගත්තේය.

මෝදි නිර්මාංශය. අපිරිසුදුකම අතින් ඉන්දියාව කප් ගැසූ රටකි. නගරබදව වැඩියෙන් දකින්න නොලැබුණත් පිටිසරබදව ඉන්දියානුවන් වැසිකිළි යන්නේ එළිමහනේ බව අමුතුවෙන් කිය යුතු නැත. ඉන්දියාව පිරිසුදු රටක් බවට පත් කිරීමට මෝදි වැඩසටහන් රැසක් හඳුන්වා දී ඇත. ඉන්දියාවේ නගර සහ ගම්මාන සූර්ය බලයට හුරු කළේ මෝදිගේ සංකල්ප අනුවය. හින්දුවරුන් වෙනුවෙන් මෝදි කැප වී සිටී. පුරාණ හින්දු කෝවිල් අලුත්වැඩියා කිරීම, තව තවත් දැවැන්ත හින්දු කෝවිල ඉදි කිරීම මෝදිගේ අරමුණය. 

රාහුල් ගාන්ධි සමඟ සැසඳීමේදී, මෝදි ධනවතකු නොවෙයි. අතල් බිහාරි වජ්පායි ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරය හොබවද්දී, ඇමති මණ්ඩල සාමාජිකයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ කළ යුතු යැයි තීරණය කෙරුණි. ඒ අනුව, අග්‍රාමාත්‍ය මෝදිගේ ද වත්කම් බැරකම් ප්‍රසිද්ධ කර තිබේ. ඒ අනුව, මෙම 2024 වෙද්දී, මෝදිගේ වංචල වත්කම් ඉන්දීය රුපියල් කෝටි 3.02 කි. ඉන්දීය රාජ්‍ය බැංකුවේ ඇති ස්ථාවර තැම්පතු වටිනාකම කෝටි 2.85 කි. ග්‍රෑම් 45 ක් බර, රුපියල් දෙලක්ෂ හැට හත්දහසක් වටිනා රන් මුදු හතරක් මෝදි සතුය. මෝදිට වාහන නැත. ඔහුට ඇත්තේ නිල රථය සහ ඊට අදාල රථ පෙරහර පමණි. මෝදිගේ නිල රථය නොවදින එකකි. අගමැති ධුරයට පත්වීමෙන් පසු මෝදි කිසිදු දේපොල මිලදී ගැනීමක් කර නැත. ඔහු සතුව ඇත්තේ 2002 වසරේ දී මිලදී ගත් පෞද්ගලික ඉඩමකි. එම ඉඩමේ ද මෝදි එක් කොටස්කරුවකු පමණි.

ඉන්දීය මාධ්‍ය ඇසුරිනි


RECOMMEND POSTS