පුටින්ට අභියෝග කළ ප්‍රිගෝජින්



බටහිරට අභියෝගයක් කළ හැකි, ශක්තිමත් නායකයකු වූයේ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ය. බටහිරට ගැති නැති බොහෝ දෙනාට පුටින් වීරයකු වූයේ එබැවිනි. ලෝකයට ලොක්කකු වීමේ අරමුණක් පුටින්ට නැත. පුටින් රුසියාවේ බලයට පත් වී, දශක දෙකකට වැඩිය. එම කාලය තුළ ඔහුට ‘අභියෝගයක්’ කළ හැකි ජගතකු සිටියේ නැත. මේවනතුරු සිටියේ නැත.

යුක්රේනයට පහර දෙන්න එපා යැයි ඇමෙරිකාව දිගින් දිගටම තර්ජනය කරද්දී, රුසියන් ජනාධිපති පුටින් එය ගණන් ගත්තේ නැත. පසුගිය 2022 වසරේ පුටින් සිය හමුදා මෙහෙයවමින් යුක්රේනය ආක්‍රමණය කළේය. යුක්රේනයේ නැගෙනහිර පළාත් සහ නගර රැසක් අත්පත් කර ගත්තේය. රුසියාව යුක්රේනයට එරෙහිව ගත් මෙම හමුදා ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන්, ඊට විරෝධය පළ කරමින්, ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් පුටින්ටත් රුසියන් රජයටත් සම්බාධක පැනවීය. යුක්රේනය දින කීපයකින් අල්ලා ගන්නවා යැයි පුරසාරම් දෙඩුවත්, රුසියාවට තවමත් යුක්රේනය අල්ලා ගැනීමට හැකි වී නැත.  2022 පෙබරවාරි 24 වැනිදා ආරම්භ වුණු යුක්රේන යුද්ධය වසරකට වැඩි කාලයක් දිග් ගැස්සෙද්දී, දශක දෙකක් තිස්සේ බලයේ රැඳී සිටින ඒ ශක්තිමත් නායකයාට ‘අතුල් පහරක්’ එල්ල විය. මිතුරන්ට වඩා සතුරන් ළඟින් තබා ගැනීම නුවණට හුරු යැයි බටහිර කියමනක් ඇත. ජනපති පුටින් ද එය හොඳින් දන්නවා ඇත. ඒත් සතුරන්ට වඩා භයානක තමන් අසලින්ම සිටින තම සමීපතම මිතුරන් බව පුටින්ට පසක් කර දීමට ඒ ‘අතුල් පහර’ සමත් විය.

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ට අභියෝගයක් වූයේ 62 හැවිරිදි යෙව්ගනි ප්‍රිගෝජින් ය. ප්‍රිගෝජින්, 1961 වසරේ රුසියාවේ උපන්නේය. ඔහු රුසියන් ජනාධිපති පුටින් හඳුනන්නේ 1990 දශකයේ සිටය. ප්‍රිගෝජින්, රුසියාවේ කැපී පෙනෙන චරිතයකි. ඔහු වඩාත් කතාබහට ලක් වූයේ 2022 පෙබරවාරියේ රුසියන් යුක්රේන යුද්ධය ආරම්භ වීමත් සමඟය. රුසියන් ජනාධිපති පුටින් සහ ප්‍රිගෝජින් දෙදෙනාගේ උපන නගරය ශාන්ත පීටර්ස්බර්ග් (අතීතයේ ලෙනින්ගාඞ්) ය. ප්‍රිගෝජින් පළමුවෙන් පොලිස් අත්අඩංගුවට පත් වූයේ 1979 වසරේදීය. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 18 කි. ඒ, සොකරමකට වරදකරු වීමෙනි. යළිත් වරක් හිරෙන් නිදහස් වීමෙන් පසු ප්‍රිගෝජින් ‘හොට්ඩෝග්’ අලෙවිසැලක් ආරම්භ කළේය. එය සාර්ථක වෙද්දී ප්‍රිගෝජින්, ‘හොට්ඩෝග්’ අලෙවිසැල් ජාලයක් ආරම්භ කළේය. සාර්ථකත්වයට පත් වෙද්දී ශාන්ත පීටර්ස්බර්ග් නුවර සුඛෝපබෝගී අවන්හලක් ද විවෘත කළේය. එම අවන්හල හරහා ශාන්ත පීටර්ස්බර්ග් ප්‍රභූ පැලැන්තිය ඇසුරු කිරීමට ප්‍රිගෝජින්ට හැකිවුණැයි පැවැසෙයි.

අවන්හල හරහා ප්‍රිගෝජින් ආහාර සැපැයුම් සේවාවක් ආරම්භ කළේය. රුසියන් රජය හා සම්බන්ධකම් ඇති කර ගැණුනි. රජයේ කොන්ත්‍රාත් ඔහුට හිමිවිය. ‘පුටින්ගේ කොකියා’ යන නමින් ප්‍රිගෝජින් හැඳින්විය. ඒ, පුටින් සහ ප්‍රිගෝජින් අතරේ සමීප මිතුදම් හේතුවෙනි. ආහාර ක්ෂේත්‍රයට අමතරව, මාධ්‍ය ක්ෂේත්‍රයට ද ප්‍රිගෝජින් සම්බන්ධ විය. ඔහු අන්තර්ජාල සේවා සැපැයීම ද කළේය. 2016 වසරේ ඇමෙරිකන් ජනාධිපතිවරණයට රුසියානුවන් බලපෑම් කළේ යැයි චෝදනා එල්ල විය. රිපබ්ලිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් වූයේ මෙම ජනාධිපතිවරණයෙනි. එල්ල වන එම චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙද්දී, ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වෙනස් කළේ යැයි චෝදනා එල්ල වූ අන්තර්ජාල සේවා සැපැයුම් සගාගම ප්‍රිගෝජින්ට අයත් බව අනාවරණය විය.

‘වැග්නර්’ නමැති රුසියන් කුලී හේවා බලඇණිය 62 හැවිරිදි ප්‍රිගෝජින් යටතේ පවතින බව අනාවරණය වූයේ රුසියන් යුක්රේන යුද්ධය දිනෙන් දින ඔඩුදුවද්දීය. යුක්රේන ආක්‍රමණයේ දී රුසියන් හමුදාවට ‘වැග්නර්’ කුලී හේවා බලඇණියේ සහාය හිමිවුණු බවත්, ‘වැග්නර්’ බලඇණිය රුසියන් හමුදාවේ අතිරේක බලඇණියක් බවත් ඒ අනුව අනාවරණය විය. මධ්‍යම අප්‍රිකාවේ, මාලි රටේ මෙන්ම ලිබියාවේ ද මානව හිමිකම් උල්ලංඝනය කළ බවටත්, අමුඅමුවේ ඝාතන සිදු කළ බවටත් එක්සත් ජාතීන්ගේ සංවිධානය, ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ‘වැග්නර්’ කුලී හේවායන්ට චෝදනා නගා ඇත.

ප්‍රිගෝජින්ගේ පෞද්ගලික කුලී හේවා බලඇණිය, රුසියන් ජනාධිපති පුටින් සමඟත් රුසියන් හමුදා ප්‍රධානීන් සමඟත් විරසක වී, කැරැල්ලක් ආරම්භ කළේ පසුගිය 24 වැනිදා දිනයේය. පැය 24 ක් ගතවීමටත් පෙර එය අවසන් වුවත්, එය පුටින්ගේ බල අධිකාරියට අභියෝගයක් කර තිබුණි. පුටින්ගේ ප්‍රතිරූපයට හාකි සිදුවී තිබුණි.

පසුගිය 23 වැනිදා ප්‍රිගෝජින් රුසියන් ආරක්ෂක අමාත්‍යවරයාටත් හමුදා ප්‍රධානීන්ටත් චෝදනා කළේය. ඒ, හමුදා ප්‍රධානීන්, හිතාමතාම, තම ‘වැග්නර්’ කුලී හේවායන්ගේ කඳවුරකට ප්‍රහාරයක් එල්ල කළ බවටය. එම ප්‍රහාරයෙන් තම සාමාජිකයන් බොහෝ දෙනකු මියගියේ යැයි ප්‍රිගෝජින් පවසා තිබුණි. එම ප්‍රහාරය සම්බන්ධයෙන් ආරක්ෂක අමාතා්‍යවරයා සහ හමුදා ප්‍රධානීන් හමුවී සාකච්ඡා කිරීමට ප්‍රිගෝජින් ඉල්ලීමක් කළ ද ඊට යහපත් ප්‍රතිචාර නොලැබුණි. ඒ අනුව, යුක්රේනයේ සිටි ප්‍රිගෝජින් සහ ඔහුගේ කුලී හේවායෝ දේශසීමා හරහා දකුණුදිග රුසියාවේ රොස්ටෝව් වොන් ඩොන් නගරයට පැමිණියහ. පසුගිය සිකුරාදා (23) ඔවුන් රොස්ටෝ වොන් ඩොන් නගරයේ හමුදා මූලස්ථානයක් ද අත්පත් කර ගත්තේය. ඉන්පසු ප්‍රිගෝජින්, සිය බලඇණිය රුසියාවේ මොස්කව් අගනුවර දක්වා මෙහෙයවීමට පටන් ගත්තේ තවත් කුඩා රුසියන් නගර කීපයක් ද අත්පත් කර ගනිමිනි.

ප්‍රිගෝජින් ප්‍රමුඛ ‘වැග්නර්’ සාමාජිකයන් කුමන්ත්‍රණයක් ආරම්භ කර ඇති බවත්, රුසියාවේ බලය අල්ලා ගැනීමට ඔවුන් උත්සාහ ගන්නා බවත් රුසියාවේ හිටපු ජනාධිපතිවරයකු මෙන්ම වත්මන් ආරක්ෂක කවුන්සිල නියෝජ්‍ය ප්‍රධානී දිමිත්‍රි මෙඞ්වදේව් දොස් නගන්න විය. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් ජාතිය අමතමින් පැවැසුවේ ‘වැග්නර්’ බලඇණිය, රුසියාවටත් රුසියානුවන්ටත් ද්‍රෝහි් වූ බවය. ‘වැග්නර්’ කුලී හේවායන් ආරම්භ කළ බලය අත්පත් කර ගැනීමේ කුමන්ත්‍රණය මහා ලේ වැගිරීමක් තෙක් දුරදිග යනු ඇතැයි එම අවස්ථාවේදී පුටින් අනතුරු ඇඟවීය.

පසුගිය 25 වැනිදා වනවිට ‘වැග්නර්’ බලඇණිය සිටියේ මොස්කව් අගනුවරින් කිලෝ මීටර් 200 ක් පමණ දුරිනි. ප්‍රිගෝජින් හදිසියේ නිවේදනයක් නිකුත් කරමින් කීවේ, තමන් හෝ තම සාමාජිකයන් හෝ මොස්කව් බලා නොපැමිණෙන බවත්, තමන් සහ පිරිස සදහටම රුසියාවෙන් පිටුවහල් වී අසල්වැසි බෙලරූස් රාජ්‍යය බලා යන බවත්ය. රුසියන් වැසියන් ගැන සිතා ලේ වැගිරීමකට ඉඩක් නොතබා තමන් එම තීරණය ගත් බව ද ප්‍රිගෝජින් පැහැදිලි කළේය. තමන් රුසියන් රජයට එරෙහිව හමුදා කුමන්ත්‍රණයක් ආරම්භ නොකළ බවත්, තමන්, තම හමුදා මොස්කව් අගනුවරට මෙහෙය වීමට උත්සාහ කළේ සිදුවුණු අසාධාරණයට වෙනුවෙන් සාධාරණයක් අපේක්ෂාවෙන් යැයි ද ප්‍රිගෝජින් පෙන්වා දුන්නේය.

රුසියාවේ පමණක් නොව යුක්රේනයේ ද අසල්වැසියකු වන්නේ බෙලරූසයයි. බෙලරූස් ජනාපධිති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ ද රුසියන් ජනාධිපති පුටින්ගේ සමීපතම මිතුරාය. ප්‍රිගෝජින් මොස්කව් යන ගමන වළක්වා ඔහු සහ පිරිස තම රටට ගෙන්වා ගැනීම කළේ ලුකෂෙන්කෝ මැදිහත් වුණු බව පැවැසෙයි. ඒ, රුසියන් ජනාධිපති පුටින් සමඟද සාකච්ඡා කිරීමෙන් පසුව යැයි පැවැසෙයි. රුසියන් රජයට එරෙහි වුණු අවස්ථාවේ, ප්‍රිගෝජින් සහ ඔහුගේ ‘වැග්නර්’ සාමාජිකයන් අත්අඩංගුවට ගෙන දැඩි දඬුවම් ලබා දීමට ජනාධිපති පුටින් සූදානමින් සිටියේය.

ප්‍රිගෝජින් සහ ‘වැග්නර්’ සාමාජිකයන් බෙලරූසයට පිටුවහල් වීමට තීරණය කිරීමත් සමඟ ප්‍රිගෝජින්ට එල්ල කළ සියලු අපරාධ චෝදනා ඉවත දමන බව රුසියන් රජය නිවේදනය කළේය. රොස්ටෝව් වොන් ඩොන් නගරයේ හමුදා මූලස්ථානය අත්පත් කරගෙන සිටි ‘වැග්නර්’ කුලී හේවා භටයන් නගර හමුදා මූලස්ථානය අතහැර යද්දී නගර වැසියන්ගෙන් ඔවුන්ට ප්‍රීතිමත් සමුගැනීමක් හිමිවුණු බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. නගර වැසියෝ බොහෝ දෙනා ප්‍රිගෝජින් අතට අත දෙමින් සුබ පැතීමට ද අමතක නොකළහ. රුසියානු ජනාධිපති පුටින් මුහුණ දෙන ‘අභ්‍යන්තර අර්බුදය’ ගැන සතුටට පත්ව සිටින්නෝ යුක්රේන වැසියෝය. යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ට්විටර් පණිවුඩයකින් කියා සිටියේ, කුලී හේවායන්ගේ කැරැල්ල ආරම්භ වුණ අවස්ථාවේ පුටින් මොස්කව් අගනුවරින් ගොස් සැඟවුණු බවය.


RECOMMEND POSTS