පැරණිම බිත්තරේ



වැඩිම පෝෂණයක් ලබා ගත හැක්කේ බිත්තරයකිනි. බිත්තර ආහාරයට ගැනීම යනු සිරුරේ ප්‍රෝටීන අවශ්‍යතා සම්පූර්ණ වීමක් යැයි කීවොත් එය නිවැරදිය. පසුගිය දා බිත්තරයක් පුවත් මවන්න විය. විදෙස් මාධ්‍ය ඔස්සේ පමණක් නොව, සමාජ මාධ්‍ය ඔස්සේ ද ඒ ගැන කතාබහක් ඇති විය. මේ බිත්තරය, ලොව පැරැණිතම මෙන්ම, තවමත් හොඳින් ආරක්ෂිතව පවතින බිත්තරයයි. මෙය අවුරුදු 1700 ක් පැරණිය.

මිල කළ නොහැකි මෙම ඉපැරැණි බිත්තරය සම්බන්ධ කතාව ආරම්භ වන්නේ අද ඊයේ නොවෙයි; අවුරුදු 15 කට පමණ පෙරය. එංගලන්තයේ බකිංහැම්ෂයර් ප්‍රාන්තය පිරිසරබඳ ප්‍රාන්තවලින් එකකි. ඊට අයත්, එයිල්බරි නගරය පිටිසරබද සුන්දර නගරයක් ලෙස ප්‍රකටය. අතීතයේ මේ පළාත රෝමන්වරුන් විසින් අල්ලා ගනු ලැබ තිබුණි. රෝම පාලනය යටතේ පැවැති වැළැලුණු යටගියාවක් බකිංහැම්ෂයර් ප්‍රාන්තය සතුය.

බකිංහැම්ෂයර් ප්‍රාන්තයේ, එයිල්බරි නගරයට, වයඹ දෙසින් බෙරිෆීල්ඩ්ස් පළාත පිහිටයි. මෙම පළාතේ නිවාස සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක වූයේ, 2007 සිට 2016 දක්වා කාලයේය. කැණීම් කටයුතුවල නියැළී සිටිද්දී, ඉදිකිරීම් සේවකයන්ට බඩු බාහිරාදිය කිහිපයක් හමුවිය. පුරාවිද්‍යාත්මක වටිනාකමන් ඇති බව වැටහුණු බැවින්, හමුවුණු එම බඩු බාහිරාදිය පරීක්ෂා කිරීමට පුරා විද්‍යාඥ කණ්ඩායමක් ගෙන්වීම සිදුවිය. හම කණ්ඩායමට නායකත්වය දුන්නේ ඔක්ස්ෆර්ඩ් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය එඩ්වඩ් බිදුලුප්ය.

පස් යට, වතුර සහ මඩ අතරින්, ඉදි කිරීමේ සේවකයන්ට හමුවී තිබුණේ දිරාපත් වූ වියන ලද කූඩයක්, පිඟන් භාජන කීපයක්, කාසි, සම් සපත්තු සහ සත්ව අස්ථිය. ඒවා රෝම යුගයට අයත් බව හඳුනා ගැනීම මහාචාර්ය එඩ්වඩ් බිදුලුප්ට අසීරු නොවීය. වියන ලද, දිරාපත් වූ කූඩයේ වූයේ බිත්තරය. ඒවා කිකිළි බිත්තර බව පැහැදිලි විය. බිත්තර හතරක් එහි විය. මහාචාර්ය එඩ්වඩ් බිදුලුප් සහ ඔහුගේ කණ්ඩායම එම ස්ථානයට යද්දී, කැණීම් කළ පිරිස අතින් බිත්තර තුනක් බිඳී විනාශ වී දැඩි අප්‍රසන්න ගඳක්වහනය වෙමින් පැවැතිණි. එය ගෙන්දගම් සුවඳට සමාන බව, මහාචාර්යවරයා පසුව පැවැසීය. සෙන්ටි මීටර් 4 ක් පමණ පළල බිත්තර සහිත කූඩය හමුවී තිබුණේ භූගත අඩක් ජලයෙන් පිරුණු කුහරයකිනි. බිත්තර සංරක්ෂණය වූයේ එහෙයිනි.

හානි නොවී, ඉතිරි වී තිබුණු බිත්තරය වහා සංරක්ෂණය කිරීමට උපදෙස් දෙන ලැබුණි "ඔක්සිජන් සංසරණයක් සිදු නොවන්නේ නම්, කාබනික ද්‍රව්‍ය ජලය මුසුවුණු මැටි, මඩ සහ පස් අතරේ ආරක්ෂා වී පවතී. බිත්තරය ආරක්ෂා වූයේ එහෙමයි” යැයි මහාචාර්යවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය. බිත්තරය සම්බන්ධයෙන් කාල නිර්ණයක් සිදු කළ අතර එය අවුරුදු 1,700 ක් පැරැණි බවත්, රෝම යුගයට අයත් බිත්තරයක් බවත් සැක හැර දැන ගැනුණි. බිත්තරයට විශේෂ ආරක්ෂාවක් ලැබුණු අතර එය සංරක්ෂණය කිරීමට හැකි සෑම පියවරක්ම අනුගමනය කෙරුණි. මහාචාර්ය එඩ්වඩ් බිදුලුප්, රෝම යුගයට අයත් බිත්තරයක් හමුවීම පිළිබඳ කරුණු කාරණා ප්‍රසිද්ධියට පත් කරනු ලැබුවේ 2019 වසරේදීය.

අද, බිත්තරයේ සංරක්ෂණ කටයුතු පැවැරී ඇත්තේ විද්‍යාඥ ඩානා ගුඩ්බර්න් බ්‍රවුන් සහ ඇගේ කණ්ඩායමටය. ඩානා ගුඩ්බර්න් බ්‍රවුන් යනු කෞතුක භාණ්ඩ සංරක්ෂණය කිරීම සම්බන්ධ විශේෂඥවරියකි. ඩානා ගුඩ්බර්න්, පසුගිය දා බිත්තරය මයික්‍රෝ සීටී ස්කෑන් පරීක්ෂණයකට යොමු කළ අතර, බිත්තරය පිටතින් පමණක් නොව ඇතුළතින් ද තවමත් හොඳ තත්ත්වයෙන් පසුවන බව තහවුරු විය.

මයික්‍රෝ සීටී ස්කෑන් පරීක්ෂණයේදී පෙනී ගියේ, බිත්තරයේ වායු මල්ල නැතිනම් වායු කුටීරය තුළ තවමත් සුදු මදය සහ කහ මදය ඇති බවය. එයින් අදහස් වන්නේ බිත්තරය වසර ගණනක් සුරක්ෂිතව පැවැති බවය. ඒ අනුව, හිතාමතා සංරක්ෂණය කිරීමක් නොකළ, ඉතාමත් හොඳ තත්ත්වයෙන් පවතින, ලොව පැරැණිතම බිත්තරය ලෙස මෙම බිත්තරය පසුගිය දා පුවත් මවන්න පටන් ගත්තේය.

''සීටී ස්කෑන් පරීක්ෂණයට යොමු කරද්දී අපට පෙනුනා, බිත්තර තුළ කහ මදය සහ සුදු මදය ඇති බව. අපි කල්පනා කළා බිත්තරය උඩ යට මාරු කරලා පරීක්ෂා කරන්න. අපි එසේ කළා. එවිට පෙනුනා බිත්තරය තුළ ඇති දියර සෙලවෙනවා.'' යැයි ඩානා ගුඩ්බර්න් පවසන්නේ මහත් උද්‍යෝගයකිනි.

''අපි බිත්තරය පරීක්ෂා කළේ ඉතා පරිස්සමෙන්. බිත්තර කටුවට ඕනෑම මොහොතක හානි විය හැකියි. ඉතිං කිසිම අයුරකින් බිත්තරයට හානියක් සිදුවීමට අප ඉඩ තැබුවේ නැහැ. මෙවැනි පැරැණි බිත්තරයක වටිනාකම කියන්න බැහැ. මේ බිත්තරය පොසිලයක් නොවෙයි. පොසිල කියන්නේ පාෂාණමය වූ කොටස්. ඒත් මේක සැබෑම බිත්තරයක්. විශාල විද්‍යාත්මක වටිනාකමක් ඇති බිත්තරයක්. බොහෝ දෙනකු මගෙන් විමසීම් කළා බිත්තර රත් කරලා රෝම යුගයේ ජීවත් වුණු කුකුළු පැටවකු පණ ගන්වන්න බැරිද? ඒක පුලුවන් වේවි යයි මා හිතන්නේ නැහැ.'' යැයි ද විද්‍යාඥවරිය මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.

බීබීසී ඇසුරිනි


RECOMMEND POSTS