පැටවුන්ට කිරි දෙන පණුවෙක්



මනුෂ්‍ය අප ද ඇතුළු කිරි බී වැඩෙන්නන් හඳුන්වන්නේ ක්ෂීරපායීන් ලෙසය. ඒත්, කිරි බී වැඩෙන පැටවුන් බිහි කරන දිය ගොඩ දෙකෙහිම වෙසෙන උභය ජීවියකු ගැන ඇසුවොත් ඔබ පුදුම වනු නිසැකය.

පුදුමයට කරුණක් වුවත්, එය සත්‍යයකි. මේ වනවිට සත්ව විද්‍යාඥයන් මවිතයට පත් කරමින් ලොව පළමු වරට කිරි දී පැටවුන් පෝෂණය කරන උභයජීවී විශේෂයක් හමුවී ඇත. මේ උභය ජීවියා පණුවෙකු වන අතර මේ පණු විශේෂය හැඳින්වෙන්නේ සිසිලියන් (Caecilian) යනුවෙනි.

සිසිලියන් (Caecilian) යනු ගෙම්බන්, මැඩියන්, සැලමන්දරුන් සහ නූට්ටන් වැනි උභය ජීවීන් කොට්ටාශයක් වන නමුත්, සිසිලියන් පෙනුමින් පණුවෙකි. සිසිලියන්ට ගාත්‍රා නැති අතර, ඇත්තේ ප්‍රාථමික ඇස්ය. සිසිලියන් විශේෂ බොහොමයක්, ඔවුන්ගේ මුළු ජීවිතයම ගත කරන්නේ පොළොව අභ්‍යන්තරයේය. මෙම කාරණය නිසා සිසිලියන් අධ්‍යයනය ඉතා අපහසු බව පසුගිය වසර 50 තුළ ඔවුන් පිළිබඳ අධ්‍යයනය කළ බ්‍රසීලයේ බුටන්ටන් ආයතනයේ උරග සහ උභයජීව පර්යේෂක කාලෝස් ජැරඩ් පැහැදිලි කරයි. සිසිලියන්ගේ රහස ලොවට හෙළි කළේ කාලෝස් ජැරඩ් සහ ඔහුගේ පර්යේෂණ කණ්ඩායමය.

පර්යේෂක ජැරඩ් ඇතුළු පර්යේෂණ කණ්ඩායම, පසුගිය මාර්තු 7 වැනිදා ලොවට අනාවරණය කළේ,  සිසිලියන්ගේ තවත් විශ්මය දනවන කරුණක් ඇති බවය. ඒ, වළලු සහිත සිසිලියා (Ringed Caecilian) ගැහැනු සතුන්, පැටවුන් පෝෂණය කිරීම සඳහා ක්ෂීරපායීන් මෙන් කිරිවලට සමාන ද්‍රව්‍යයක් නිපදවන බවය. මෙය මීට පෙර කිසිම අවස්ථාවක උභය ජීවියකුගෙන් දකින්න නොලැබුණු දෙයකි.


RECOMMEND POSTS