ප්‍රහාරය සහ ප්‍රතිප්‍රහාරය



වනාන්තරයක ගස්වැල් නිරන්තරයෙන් ප්‍රහාරවලට ලක්වෙයි. ඒ ශාකභක්ෂකයන්ගෙනි. ඇමසන් වැසි වනාන්තරයේ ද කෑදර ලෙස ශාක පත්‍ර බුදින අය බොහොමය. ගසක පත්‍ර ඉලක්ක කර ගනිමින්, එල්ල වන ‘ප්‍රහාර’ අතුරින් දරුණුතම ප්‍රහාරය සිදුවන්නේ අප ඇස්පනාපිට නොවෙයි. මෙම ‘ප්‍රහාරය’ එල්ල කරනු ලබන්නේ, දිනකට ශාක පත්‍ර 50,000 කට වැඩි ප්‍රමාණයක් බුදින්නකු විසිනි. මහා වනාන්තරය මැද, කුඩා එළිමහනක් දකින්න ලැබුණොත්, ඒ එළිමහන නිර්මාණය වූයේ ඒ කෙනා නිසාය. ඒ කෙනා ජීවත් වන්නේ එළිමහනේ හරි මැද පොළොව යටය. එයාගේ නම ලූකෝඅගැරිකස් (Leucoagaricus) ය.

ලූකෝඅගැරිකස් (Leucoagaricus) යනු සතකු නොවේ. ශාකයක් ද නොවේ. ලූකෝඅගැරිකස් දීලීරයකි. ලූකෝඅගැරිකස් ජීවත් වන්නේ පොළොව මතුපිට සිට මීටර් පහක් ගැඹුරිනි. ලූකෝඅගැරිකස්ගේ ආහාරය ශාක පත්‍රය. ඒත් පොළොව ගැඹුරේ සිටින නිසා ලූකෝඅගැරිකස් අහලකවත් ශාක පත්‍ර නැත. තමන්ට ශාක පත්‍ර ගෙන්වා ගැනීමට ලූකෝඅගැරිකස් නිවර්තන වනාන්තරවල සිටින දක්ෂතම වැඩකරුවන්ගේ සේවය ලබා ගනී. මේ වැඩකරුවන්, ශාක පත්‍ර එක් රැස් කරන කුහුඹුවන් (Leafcutter Ants) ය.

මිලියන ගණනක් කුහුඹුවන්, දිලීරයට ආහාර ලෙස ශාක පත්‍ර කපා ගෙනැවිත් දෙයි. කුහුඹුවන් ඔවුන්ගේ සේවය දිලීරයට ලබා දෙන්නේ නොමිලේ නොවේ. කුහුඹුවන්ට දිලීරයෙන් ද යමක් ලැබේ. දිලීරය පුංචි හතු බිහි කරයි. මේ හතු කුහුඹුවන්ගේ ආහාරයයි. කුහුඹුවන් ඉහළ වනාන්තරයේ සැරිසරමින්, ශාක පත්‍ර කලා දිලීරයට ගෙනවිත් දෙද්දී, දිලීරය කුහුඹුවන්ට ආහාර ලෙස හතු ලබා දෙයි.

ලූකෝඅගැරිකස් දිලීරය, රසායනික සංඥා නිකුත් කරයි. දිලීරය, කුහුඹුවන්ට පණිවුඩ දෙන්නේ එම සංඥාවලනි. තමන්ට ආහාරය සඳහා අවශ්‍ය වන්නේ කුමන ගසේ පත්‍ර ද යන්න ලූකෝඅගැරිකස් කුහුඹුවන්ට එම පණිවුඩ හරහා අණ කරයි. කුහුඹුවන් ඒ අණට කීකරු වෙයි. දිලීරය අසල සිටින ඔත්තු බලන කුහුඹුවන්, ලූකෝඅගැරිකස් දුන් අණ ඉහළ සිටින කුහුඹුවන්ට රැගෙන යයි.

එම කුහුඹුවන් මීටර් දහස් ගණනක් දුර ගෙවා වනාන්තරය පුරා සැරිසරන්නේ ලූකෝඅගැරිකස්ට අවශ්‍ය ශාක පත්‍ර සොයමිනි. දැන් ලූකෝඅගැරිකස්, කුහුඹුවන්ට අණ කර ඇත්තේ බික්සා ගසක පත්‍ර ආහාරයට අවශ්‍ය බව කියමිනි. ඒ අනුව, තරුණ බික්සා ගසක පත්‍ර, කුහුඹුවන්ගේ ඉලක්කය වෙයි. මේ ගස තවමත් වනාන්තරයේ යටි වියනේ සිරවී ඇත්තේ ඉහළට වැඩෙන්න අවස්ථාවක් සොයමිනි. යටි වියනෙන් ඉහළට එසවුණොත් බික්සා ගසට හැකි තරම් ශාක පත්‍ර ආරක්ෂා කර ගැනීමට හැකිවනු ඇත.

ඒත් දැන් කුහුඹුවන් ගස සොයා පැමිණ අවසන්ය. උන් ගසේ පත්‍ර සපමින්, කපා දැමීම ආරම්භ කර තිබේ. කුහුඹුවන් කීප දෙනකුට මිනිත්තු කීපයක් යද්දී ලොකු ශාක පත්‍ර කැබැලිවලට කපා දැමීම කළ හැකිය. ශාක පත්‍ර කපන සද්දය ඇසී අවට සිටින සෙසු කුහුඹුවන් ද බික්සා ගස සොයා එයි. කැබලි කළ ශාක පත්‍ර, භූගතව සිටින ලූකෝඅගැරිකස් දිලීරය වෙත රැගෙන යෑම දැන් කළ යුතුය. කුහුඹුවන්ට මීටර් දෙකක දුරක් මිනිත්තුවකදී යා හැකිය. එමෙන්ම එක් කුහුඹුවකුට උගේ බර මෙන් 10 ගුණයක බරක් ඔසවා ගෙන යා හැකිය. දැන් එක පෙළට කුහුඹු පෙරහර ලහිලහියේ බික්සා ගසේ පත්‍ර රැගෙන වනාන්තරය මැදින් දිලීරය වෙත යයි. බාධාවකින් තොරව පෙරහරට ගමන් කිරීමට කුහුඹුවන් වනාන්ර භූමියේ ඇති සෙසු කොළරොඩු ඉවත් කිරීම ද සිදු කරයි.

සෑම පැයකට වරක්ම, මඟ බලා සිටින දිලීරයට, බික්සා ගසේ පත්‍ර කැබලි සිය ගණනක් ලැබේ. ආහාර ලෙස නිරන්තරයෙන් කුහුඹුවන්ගෙන් ශාක පත්‍ර ලැබෙද්දී, දිලීරය කෙමෙන් කෙමෙන් වැඩෙන්න පටන් ගනී. භූගත කුහර තුළ එය පැතිරෙයි. භූ ගත තව තවත් කුහර කැණීම් කරමින් දිලීරයට අවශ්‍ය ඉඩ සකස් කර දෙන්නේ ද කුහුඹුවන්ය.

කුහුඹු ප්‍රහාරයට ලක් වුණු බික්සා ගස, දුර්වල වෙයි. පත්‍ර අහිමි වෙද්දී මරණය නියතය. එහෙත්, ජීවත් වීමට ඇති සටන අත් හැරීමට බික්සා ගස සූදානම් නැත. ගස කුහුඹුවන්ට එරෙහිව සටන් කිරීම අරඹයි. ගස ‘රසායනික අවි’ ප්‍රහාරයකට සැරැසෙයි. බික්සා ගස ඉතිරි වී ඇති පත්‍ර සියල්ල විස රසායනයකින් පුරවා ගනී. බික්සා ගස විස නිකුත් කරන්නේ ඈතින් පොළොව යට සිටින ලූකෝ-අගැරිකස් ඉලක්ක කර ගනිමිනි. එම විස ලූකෝඅගැරිකස් ට මාරකය. දැන්, කුහුඹුවන් ලූකෝ අගැරිකස් දිලීරයට රැගෙන යන්නේ විෂ මුසු පත්‍ර කැබලිය. බික්සා ගස සිය පත්‍රවලට විස කලවම් කර ඇති බව කුහුඹුවන් දන්නේ නැත. කුහුඹුවන් නොදැනුවත්වම දිලීරයට විස රැගෙන යයි. ඒක දිගු දුර ප්‍රහාරයකි.

බික්සා ගස එවූ වස, දිලීරයට විෂ වෙද්දී, කුහුඹුවන්ට ඒ වෙනස වැටහෙයි. දිලීරය දුර්වලවන බව කුහුඹුවන්ට දැනෙයි. දිලීරය වහාම කුහුඹුවන්ට පණිවුඩයක් යවයි. ‘බික්සා ගසේ කොළ එපා. දැන් වෙනත් ගසකට මාරු වෙන්න වෙලාව හරි’ යනු එම පණිවුඩයයි. ඒ අනුව, බික්සා ගසට එල්ල වුණු කුහුඹු ප්‍රහාරය අවසන් වෙයි. තමන්ගේ පත්‍රවලට විස මුසු කළ නිසා ඉතිරි වුණු පත්‍ර බේරා ගැනීමට බිස්කා ගස සමත් වෙයි. දිලීරය දුන් අණ අනුව යමින් කුහුඹුවන් වෙනත් වර්ගයක ගසක් තෝරා ගනී. මෙය වනාන්තරයේ නිරන්තරයෙන් සිදුවන ක්‍රියාවලියකි. ‘ප්‍රහාරයක්’ සහ ‘ප්‍රතිප්‍රහාරයක්’. පුදුමයි නේද? වනාන්තරයේ ගස්වලට, දිලීර සහ කුහුඹුවන් නිසා සම්පූර්ණයෙන් පත්‍ර අහිමි නොවන්නේත්, ප්‍රහාරයට ලක් වන ගස් යළි ප්‍රකෘති තත්ත්වයට පත් වන්නේත් මේ අයුරින්ය.

ඩේවිඩ් ඇටන්බරෝගේ
බීබීසී ග්‍රීන් ප්ලැනට් ඇසුරිනි

RECOMMEND POSTS