පළමු මිනිසා



ඉතා වැදගත් කෙනෙක් හඳුන්වා දෙන්නයි මේ හදන්නේ. මේ සටහන සමඟ පළ වන ඡායාරූපවල ඉන්නේ එයා තමයි. විද්‍යාඥයන්ට අනුව මේ ඉන්නේ ලෝකයේ පළමු මිනිසා. මේ පළමු මිනිසා මියගියේ මීට අවුරුදු 300,000 කට කලින්. ඒත් දැන්, අපේ හැම වැඩක්ම පහසු කරවන පරිගණක තාක්ෂණය යොදා ගනිමින්, මේ පළමු මිනිසාගේ පෙනුම, ‘මෙන්න මෙහෙමයි’ කියන්න විද්‍යාඥයන්ට හැකිවීම ඇත්තෙන්ම හරිම අපූරුයි.

පළමු මිනිසා යනුවෙන් විද්‍යාඥයන් හඳුන්වා දෙන, මෙම ආදි මානවයාගේ, එසේත් නැතිනම් හෝමෝ සේපියන් මානවයාගේ හිස් කබල පුරා විද්‍යාඥයන් සහ මානව විද්‍යාඥයන්ට හමුවුණේ‍ 2017 වසරේදි මොරොක්කෝවෙන්. මොරොක්කෝව කියන්නේ උතුරු අප්‍රිකා රාජ්‍යයක්. අත්ලාන්තික් සාගරයට, මධ්‍යධරණී මුහුදට මොරොක්කෝව මායිම් වෙයි. බටහිරින් ඇත්තේ සහරා කාන්තාරයයි.

කැණීම් කරද්දී හමුවුණු හිස් කබල සම්පූර්ණ එකක් නම් නොවෙයි. හිස් කබල හමුවෙද්දී එහි යටි හකු අස්ථිය තිබුණේ නැත. එය ක්ෂය වී ගොසිනි. හමුවුණු හිස් කබල කොටස කාල නිර්ණ පරීක්ෂණයකට යොමු කිරීමෙන් වයස තීරණය කෙරුණි. හිස් කබලේ හිමිකරු හෝමෝ සේපියන් මානවයකු බව තහවුරු විය. කාල නිර්ණය කිරීමෙන් පැහැදිලි වූයේ හිස් කබල අවුරුදු 300,000 කට වඩා පැරණි බවය. ඊටත් වඩා පැරණි හෝමෝ සේපියන් මානවයකුගේ හිස් කබලක් හෝ අස්ථි කොටස් හෝ මෙතෙක් හමුවී නැත. මේ මානවයා පළමු මිනිසා යනුවෙන් නම් කෙරුණේ ඒ නිසාය.

විද්‍යාඥයන් පසුගිය දා හමුවුණු හිස් කබල හොඳින් ස්කෑන් කර එම දත්ත පරිගණකයට ලබා දුන්නේය. ඩිජිටල් ස්කෑන් පරීක්ෂණයෙන් ලැබුණු එම දත්ත පාදක කර ගනිමින්, පරිගණකය හිස් කබල මෘදු සමක්, හිස කෙස්, රැවුල් ගස් නාසයක් සහ ඇස් එක් කළේ හිස් කබලේ ඒවා තිබෙන්න ඇති විදිය සියයට සියයක් තහවුරු කරමිනි. පළමු මිනිසාගේ රූපය නිර්මාණය කෙරුණේ ඒ අයුරිනි. අඳුරු සමක් ඇති මේ මිනිසා ශක්තිමත්ය. නමුත් ඔහුට ඇත්තේ සන්සුන් බවකි. මේ සටහන සමඟ පළ වන ඡායාරූපවල හොඳින් බලද්දී ඔබට එය අවබෝධ වනු ඇත.

පුරාවිද්‍යාඥයන් සහ මානව විද්‍යාඥයන් සමඟ එක් වී, ලෝකයේම අවධානය දිනා ගත් මෙම පළමු මිනිසාගේ රූපය නිර්මාණය කළේ, මැක්ස් ප්ලැන්ක් නමැති යර්යේෂණ ආයතනයේ ග්‍රැපික් විශේෂඥයකු වන සිසෙරෝ මොරේස් ය. “මුලින් මම හිස් කබල ස්කෑන් කළේ ත්‍රිමාණ ක්‍රමයට. ඒ, විද්‍යාඥයන් ලබා දුන් දත්ත අනුව. ඊට පස්සේ මම ආදි හෝමෝ සේපියන් මානවයන් සම්බන්ධයෙන් විද්‍යාඥයන් මෙතෙක් ලබා ගත් දත්ත ආදේශ කිරීමක් කළා. පරිගණක කෘත්‍රිම බුද්ධි තාක්ෂණය මේ සඳහා උපකාරී වුණා.” යැයි පළමු මිනිසාගේ රූපය මැවූ සිසෙරෝ මොරේස් වැඩි දුරටත් පැහැදිලි කරයි.

පළමු මිනිසා ලෙස මෙම මානවයාගේ හිස් කබල මොරොක්කෝවෙන් සොයා ගැනීමට පෙර, ආදීතම හෝමෝ සේපියන් මානවයා ලෙස විද්‍යාඥයන් සැලකුවේ, ඉතියෝපියාවෙන් සොයා ගත් අවුරුදු 195,000 ක් පැරණි හෝමෝ සේපියන් මානවයකුගේ හිස් කබල සහ අස්ථි කොටස්ය. විද්‍යාඥයන්ගේ අදහස වී ඇත්තේ, අද මිහිමත ජීවත් වන අප, මනුෂ්‍යයන්ගේ ආදීතමයන්, එනම් හෝමෝ සේපියන් මානවයන්, බිහිවන්න ඇත්තේ නැගෙනහිර අප්‍රිකාවට අයත් ප්‍රදේශවලින් බවය. “විද්‍යාඥයන් මුලින් සිතුවේ, මානව ‘වර්ගයාගේ තොටිල්ල’ වසර 200,000 කට පෙර නැගෙනහිර අප්‍රිකාව කේන්ද්‍රකොට ගනිමින් බිහිවුණු බවය. ඒත් ඒක වැරදි බව දැන් අප දන්නවා ආදීතම හෝමෝ සේපියන් මානවයාගේ කතාව අවුරුදු 300,000 කට වඩා පැරණියි. සමහරවිට, ඊටත් වඩා පැරණි වෙන්න පුළුවන්.” මෙසේ කියන්නේ, මානව විද්‍යාඥයකු වන මහාචාර්ය ජෝන් යාක්ස් හුබ්ලින්ය. 1960 දශකයේ පටන්, ආදි මානවයන්ගේ රහස් ලොවට හෙළි කරන විද්‍යාඥයකු වන්නේ හුබ්ලින්ය.

මිහිමත මානවයාගේ බිහිවීම සිදුවුණු බව පැවැසෙන්නේ, මීට වසර මිලියනයකට ආසන්න කාලයක සිටය. මිනිසා අයත් මුල්ම ප්‍රිමාටා ගෝත්‍රයේ පූර්වජකයා මීට වසර මිලියන 65 පමණ පෙර සෙනොසොයික යුගයේදී බිහිවුණු බව පැවැසෙයි. මෙම පූර්වජකයන්ගෙන්, ටාසියර් සහ ලීමර් යන ප්‍රිමාටාවන් පරිණාමය වී ඇත. මොවුන් රුක්වැසි වානරයන්ය. මෙම වානර පූර්වජකයන් එකල ඇතිවූ දේශගුණික හා කාලගුණික විපර්යාසනිසා වනගහනය අඩුවීම තැනිතලා වැඩිවීම ආදිය නිසා රුක්වැසි ජීවිතයෙන් තරමක් ඈත් වී, බිම්වාසී වානරයන් බවට පරිණාමය විය.මෙම බිම්වාසී වානරයන් අතරින් මානව පූර්වජකයන් බිහිවිය. ඔවුන් අනෙකුත් වානරයන්ට වඩා වේගයෙන් පරිණාමය වන්නට ඇතැයි යන්න විද්‍යාඥයන්ගේ අදහසය.

ඩේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS