නාසා හෙලිකොප්ටරය අවසන් ගමනේ



අඟහරු හෙවත් රතු ග්‍රහයා කුතුහලයෙන් පිරුණු ග්‍රහයකු බව අමුතුවෙන් කිවයුතු නැත. අඟහරු මත ජීවය පවතින්න ඇතැයි හෝ අඟහරු මත දැනටමත් ජීවීන් සිටිනවා ඇතැයි විද්‍යාඥයන්ගේ විශ්වාසයයි. ඒත් ඒ කිසිවක් ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි තවමත් ලැබී නැත. ඇමෙරිකාවේ නාසා ආයතනය, වසර ගණනක පටන්, අඟහරු ගවේෂණය කරයි. ඒ, අඟහරු මත ජීවය පවතින්න ඇතැයි සහ අඟහරු මත තවමත් ජීවය ඇතැයි යන සිතුවිල්ලෙනි. ඒ සඳහා, නාසා ආයතනය විවිධ අභ්‍යවකාශ ගවේෂණ රොබෝ යානා අඟහරු වෙත යවා ඇත. ඇතැම් යානා අඟහරු ගවේෂණය කළේත්, තවමත් ගවේෂණය කරන්නේත්, අඟහරු කක්ෂයේ රැඳී සිටිමිනි‍. මේවා ඔබිටර් වර්ගයේ ගවේෂණ යානාය.

තවත් යානා, අඟහරු පෘෂ්ඨය මතුපිටට ගොඩබාමින්, එක තැන රැඳෙමින් ගවේෂණ කටයුතු කරයි. මේවා පතිත කරවන යානා හෙවත් ලෑන්ඩර් යානා ලෙස හැඳින්වෙයි. ඊට අමතරව, ලෑන්ඩර් යානා ඒවා තුළ රඳවා ගනිමින් රැගෙන යන, රෝද සහිත කුඩා රෝවර් යානා ද අඟහරු මත එහෙමෙහෙ යමින් ගවේෂණයේ යෙදෙයි. අද ඇමෙරිකාව පමණක් නොවෙයි; රුසියාව, චීනය, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ ඉන්දියාව සාර්ථකව අඟහරු ගවේෂණයට යානා යවා ඇත.

මේ මොහොතේ අඟහරු මත සක්‍රීයව ගවේෂණ කටයුතු කරන ඇමෙරිකා නාසා ආයතනයට අයත් රෝවර් යානා දෙකකි. එයින් එකක්, 2012 වසරේ දී අඟහරු මතට පතිත කළ කියුරියෝසිටි රෝවර් යානයයි. අනෙක 2021 වසරේ අඟහරු මතට පතිත කළ පර්සිවරන්ස් රෝවර් යානයයි. පර්සිවරන්ස් රෝවරය, මීට පෙර අඟහරු වෙත නොගිය අපූරු දෙයක් රැගෙන ගියේය. එය කුඩා හෙලිකොප්ටර් යානයකි. මෙම යානයේ නම ඉන්ජිනියුටි Ingenuity ය. මෙය පෘථිවියේ නාසා විද්‍යාඥයන් විසින් දුරස්ථ පාලනයෙන් මෙහෙයවීමට නිර්මාණය කළ හෙලිකොප්ටර් යානයකි. නාසා ආයතනය අඟහරුට යැවූ පළමු හෙලිකොප්ටර් යානය ඉන්ජිනියුටි ය. මිනිසා අතින් නිර්මාණය වී, පෘථිවියෙන් පිට ග්‍රහලෝකයක වායුගෝලයේ පියාසර කළ පළමු හෙලිකොප්ටර් යානය ලෙස ඉන්ජිනියුටි වාර්තා පොත්වලට ද එක් වී අවසන්ය. පසුගිය දා ඉන්ජිනියුටි හෙලිකොප්ටරයේ අවසානය සනිටුහන් විය. ඒ හිතුවාටත් වඩා සාර්ථක, දීර්ඝ ගවේෂණ මෙහෙයුමකින් අනතුරුවය.

තම ඉන්ජිනියුටි හෙලිකොප්ටර් යානය, වසර 3 ක ගවේෂණ කටයුතු සාර්ථකව අවසන් කළ බව නාසා ආයතනය දැනුම් දුන්නේ පසුගිය ජනවාරි 25 වැනිදාය. නාසා විද්‍යාඥයන් ඉන්ජිනියුටි මෙහෙයුම් අවසන් කළේ එය අඟහරු ග්‍රහයා මතට කඩා වැටීමට සලස්වමිනි. පසුගිය ජනවාරි 18 වැනිදා, මේ කුඩා හෙලිකොප්ටර් යානය, අඟහරු වායු ගෝලයේ පියාසර කරමින් තිබියදී අකරතැබ්බකට මුහුණ දුන්නේය. නාසා විද්‍යාඥයන්ට යානයෙන් සංඥා ලැබීම නැවැතී ගියේය. කෙසේ නමුත් කෙසේ හෝ යළි හෙලිකොප්ටර් යානය සමඟ සම්බන්ධ වීමට නාසා විද්‍යාඥයන්ට හැකිවිය. එහිදී තහවුරු වූයේ, යානයේ පියසැරි පෙතිවලින් එකක් හානි වී ඇති බවය.

නාසා විද්‍යාඥයන්, පර්සිවරන්ස් රෝවර් යානය සමඟ මෙම කුඩා හෙලිකොප්ටරය අඟහරු මතට යැවුයේ දින 30 ක මෙහෙයුමක් සඳහා පමණි. එම දින 30 ඇතුළත පියසැරි වාර පහක් සිදු කිරීමට ඉන්ජිනියුටි හෙලිකොප්ටර් යානයට උපදෙස් ලැබී තිබුණි. කෙසේ නමුත්, හෙලිකොප්ටර් යානය, විද්‍යාඥයන් ද මවිතයට පත් කරමින්, වසර 3 ක් කිසිදු ගැටලුවක් නැතිව අඟහරු වායු ගෝලයේ පියාසර කරමින් දත්ත රැස් කළේය. ඡායාරූප ලබා ගනිමින්, ඒවා පෘථිවියට ලැබෙන්න සැලැස්වීය. නාසා විද්‍යාඥයන් පැවැසුවේ ඇමෙරිකන් ඩොලර් මිලියන 41 ක් වැය කරමින් නිපදවූ ඉන්ජිනියුටි පැය 72 කට වැඩි කාලයක් පියසැරි කටයුතුවල නියැලුණු බවත්, සැලසුම් කර තිබුණාට වඩා 14 ගුණයක වේගයෙන් ගමන් කළ බවත්ය‍.

අවසන් පියසැරියේ දී, ඉන්ජිනියුටි හෙලිකොප්ටර් යානය, අඩි 40 ක් ඉහළ අහසේ පියසර කරන්න විය‍. එය අකරතැබ්බට මුහුණ දී සන්නිවේදන කටයුතු සියල්ල බිඳ වැටුණේ ඉන්පසුවය. යළි සන්නිවේදනය ස්ථාපිත කර ගැනීමෙන් පසු, හෙලිකොප්ටරයේ දෝෂය අවබෝධ කරගත් නාසා විද්‍යාඥයන් කළේ එය අඟහරු පෘෂ්ඨයට කඩා වැටීමට සලස්වමින්, මෙහෙයුම අවසන් කිරීමය. නාසා ආයතනයේ ප්‍රධාන පරිපාලක බිල් නෙල්සන් ඒ අනුව, මාද්‍ය හමුවේ නිවේදනය කළේ පෘථිවියෙන් එපිට වෙනත් ග්‍රහලෝකයක, ගුවන්ගත වූ පළමු හෙලිකොප්ටරය ඉන්ජිනියුටි සමුගැනීම ඓතිහාසික අවස්ථාවක් වනු ඇති බවය.

‘ඉන්ජිනියුටි අප සිතුවාටත් වඩා සාර්ථක වුණා. ඒ සාර්ථකත්වය අපට පන්නරයක්. අනාගතයේ ග්‍රහලෝකගවේෂණ මෙහෙයුම්වලට ඒක ලොකු ශක්තියක්. අප දැන් දන්නවා ග්‍රහලෝක ගවේෂණයට වඩාත් හොඳින් හෙලිකොප්ටර් යානා නිර්මාණය කරන්න‍.Z යැයි නාසා පරිපාලක බිල් නෙල්සන් මාධ්‍ය හමුවේ පෙන්වා දුන්නේය.


RECOMMEND POSTS