නාසා රොකට්ටුව ගමන් අරඹයි



සඳ මතුපිට සිට ආපසු පෘථිවිය බලා යෑමට සැරැසුණු නාසා ගගනගාමී යූජීන් ඇන්ඩෲ සර්නන්, ඔහු විසින් තබනු ලැබූ පා සටහන අසල, දූවිලි පිරුණු ඝනකම් පස් තට්ටුව සූරා, සිය දියණියගේ නම සටහන් කළේය. තමා සඳ මත සටහන් කළ දියණියගේ නම මැකෙන්නේ නැති බවත්, එම නම මකන්න කෙනකු යළි පැමිණෙන්නේ නැති බවත් සර්නන් දැන සිටියේය.

තම පා සටහන අසලින් දියණියගේ නම සටහන් කිරීම, සර්නන්ට ලොකු සතුටක් මෙන්ම දුකක් ද විය. හේතුව, ඔහු එක් ව සිටියේ නාසා ආයතනයේ අවසන් ‘ඇපලෝ’ චන්ද්‍ර මෙහෙයුමටය. ඒ, 1972 දෙසැම්බර් මාසයයි. ඇමෙරිකන් නාවික හමුදා කපිතාන්වරයකු ද වූ සර්නන්, ‘ඇපලෝ 17’ චන්ද්‍ර මෙහෙයුම යටතේ, සඳට ගිය නාසා ගගනගාමීන් තිදෙනාගෙන් කෙනෙකි. සර්නන් සිය දියණියගේ නම සඳ මතුපිට සූරා සටහන් කළේ ආපසු පෘථිවිය බලා පැමිණීමට චන්ද්‍ර යානයට ගොඩවීමට මොහොතකට පෙරය.

සර්නන් සඳ මතුපිට ලියූ ඔහුගේ දියණියගේ නම පමණක් නොව, සර්නන්ට පෙර සෙසු ‘ඇපලෝ’ මෙහෙයුම් ඔස්සේ සඳට ගිය සෙසු නාසා ගගනගාමීන් 10 දෙනාගේ පිය සටහන් ද තවමත් නොනැසී ඇති බවට සැකයක් නැත. ඊට හේතුව ඒවා ඛාදනය වීමට සුළඟක් සඳ මතුපිට නොමැති බැවිනි. සර්නන්, එදා දුක් වූයේ සඳට ගිය අවසන් තැනැත්තා තමා වනු ඇතැයි සිතමිනි. ‘ඇපලෝ 17’ චන්ද්‍ර මෙහෙයුම, නාසා ‘ඇපලෝ’ චන්ද්‍ර මෙහෙයුම් මාලාවේ අවසානය සනිටුහන් කළේය. ඒත් සර්නන් නොදැන සිටි දේ නම්, ‘ඇපලෝ’ චන්ද්‍ර මෙහෙයුම්, සඳ ගමනේ අවසානය නොවන බවය.

ප්‍රමාද වීම් රැසකින් පසු ඇමෙරිකාවේ නාසා ආයතනය ‘ආර්ටිමිස් 1’ චන්ද්‍ර මෙහෙයුම පසුගිය 16 වැනිදා ආරම්භ විය. ඒ, ‘ස්පේස් ලොන්ච් සිස්ටම්ස්’ නමැති අති ප්‍රබල රොකට් පද්ධතියේ ආධාරයෙන්, ‘ඔරියන්’ නමැති චන්ද්‍ර යානය (කැප්සියුලය) සඳට යැවීමත් සමඟය. පෘථිවි කක්ෂයේ දී රොකට්ටුවෙන් වෙන්වුණු ‘ඔරියන්’යානය, පෘථිවිය වටා යමින්, පෘථිවි ගුරුත්ව බලය උපයෝගී කරගෙන, සඳ බලා යෑම ඇරැඹුවේය.

පුහුණු මෙහෙයුමක් බැවින්, ‘ඔරියන්’ යානයේ ගගනගාමීන් නැත. යානය සඳට ගොස් සඳුගේ කක්ෂයට පිවිසී, සඳ වටා යෑමෙන් පසු ආපසු පැමිණෙනු ඇත. යානය සඳට ගොඩ බාන්නේ නැත. ‘ඔරියන්’ පෘථිවියට පැමිණීමට නියමිතව ඇත්තේ ලබන දෙසැම්බර් 11 වැනිදා යැයි නාසා නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. යානය පෘථිවි වායු ගෝලයට ඇතුළු වීමෙන් පසු පැරෂූට් ආධාරයෙන් මූදට පතිත වෙයි.

නාසා ආයතනය ‘ආර්ටිමිස්’ යනුවෙන් නම් කළ මෙම චන්ද්‍ර මෙහෙයුම් ආරම්භ කරන්නේ යළි මිනිසුන් සඳ​​ට යැවීමේ අරමුණින්ය. මීට වසර 50 කට පෙර, ඇමෙරිකාවේ නාසා ආයතනය ගගනගාමීන් සඳට යැව්වේ ‘ඇපලෝ’ මෙහෙයුම් යටතේය. එය ඇමෙරිකාව කළ ලොකු හපන්කමක් විය.

‘ආර්ටිමිස්’ චන්ද්‍ර මෙහෙයුම් මාලාව සුවිශේෂී එකකි. ‘ආර්ටිමිස් 1’ සාර්ථක වූ පසු ‘ආර්ටිමිස් 2’ ඇරැඹෙනු ඇති අතර, එහිදී ‘ඔරියන්’ චන්ද්‍ර යානය සඳට යන්නේ නිකම්ම නොව, ගගනගාමීන් තිදෙනකු ද සමඟය. ‘ආර්ටිමිස් 2’ මෙහෙයුම ද සඳ වටා යෑමක් පමණි. සඳට ගොඩබාන්නේ නැත. සඳ වටේ කැරැකී ‘ඔරියන්’ ආපසු පෘථිවියට පැමිණෙනු ඇත.

‘ආර්ටිමිස්’ මෙහෙයුම් අතරින් වැදගත් මෙහෙයුම වන්නේ ‘ආර්ටිමිස් 3’ මෙහෙයුමය. මෙහිදී ‘ඔරියන්’  යානයෙන් යන නාසා ගගනගාමීන් සඳට පය තැබීමට නියමිතය. යානය පතිත කිරීමට නියමිතව ඇත්තේ සඳේ අඳුරු පැත්තටය. සඳේ අඳුරු පැත්ත මීට පෙර ගවේෂණයට ලක් වී නැත. වැදගත් ම දේ වන්නේ ‘ආර්ටිමිස් 3’ මෙහෙයුම යටතේ පළමු වරට කාන්තාවක සඳට පය තැබීමට නියමිත වීමය.

පසුගිය 16 වැනිදා ‘ඔරියන්’ චන්ද්‍ර යානය, පෘථිවි කක්ෂයට තල්ලු කළ ‘ස්පේස් ලොන්ච් සිස්ටම්ස්’ රොකට්ටුව, නාසා ආයතනය සතු ප්‍රබලතම රොකට් පද්ධතිය ලෙස සැලකෙයි. ‘ඔරියන්’ ගගන කැප්සියුලය, ‘ස්පේස් ලොන්ච් සිස්ටම්ස්’ රොකට්ටු පද්ධතියට අයත් විශාලතම මෙන්ම උසම රොකට්ටුව මුදුණේ සවි කර තිබුණි. රොකට්ටුවේ උස මීටර් 98 කි. ‘ඔරියන්’ චන්ද්‍ර යානය, උඩු ගුවනට තල්ලු කරමින් යද්දී රොකට්ටුවේ කොටස් එකිනෙක පහළ සාගරයට වැටුණු අතර, ඇමෙරිකන් නාවික හමුදාවේ ද උදව්වෙන් එම කොටස් යළි එක් කර ගැනීම සිදුවිය. ඒ, යළි යළි භාවිතය සඳහාය.  ‘ආර්ටිමිස් 1’ මෙහෙයුම ආරම්භ කරමින් ‘ස්පේස් ලොන්ච් සිස්ටම්ස්’ රොකට් පද්ධතිය ගුවන්ගත වනු දැක ගැනීමට 15,000 ක පමණ පිරිසක් ෆ්ලොරීඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයට රැස්ව සිටි බව ද පැවැසෙයි.

නාසා තොරතුරු ඇසුරිනි


RECOMMEND POSTS