තනි අශ්වයා දුවන බංග්ලාදේශ මැතිවරණය



දිනෙන් දින ප්‍රමාද වූ බංගලාදේශ මහ මැතිවරණය අද (7) පැවැත්වෙයි. එහි ප්‍රතිඵලය කුමක්වේවිදැයි ඉතා පැහැදිලිය.

නිදහස් සාධාරණ මැතිවරණයක් අපේක්ෂා කළ නොහැකි බව පෙන්වා දෙමින්, බංග්ලාදේශ විපක්ෂ දේශපාලන කණ්ඩායම් මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත. එහෙයින්, බංග්ලාදේශ අග්‍රාමාත්‍ය සීක් හසීනා සහ ඇගේ අවාමි ලීග පක්ෂයටත්, අවාමි ලීගයට සහාය දක්වන සෙසු දේශපාලන පක්ෂවලටත් තරඟයක් නොමැතිව මැතිවරණය ජයග්‍රහණය කළ හැකිය. බංග්ලාදේශ පාර්ලිමේන්තුව ආසන 300 කින් සමන්විත අතර, බහුතරය සඳහා ආසන 150 ක් හිමිකර ගතයුතුය.

බංග්ලාදේශයේ ප්‍රධාන විපක්ෂ බලවේගය වන්නේ, බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයයි. අද වනවිට බංග්ලාදේශ ජාතික පක්ෂයේ නායකයන් බොහෝ දෙනකු සිටින්නේ සිරගතවය. ඒ නිදහස් හා සාධාරණ මැතිවරණයක් ඉල්ලා, අග්‍රමාත්‍ය සීක් හසීනාටත්, රජයටත් විරෝධය දැක්වූ බැවිනි. පසුගිය වසර පුරා බංග්ලාදේශයේ වැඩ වර්ජන පැවැත්විණි. ඒ, සීක් හසීනාටත් ඇගේ රජයටත් විරෝධය දක්වමිනි. ඩකා අගනුවර යුද පිටියක් වූ අවස්ථා බොහොමය. විරෝධතාකරුවන් නිර්දය ලෙස මර්දනයට කැරැලි මර්දන පොලිසිය යෙදවිණි.

බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය සහ ඔවුන්ට හිතවාදී සෙසු විපක්ෂ කණ්ඩායම් පෙන්වා දී ඇත්තේ නිදහස් සහ සාධාරණ මැතිවරණයක් අපේක්ෂා කිරීමට නම්, ෂෙයික් හසීනා අග්‍රමාත්‍ය ධුරයෙන් ඉවත් වී රජය විසුරුවා හැරිය යුතු බවය. මැතිවරණය පැවැත්විය යුත්තේ භාරකාර රජයක් යටතේ යැයි විපක්ෂ දේශපාලන නායකයන් දිගින් දිගටම ඉල්ලා ඇත. අග්‍රාමාත්‍ය සීක් හසීනා ඊට කැමැති වූයේ නැත. විරෝධය පෑ විපක්ෂ නායකයන් සහ ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනුණි.

භාරකාර රජයකට බලය පැවරීමට අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා විරෝධය දැක්වූයේ 2006 සිට 2008 තෙක් කාලයේ බංග්ලාදේශයේ පැවැති දේශපාලන අර්බුදය සිහිකරමිණි. බංග්ලාදේශ දේශපාලන කතාවේ ප්‍රබල නායිකාවෝ දෙදෙනෙකි. ඒ, වත්මන්අග්‍රමාත්‍යවරිය ෂෙයික් හසීනා සහ ඇගේ ප්‍රතිවාදියා කලීඩා ෂියාය. 1991 සිට 1996 දක්වාත්, 2001 සිට 2006 දක්වාත් බග්ලාදේශ අග්‍රාමාත්‍ය ධුරය හෙබවූයේ කලීඩා ෂියාය. ඇය බංග්ලාදේශයේ පළමු කාන්තා අග්‍රමාත්‍යවරියයි. සීක් හසීනා බංග්ලාදේශයේ අග්‍රමාත්‍ය ධුරය හොබවන්නේ 2009 වසරේ සිටය. ඇය බංග්ලාදේශයේ නිර්මාතෘ මෙන්ම, එරට පළමු ජනාධිපතිවරයාද වූ ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ දියණියයි.

2006 සිට 2008 කාලයේ භාරකාර රජයකට බලය පැවැරුණු අවස්ථාවේ, රටේ හමුදා කුමන්ත්‍රණයක් සිදුවිය. දේශපාලන නායකයන් බොහෝ දෙනකු අත්අඩංගුවට ගැනුණි. සීක් හසීනාත්, එදා බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂ නායිකාව ලෙස කටයුතු කළ කලීඩා ෂියාත් ඒඅතර වූහ.

2018 පෙබරවාරි 8 වැනිදා දූෂණ වංචා චෝදනා සම්බන්ධයෙන්, කලීඩා ෂියාට වසර 5 ක සිරදඩුවම් නියම කෙරුණි. පසුව එය වසර 10 ක් දක්වා දීර්ඝ කෙරුණි. කලීඩා ෂියාගේ අනුප්‍රාප්තිකයා ලෙස පක්ෂයේ නායකත්වය බාරගත්තේ ඇගේ පුතාට රීක් රෙහ්මාන් ය. අපරාධ චෝදනා යටතේ ඔහුට ජීවිතාන්ත සිරදඬුවමක් නියම වී ඇත.

අද (7) දිනයේ පැවැත්වෙන මහමැතිවරණ ඡන්ද පත්‍රිකාවේ, සිටින සියලු අපේක්ෂකයන්, අග්‍රමාත්‍ය ෂෙයික් හසීනාගේ අවාමි ලීග පක්ෂයට සහාය දක්වන පක්ෂවල නියෝජිතයන් හෝ ස්වාධීන පක්ෂවල නියෝජිතයන් කීපදෙනකු පමණි.

‘බංග්ලාදේශයේ ප්‍රජාතන්ත්‍රවාදය මිය ගියා. පැවැත්වෙන මහ මැතිවරණය ව්‍යාජ එකක් බව පැහැදිලියි’ යැයි බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක අබ්දුල් මොයින් ඛාන් මාධ්‍ය හමුවේ පවසා ඇත. වසර ගණනාවක් තිස්සේ, අග්‍රමාත්‍ය ෂෙයික් හසීනා ඒකාධිපති පාලකයෙකු බවට පත්වී ඇතැයි චෝදනා එල්ල වෙමින් පවතී. රටේ පාලනකට යුතු සම්බන්ධයෙන් වගකීම ගන්නා ලෙස ජාත්‍යන්තර ප්‍රජාව අග්‍රමාත්‍යවරියට බලපෑම් කර තිබියදී පවා ඇය එම බලපෑම් ගණනකට නොගනී.

බීබීසී ඇසුරිනි


RECOMMEND POSTS