ජේම්ස් වෙබ් දුටු පළමු ග්‍රහලෝකය



ජේම්ස් වෙබ් James Webb Space Telescope (JWST)දුරේක්ෂය, තාරකා විද්‍යාඥයන් මවිත කරමින්, විශ්වයේ රහස් සෙවීම ආරම්භ කර තිබේ. පසුගිය සතියේ එය තවත් අපූරු සොයා ගැනීමට දායක විය. ඒ, පෘථිවියට සමාන, විශ්වයේ ඈත පිහිටි, පාෂාණීය ග්‍රහලොවක් සොයා ගැනීමය.

නාසා ආයතනය, ජේම්ස් වෙබ් දුරේක්ෂය අභ්‍යවකාශයට යවා‍, අභ්‍යවකාශයේ රැඳවූයේ 2021 දෙසැම්බර් මාසයේය. ඉන්පසු, ජේම්ස් වෙබ් දුරේක්ෂය නව ග්‍රහලෝකයක් සොයා දුන් පළමු අවස්ථාව මෙයයි.

නාසා විද්‍යාඥයන් මෙම නව ග්‍රහලොව නම් කර ඇත්තේ LHS 475 bයන නමිනි. මෙම බාහිර් ග්‍රහයා (Exo-Planet) සියයට 99 ක් ප්‍රමාණයෙන් පෘථිවියට සමානය. එසේ වුවත්, LHS 475 b ග්‍රහයාට වායු ගෝලයක් තිබෙනවාද? ජීවීන්ට සුදුසු හිතකර තත්ත්වයන් තිබෙනවාද? වැදගත්ම ප්‍රශ්නය, LHS 475 b ග්‍රහයා මතුපිට ජීවීන් සිටිනවාද? යන්නට පිළිතුරු මෙතෙක් සොයාගෙන නැත. මේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම මේ වනවිට ආරම්භ වී තිබේ. ජේම්ස් වෙබ් අපට සොයා දුන්නේ, LHS 475 b ප්‍රමාණයෙන් සියයට 99 ක් පෘථිවියට සමාන ග්‍රහලෝකයක් බව පමණි. එසේ වුවත්, LHS 475 b ග්‍රහලෝකයේ, අප සෞරග්‍රහ මණ්ඩලයට අයත් යෝධයා, බෘහස්පති ග්‍රහයාගේ, ටයිටන් (Titan)චන්ද්‍රයාගේ මෙන් මීතේන් වායුව පිරි ඝන වායු ගෝලයක් නොමැති බව තහවුරු කරගෙන ඇත.

ජේම්ස් වෙබ් දුරේක්ෂයට අනුව, LHS 475 b ග්‍රහලොව පිහිටා ඇත්තේ ආලෝක වර්ෂ 41 ක් දුරිනි. අභ්‍යවකාශයේ එසේත් නැතිනම් මන්දාකිණි සහ තරු අතරේ දුර මැනීම සිදුවන්නේ ආලෝක වර්ෂවලිනි. ආලෝකය එක් තත්පරයක දී කි.මී. 2,97,600ක දුරක් (සැතපුම් 1,86,000ක දුරක්) ගමන් කරයි. ඒ අනුව ආලෝකය, එම වේගයෙන් වසරක් තිස්සේ යන දුර එක ඒකකයක් සේ සලකා, තාරකා විද්‍යාඥයෝ අභ්‍යවකාශයේ දුර මැනීම සිදු කරති. හිරුගේ සිට අපට (පෘථිවියට) ආලෝකය ඒමට ගතවන කාලය මිනිත්තු 8.6 කි.

ලැබුණු දත්ත අනුව, LHS 475 b ග්‍රහලොවේ උෂ්ණත්වයපෘථිවියේ උෂ්ණත්වයට වඩා අංශක සිය ගණනකින් වැඩි යැයි අනුමාන කෙරේ. එමෙන්ම, මෙම නව ග්‍රහලොව දින දෙකකින් කක්ෂයක් සම්පූර්ණ කරන බව ද පැවැසෙයි. විශ්වයේ ඈත මෙවැනි ග්‍රහලෝක සොයා ගැනීම පහසු නොවෙයි. ඒවා පහසුවෙන් දකින්න ලැබෙන්නේ නැත. කෙසේ නමුත් ජේම්ස් වෙබ් දුරේක්ෂය, මීට පෙර අභ්‍යවකාශයේ රැඳවූ අභ්‍යවකාශ දුරේක්ෂ මෙන් නොව, එය නිදවා ඇති තාක්ෂණය අපූරු එකකි. LHS 475 b ග්‍රහලොව සොයා ගැනීමට උපකාරී වූයේ එම තාක්ෂණයයි.

ජේම්ස් වෙබ්දුරේක්ෂය සුවිශේෂී එකකි. විද්‍යාඥයන් මෙම දුරේක්ෂක හඳුන්වන්නේ ‘අතීයට නෙත් හෙලන’ දුරේක්ෂය යනුවෙනි. ‘අතීයට නෙත් හෙලනවා’ යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? මේ දුරේක්ෂය කාලතරණය කළ හැකි කාල යන්ත්‍රයක්ද? එක්තරා විදිහකට මෙම ජේම්ස් වෙබ් දුරේක්ෂය කාල යන්ත්‍රයක් වැනිය. පෘථිවියේ සිට සැතපුම් මිලියනයක් ඈතින් රැඳවෙන දුරේක්ෂය, පෘථිවිය වටා කක්ෂගත වනු ඇත්තේ තාරකාවලින් සහ මන්දාකිණිවලින් විහිදෙන ආලෝකය ස්කෑන් (පරීක්ෂා) කරමිනි. මෙම දුරේක්ෂයට තාරකාවලින් සහ මන්දාකිණිවලින් විහිදෙන ආලෝකය, ආලෝක වර්ෂ බිලියන 13.7 ක් ආපස්සට නිරීක්ෂණය කිරීමේ හැකියාව ද ඇත.එසේ කළ හැකි වන්නේ මෙය රඳවා ඇත්තේ පෘථිවියේ සිට බොහෝ ඈත අභ්‍යවකාශයේ නිසාය. ජේම්ස් වෙබ්දුරේක්ෂයට, රත්තරන්වලින් නිර්මාණය කළ දර්පන (කණ්ණාඩි) සවි කර තිබේ. මේ දර්පන රැසක් සහ ප්‍රධාන දර්පනයක් ඊට අයත් වෙයි. ප්‍රධාන දර්පනයේ පළල අඩි 21 කි. ජේම්ස් වෙබ් දුරේක්ෂය විශ්වයේ රැඳවීම විශ්වය ගවේෂණයේ සන්ධිස්ථානයකි. ඉදිරි දශකය පුරාවට, තව තවත් විශ්වයේ මෙතෙක් සොයා නොගත් රහස් රැසක් අනාවරණය කර ගැනීමට දුරේක්ෂය උදව් වේවි යැයි නාසා ආයතනය පවසයි. නාසා ආයතනය, ජේම්ස් වෙබ් දුරේක්ෂය නිපදවීමේ කොන්ත්‍රාත්තුව ලබා දුන්නේ, ඇමෙරිකානු නෝර්ත්රොප් තාක්ෂණික සමාගමටය. වසර 24 ක් තිස්සේ නොයෙක් බාධා මැද අවසානයේ දුරේක්ෂය නිර්මාණය කර අවසන් වෙද්දී ඒ සඳහා වැයවුණු මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 10 ක් බව පැවැසෙයි. ‘නාසා’, ‘එසා’ සහ ‘සිසා’ අභ්‍යවකාශ ඒජන්සියට අයත් රටවල් 24 ක විද්‍යාඥයන් සහ ඉන්ජිනේරුවෝ දහස් ගණනක් දුරේක්ෂය නිර්මාණය කිරීමට දායක වූහ.

පෘථිවියට සමාන ජීවය ඇතැයි සැක කළ හැකි, ඈතින් පිහිටි ග්‍රහලෝක හමුවීම අරුමයක් නොවෙයි. ජේම්ස් වෙබ් දුරේක්ෂයට පෙර, පෘථිවියට සමාන ග්‍රහලෝක සොයා දුන්නේ කෙප්ලර් දුරේක්ෂයයි. වසර 9 ½ ක් තිස්සේ නාසා කෙප්ලර් දුර්කේෂය විශ්වයේ ඈත කෙළවර ග්‍රහලෝක සහ තරු මණ්ඩල සෙව්වේය. නාසා විද්‍යාඥයෝ කෙප්ලර් දුරේක්ෂය රඳවා තබනු ලැබුවේ, පෘථිවියේ සිට කිලෝ මීටර් 156 ක් දුරිනි. බාහිර් ග්‍රහයන් 3,800 කට වැඩි ප්‍රමාණයක් සොයා දීමට කෙප්ලර්සමත් විය. ඒ, එහි මෙගා පික්සල් 95 ට වඩා වැඩි අති ප්‍රබල කැමරාවේ ආධාරයෙනි.

තරුවක් වටා ඇති ග්‍රහලෝකයක් එම තරුව පසුබිම් කර ගෙන යද්දී, තරුවෙන් විහිදෙන ආලෝකයේ වෙනස්වීම් හඳුනා ගැනීමට දුරේක්ෂවලට හැකියාව ලැබේ. අලු‍ත් ග්‍රහයන් සොයා ගැනීම සිදුවන්නේ මේ අයුරිනි. 2018 වසරේ කෙප්ලර්අභ්‍යවකාශ දුරේක්ෂයේ කටයුතු අවසන් විය. ඒ, එහි ඉන්ධන අවසන් වීමත් සමඟ ය. කෙප්ලර්දුරේක්ෂය එක් රැස් කරගත් දත්ත තවත් බොහොමයක් ඇති අතර ඒවා අධ්‍යනයය සිදුවෙමින් පවතින බව නාසා පවසා තිබේ.

පෘථිවියට සමාන ජීවය පැවැතිය හැකි යැයි සහ ජීවය පැවැතීමට අවශ්‍ය සාධක ඇතැයි අනුමාන කළ හැකි ග්‍රහලෝක රැසක් කෙප්ලර් දුරේක්ෂය සොයා දී ඇති අතර, ඒවායින් ඇතැම් ග්‍රහයන් පෘථිවියට වඩා ප්‍රමාණයෙන් විශාලය. නැතිනම් නෙප්චූන් ග්‍රහයා තරම් කුඩාය. තාරකා විද්‍යාඥයන් ජීවය පැවැතිය හැකි යැයි අනුමාන කරන්නේ, ගෝල්ඩිලොක්ස් (Goldilocks) කලාපයට අයත් ග්‍රහලෝකය. තරුවකට වඩාත් ළංව පිහිටියොත්, එම ග්‍රහයාගේ උෂ්ණත්වය වැඩිය. තරුවකට දුරින් පිහිටියොත් සීතල වැඩිය. උණුසුම සහ සීතල දෙකම ඇතිව නියමිත සමාන දුරකින් පිහිටන්නේ නම් එවැනි ග්‍රහයන් පිහිටන කලාපය ගෝල්ඩිලොක්ස්කලාපය ලෙස සැලකෙයි.

ඩේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS