ජීවය පහළ වීමේ රහස හමුවෙලා
විශ්වයේ පාවෙමින් ගමන් කරන ග්‍රහක ගැන කතා කරද්දී, අපගේ සිහියට නැගෙන්නේ විනාශයයි. වසර මිලියන 65 කට පෙර අතීතයේ, ක්‍රිටෛයිසිය අවදිය අවසානයේ, පෘථිවියේ හැපුණු යෝධ ග්‍රහකයක් ඩයිනසෝරයන්ගේ ඉරණම තීන්දු කළ අතර, ඩයිනසෝරයන් පෘථිවියෙන් අතුගා දැමීමට එම ග්‍රහකය සමත් විය. ඒත්, ඉතිං, ජීවය නැසිය හැකි ග්‍රහකවලට ජීවය දීමට හැකිනම්? මේ කතාව අන්න ඒ ගැනය. ජීවය ආරම්භ වූයේ කෙසේද යන ප්‍රශ්නයට පිළිතුරු සැපැයීමට ග්‍රහකයක් සමත් වී ඇත. මේ ග්‍රහකයේ නම ‘බෙන්නු’ ය. ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයන් සතුව ‘බෙන්නු’ ග්‍රහකයෙන් ලබා ගත් පස් සහ දූවිලි සාම්පල ඇත. ඒවා අධ්‍යයන කරද්දී, විද්‍යාඥයන්ට පැහැදිලි වූයේ ජීවය බිහිවීමට අවශ්‍ය මූලික සාධක එනම් ඛනිජ ද්‍රව්‍ය රැසක් එම පස් සහ දූවිලි අතරේ ඇති බවය. පෘථිවියේ ජීවය පහළ වීමට ද මූල බීජය වී ඇත්තේ මෙම සාධක යැයි නාසා විද්‍යාඥයෝ පැහැදිලි කරති.
“ග්‍රහක ලෙස අපි හඳුන්වන බොහෝ ග්‍රහ වස්තූන්, සෞරග්‍රහ මණ්ඩලය බිහි වෙද්දී සිදුවුණු හැල හැප්පීම් සහ පිපිරීම්වලින් කැබැලි වුණු කොටස්. ඇතැම් ග්‍රහක ග්‍රහලෝක කැබැලි. පාෂාණය ග්‍රහකයක් ලෙස සැලකෙන බෙන්නු ග්‍රහකයත් ග්‍රහලෝකයක කැබැල්ලක් යැයි විශ්වාස කෙරෙනවා. බෙන්නු ග්‍රහකයෙන් ලබා ගත් සාම්පල පරීක්ෂා කරද්දී අපට පෙනී ගියේ ඒවායේ ලවණ ඇති බව. මෙවනි ලවණ දකින්න ලැබෙන්නේ, ද්‍රව ජලය ඇති ස්ථානයක. විලක්, ජලාශයක් හෝ සාගරයක් වගේ ස්ථානයක පමණයි. පෘථිවියේ ජීවය බිහිවූයේ සාගරයෙන් බව අප දන්නවා. පෘථිවියේ ජීවය බිහිවීමට අවශ්‍ය මූලික සාධකයක් ලෙස මෙම ලවණ හැඳින්විය හැකියි.” යැයි මහාචාර්ය දාන්තේ ලුරේටා පැහැදිලි කරයි. ලුරේටා, ඇමෙරිකාවේ ඇරිසෝනා විශ්ව විද්‍යාලයේ ග්‍රහලෝක විද්‍යාව සම්බන්ධ මහාචාර්යවරයෙකි.
ජීවය පහළ වීම සම්බන්ධයෙන් මෙතෙක් විද්‍යාඥයන්ට ලැබී ඇති හොඳම සාක්ෂිය ‘බෙන්නු’ ග්‍රහකයෙන් ලැබුණු බව නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. බෙන්නු ග්‍රහකයේ පස් සහ දූවිලි සාම්පල අධ්‍යයනයේදී පෘථිවිය මත ජිවය පැවතීමට අත්‍යවශ්‍ය ඇමිනෝ ඇසිඩ් ඇතුළු අත්‍යවශ්‍ය සාධක රැසක් තිබී හමුවුණු බව එම නිවේදනයේ දැක්වෙයි. මෙයින් අදහස් වන්නේ පිටසක්වළ ජීවය පැවැතීම නොවන නමුත්, පෘථිවියේ ජීවය පහළ වීමට හේතු සාධක වූ ඇමයිනෝ අම්ල විශ්වයේ වෙනත් ග්‍රහලෝකවල තිබිය හැකි බවත්, විශ්වයේ ඈත ග්‍රහලෝක සහ චන්ද්‍රයන් මත ජීවය පැවැතිය හැකි බවට ද මෙය සාක්ෂියක් වනු ඇති බවත් නාසා විද්‍යාඥයන්ගේ මතයයි.
සෞරග්‍රහ මණ්ඩලයේ නිශ්චිත ගමන් පථයක ගමන් කරන ග්‍රහකයක් ලෙස බෙන්නු සැලකෙයි. බෙන්නු මීටර් 500 ක පමණ විෂ්කම්බයකින් යුත් ග්‍රහකයකි. මෙය සොයා ගැනීම සිදුවූයේ 1999 සැප්තැම්බර් 11 වැනිදාය. ග්‍රහකය ‘බෙන්නු’ යන නමින් හැඳින්වෙන්නේ, මිසර දේව පුරාණයට අනුවය. මිසර දේව පුරාණයට අනුව ‘බෙන්නු’ යනු කොකෙකි. හිරු නිර්මාණය කිරීමටත්, ජීවය නිර්මාණය කිරීමටත් දායක වූ දෙවියෙකි. පෘථිවියේ සිට කිලෝ මීටර් 320 ක් දුරින්, ‘බෙන්නු’ ග්‍රහකය සෞරග්‍රහ මණ්ඩලයේ ඇදී යන්නේ, තත්ත්පරයට කිලෝ මීටර් 28 ක වේගයකිනි. විශාලත්වයත්, එය ගමන් කරන වේගයත් සලකා, ‘බෙන්නු’ ග්‍රහකය විනාශකාරී අනතුරුදායක ග්‍රහකයක් යැයි තාරකා විද්‍යාඥයන් විසින් වර්ගීකරණය සිදු කරනු ලැබ ඇත. 2182 වසරේ සැප්තැම්බර් 24 වැනිදා ‘බෙන්නු’ ග්‍රහකයේ ගමන් මඟ වැටී ඇත්තේ පෘථිවිය අසලිනි. එහෙයින්, ග්‍රහකය පෘථිවියේ ගැටෙනු ඇතැයි විද්‍යාඥයන් පරිගණක යොදා ගනිමින් කළ ගණනය කිරීම්වලදී අවබෝධ කරගෙන ඇත. ‘බෙන්නු’ පාෂාණමය ග්‍රහකයක් බවත් වසර බිලියන 4.5 ක් පැරැණි බවත්, එය ජීවයේ සම්භවයට සාක්ෂි සපයනු ඇතැයි ඇමෙරිකාවේ නාසා විද්‍යාඥයන් අනාවරණය කර ගැනීමත් සමඟ ග්‍රහකයට ගොස් ග්‍රහකයේ පස් සහ දූවිලි අංශු සාම්පල එක් රැස් කර ගනිමින් ඒවා පෘථිවියට රැගෙන ඒමේ වැඩ මෙහෙයුමක් සකස් කෙරුණි.
ඒ අනුව, ‘ඔසයිරස් රෙක්ස්’ නමැති රොබෝ අභ්‍යවකාශ යානය, පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 63 ක් ඈතින් පිහිටි ‘බෙන්නු’ ග්‍රහකය බලා පිටත් කර හැරීම සිදුවූයේ 2016 වසරේදීය. මෙම යානය ‘ඔසයිරස්’ ලෙස නම් කෙරුණේ ද මිසර දේව පුරාණයට අනුවය. ‘ඔසයිරස්’ යනු මරණයට අධිපති මෙන්ම සාරවත් බව සහ කෘෂි කර්මාන්තයට සම්බන්ධ දෙවියාය. වසර දෙකකින් ‘ඔසයිරස්’ යානය, අධික වේගයෙන් ගමන් කරමින් තිබෙන ‘බෙන්නු’ ග්‍රහකයට ළං වී, නව කක්ෂයකට පිවිස ගමන් ඇරැඹුවේය. තවත් වසර දෙකක් යානය ග්‍රහකය සිතියම් ගත කරමින් ඡායාරූප ලබා ගනිමින් ඒ දත්ත පෘථිවියට එවීය. 2020 වසරේ දී, රොබෝ යානය, ග්‍රහකයට තවත් ළං විය. ඉන්පසු එය ග්‍රහකයේ වේගයට සමාන්තර වේගයකින් ගමන් කරන්න විය. එසේ ගමන් කරමින්, ‘ඔසයිරස් රෙක්ස්’ යානයේ රොබෝ අත භාවිතයට ගනිමින් බෙන්නුගේ මතුපිට පස් සහ දූවිලි සූරා යානයේ කුඩා ඇසුරුමට ඒවා දමා ගත්තේය. අධික වේගයකින් ගමන් කරන ග්‍රහකයට ළං වී, ඊට ගොඩබෑමක් නොකර, ග්‍රහකයේ වේගයට සමාන්තර වේගයකින් ගමන් කරමින්, පස් සහ දූවිලි සාම්පල ලබා ගැනීම සැබැවින්ම නාසා විද්‍යාඥයන් කළ වික්‍රමයකි. ග්‍රහකයකින් මෙලෙස නාසා විද්‍යාඥයන් පස් ලබා ගැනීම කළ පළමු අවස්ථාව ලෙස ද මෙය සැලකෙයි.
ග්‍රහකයෙන් ලබා ගත් පස් සහ දූවිලි සාම්පල ප්‍රමාණය ග්‍රෑම් 250 කි. ඒවා යළි පෘථිවියට ගෙන්වා ගැනීම තවත් අපූරු වික්‍රමයක් විය. ‘ඔසයිරස් රෙක්ස්’ යානය, නාසා විද්‍යාඥයන් විසින් පෙර ලබා දෙනු ලැබ තිබුණු උපදෙස් අනුව යමින්, යළි පෘථිවිය බලා ගමන් ආරම්භ කළේය. වසර 7 ක මෙහෙයුම සාර්ථකව අවසන් කරමින්, පස් සාම්පල යානය, 2023 සැප්තැම්බර් 24 වැනිදා පෘථිවිය අසලට පැමිණි අතර, යානයේ සහ දූවිලි සාම්පල අඩංගු කැප්සියුල කොටස යානයෙන් වෙන් වී, පෘථිවි වායු ගෝලය හරහා ඇමෙරිකාවේ යුටා ප්‍රාන්තයේ කාන්තාර ප්‍රදේශයට පතිත කෙරුණි. නාසා විද්‍යාඥයෝ එය පැමිණෙනතුරු මඟ බලා සිටියහ. කැප්සියුලය පෘථිවියට විසි කිරීමෙන් පසු ‘ඔසයිරස් රෙක්ස්’ යානය තවත් දීර්ඝ අභ්‍යවකාශ මෙහෙයුමක් බලා පිටත් කර හැරීමට නාසා විද්‍යාඥයෝ උපදෙස් ලබා දුන්හ. ‘ඔසයිරස් රෙක්ස්’ යානය ‘ඇපෝසිස්’ නමැති තවත් ග්‍රහකයක් ගවේෂණයට යන බව නාසා ආයතනය දැනුම් දුන්නේය. ‘ඇපෝසිස්’ යනු 2004 වසරේ දී සොයා ගත් ග්‍රහකයකි. මෙය 2029 දී පෘථිවිය අසලින් යෑමට නියමිතය. ‘ඇපෝසිස්’ ද මිසර දේවපුරාණයට අයත් දෙවියෙකි. කලබලයට සහ ව්‍යසනයට අධිපති දෙවියාය. 2029 දී ‘ඇපෝසිස්’ ග්‍රහකය ද පෘථිවියේ හැපීමට නියමිතය.
බෙන්නු යානයේ පස් සහ දූවිලි සාම්පල අඩංගු එම කැප්සියුල කොටස පෘථිවි වායු ගෝලයට ඇතුළු වී පහළට ඇදී ආවේ වෙඩි උණ්ඩයක වේගය මෙන් 15 ගුණයක වේගයකිනි. සුපුරුදු පරිදි පෘථිවි වායු ගෝලයේ දී කැප්සියුලය ගිනි ගත්තත්, එහි තාප ආරක්ෂක ආවරණය හේතුවෙන් ඇතුළේ පස් සහ දූවිලි සාම්පල ආරක්ෂිත විය. අධික වේගයෙන් යූටා කාන්තාර දෙසට ඇදී ආ කැප්සියුලයේ වේගය අඩාල කිරීම සිදුවූයේ එහි පැරෂූට් දිග හැරීමෙන් පසුවය. කැප්සියුලය පැමිණෙන තුරු බලා සිටි නාසා විද්‍යාඥයන් එම කැප්සියුලය නාසා පර්යේෂණාගාරයකට රැගෙන යෑම සිදුවිය. කැප්සියුලය තුළ පස් සහ දුවිලි සාම්පල අඩංගු කර තිබුණේ නයිට්‍රජන් වායුව සමඟය. නයිට්‍රජන් කිසිදු ද්‍රව්‍යයක් සමඟ ප්‍රතික්‍රියා නොකරයි. පස් සහ දූවිලි සාම්පල නයිට්‍රජන් වායුව සමඟ රැගෙන ඒම සිදු කළේ එහෙයිනි. ‘ඔසයිරස් රෙක්ස්’ මෙහෙයුම සඳහා නාසා ආයතනයට වැයවුණු මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 800 කි.
ඩේලිමේල් ඇසුරිනි