කොරෝනාට වඩා බිහිසුණු සොම්බි වයිරස
ඇසට පෙනෙන්නේවත් නැති, වයිරස, කොතරම් බලවත්දැයි අපට වැටහුණේ, ‘කොවිඩ් 19’ වංසගතය හමුවේ ලෝකය දණින් වැටෙද්දීය. ‘කොවිඩ් 19’ වයිරස වසංගතයෙන් එල්ල වුණු බලපෑම, තවමත් විටින් විට හොල්මන් කරයි. ලෝක සෞඛ්‍ය සංවිධානය තවමත්, ‘කොවිඩ් 19’ තර්ජන සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් කරයි. ‘කොවිඩ් 19’ වසංගතයට මුල් වූයේ කොරෝනා පවුලට අයත් වයිරස විෂබීජයකි. කොරෝනා යනු සතුන් තුළ වර්ධනය වී සතුන් අතරේ පැතිරෙමින් තිබී, සතුන්ගෙන් මනුෂ්‍යයන්ට සංක්‍රමණය වූ වයිරස විශේෂයකි.
2019 නොවැම්බරයේ, චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් හඳුනාගත් ‘කොවිඩ් 19’ වයිරසයේ සුලමුල තවමත් අප දන්නේ නැත. එය වවුලන් හරහා හෝ කැබැල්ලාවන් හරහා හෝ මිනිසුන්ට ආසාදනය වන්න ඇතැයි සැකයක් පවතී. වූහාන් නුවර, වයිරස බැංකුව යනුවෙන් ද හැඳින්වෙන රසායනාගාරයේ දී චීන හමුදා විද්‍යාඥයන් විසින් රසායනික අවියක් ලෙස නිපදවූ කෘත්‍රිම වයිරසයක් බවට ද සැකයක් පවතී. මේ කිසිවක් තහවුරු කර නැත. කෙසේ හෝ වේවා, ‘කොවිඩ් 19’ වසංගතයෙන් පාඩම් ඉගෙන ගත් විද්‍යාඥයන් සහ වෛද්‍ය පර්යේෂකයෝ මීළඟ වසංගතයට සූදානම් වෙති.
‘කොවිඩ් 19’ මෙන් මිනිස් වර්ගයාට වින කළ හැකි, ඊටත් වඩා බිහිසුණු, ලෝකයට අනතුරක් කළ හැකි වයිරස සම්බන්ධයෙන් ලහි ලහියේ පර්යේෂණ සිදුවෙයි. මේ වනවිට බටහිර විද්‍යාඥයන්ට, වසර දහස් ගණනක් පැරණි, අයිස් තට්ටු අතරේ මිදී පැවැති, වයිරස වර්ග කීපයක් හමුවී තිබේ. මේ වයිරස වර්ග කිරීමට පවා විද්‍යාඥයන් දන්නේ නැත. ඉපැරණි මේ වයිරස, විද්‍යාවට අලුත්ය. විද්‍යාඥයන් මෙම වයිරස නම් කර ඇත්තේ ‘සොම්බි වයිරස’ යනුවෙනි.
වාසනාවකට අයිස් තට්ටු අතරේ නිද්‍රාගතව සිටියොත්, මෙම සොම්බි වයිරසවලින් මනුෂ්‍ය අපට හෝ සතුන්ට හෝ අනතුරක් නැත. ඒත් අවාසනාව යනු, මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, අයිස් තට්ටු දියවීමය. ගෝලීය උණුසුම ඉහළ යෑමේ අනිසි ප්‍රතිඵලයක් ලෙස,
අයිස් දියවී මෙම සොම්බි වයිරස පරිසරයට මුසු වීමේ අවදානමක් පවතී. මෙවැනි වයිරසයක් සතුන් හරහා හෝ සෘජුව හෝ මනුෂ්‍යයන් අතරේ පැතිරීමට පටන් ගත්තොත්, එය මහා විනාශයක් වනු නිසැක යැයි බිය පළ කෙරේ. ඊට හේතුව, ‘කොවිඩ් 19’ කොරෝනා වයිරසය මෙම සොම්බි වයිරස හමුවේ පුංචි හෙම්බිරිස්සාවක් පමණක් වීමය.
ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ යෑම ආක්ටික් කලාපයට සෘජුව බලපායි. රුසියාවට අයත් ආක්ටික් කලාපයේ පිහිටි සයිබීරියාව සීතල භූමි ප්‍රදේශයකි. සයිබීරියාවේ මතුපිට පස් තට්ටුවට යටින් හිම තුහින එසේත් නැතිනම් නිත්‍ය තුහින ඇත. හිම තුහින Permafrost යනු, හිමංකයට අඩු උෂ්ණත්වයක්, වසර මුළුල්ලේ ඇති යටි පසය. උතුරු අර්ධගෝලයෙන් පහෙන් එකක් වැසී ඇත්තේ හිම තුහිනවලිනි. මෙම හිම තුහින කාල කැප්සියුලයක් වැනිය. හිම තුහින පුරාණ වයිරස පමණක් නොව, වඳ වී ගිය මැමතුන් වැනි අයිස් යුගයේ සතුන්ගේ මිදුණු සිරුරු කොටස් සහ ඩී.එන්.ඒ. පවා ආරක්ෂිතව සඟවා ගෙන සිටී.
ගෝලීය උණුසුම ඉහළ යද්දී, දියවන හිම තුහින අතරින් විද්‍යාඥයන්ට හමුවී ඇත්තේ, වසර 48,500 ක් පැරැණි නිද්‍රාශීලීව සැඟවී තිබුණු වයිරසය. මෙවැනි පුරාණ වයිරස සම්බන්ධයෙන් සිදු කෙරෙන පර්යේෂණවලදී ඉදිරියෙන් සිටින්නේ ප්‍රංශයේ මාසේල් විශ්ව විද්‍යාලයේ ජාන විද්‍යාඥ ජෝන් මයිකෙල් ක්ලැවියේරිය. විද්‍යාඥයන්, විද්‍යාගාර තුළ ඉතා ආරක්ෂිතව, මෙම පැරැණි වයිරස අවදි කර ඒවා ගැන අධ්‍යයන සිදු කර තිබේ. මෙම වයිරස කොතරම් බිහිසුණුදැයි අනාවරණය වූයේ ඒ අනුවය. ඒ අනුව, තම කණ්ඩායමට, රුසියාවේ සයිබීරියාවේ හිමතුහින අතරින් සොයා ගත්, සොම්බි වයිරස පරිසරයට මුදා හැරීමක් සිදුවුවහොත්, ගෝලීය සෞඛ්‍ය අවදානමක් මතු වේවි යැයි ජෝන් මයිකෙල් ක්ලැවියේරි බිය පළ කර තිබේ. මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට පර්යේෂණ වාර්තා ලබා දීමට ද විද්‍යාඥවරයා කටයුතු කර ඇතැයි පැවැසෙයි.
ඇමෙරිකාවේ, කැලිෆෝනියා ජනපදයේ, පැසඩේනා හි, කැලිෆෝනියා තාක්ෂණ විද්‍යා විශ්ව විද්‍යාලයේ දේශගුණික විද්‍යාඥවරියක ලෙස කටයුතු කරන කිම්බර්ලි මයිනර් සහ ඇගේ කණ්ඩායම ද මෙම සොම්බි වයිරස ගැන පර්යේෂණ කරයි. ඒ, කැනඩාවේ හිම තුහින පරීක්ෂා කරමිණි. ‘ආක්ටික් කලාපයේ හිම තුහින දියවී යෑම සම්බන්ධයෙන් ලෝකයේ අවධානය යොමු විය යුතුයි. මිනිසාටත් සතුන්ටත් ආගන්තුක වයිරස වර්ග බොහොමයක් හිම තුහින අතරින් හමුවී තිබෙනවා’යැයි විද්‍යාඥවරිය පැහැදිලි කර තිබේ.
සී.එන්.එන් ඇසුරිනි