කුහුඹු කාන්තාවෝ
ඈතින් අරුණලු නැගෙනු පෙනෙයි. ඝන යටි වියනකින් සමන්විත එක්වදෝර ඇමසන් වැසි වනාන්තරය තවමත් අඳුරේය. අඳුර අතරින් වන මං ඔස්සේ ඇදෙන කාන්තා රුවකි. කුරුල්ලන් තවමත් අවදි වී නැත. වනාන්තරය නිහඬය.
වනාන්තරයේ නිහැඬියාව බිඳිමින් ගලා යන ජලයේ හඬ ඇසෙයි. කාන්තාව ඇවිද යමින් සිටින්නේ, ජටුන්යාකූ ගං ඉවුරේය. ජටුන්යාකූ ගංගාව ඇමසන් වනාන්තරය මැදින් අති දැවැන්ත ඇනකොන්ඩාවකු මෙන් දිවෙන ඇමසන් මහා ගංගාවට සම්බන්ධ වෙයි. ඒ, නාපෝ පළාතේදීය. කිසියම් දෙයක් මුමුණමින් සහ ජප කරමින් ඒ කාන්තාව ගංගාව අසල ගල් තලාවක නතර වෙයි.
ඇය පසුපසින් තවත් කාන්තාවෝ එක්කෙනා දෙන්නා බැගින් සෙමින් සෙමින් ගල් තලාවට පැමිණෙති. ඔවුන් කරේ එල්ලා ගත් හම් මලුවල ඇත්තේ ඇමසන් වනාන්තරයෙන් සොයා ගත් ඖෂධ පැලෑටිය. ඖෂධ සඳහා යොදා ගන්නා ගස්වල කොළ සහ පොතුය. කාන්තාවෝ 35 දෙනෙක් ගල් තලාව මත එක් රැස් වී සිටිති.
ගුවයිසා උපිනා නමැති චාරිත්‍රය ආරම්භ කිරීමට සියල්ල සූදානම්ය. ගුවයිසා උපිනා යනු ඇමසන් වැසි වනාන්තරය කේන්ද්‍රකොට ගනිමින් ජීවත් වන ස්වදේශීය වැසියන්ගේ ආශිර්වාද ලබා ගැනීමේ චාරිත්‍රයකි. අද පරම්පරා කීපයකට පසුව නවීකරණය වී සිටියත්, මේ ස්වදේශීය වැසියන් ඔවුන්ගේ පාරම්පරික යටගියාව හෝ සම්ප්‍රදාය හෝ අමතක කර නොමැත.
අරුණලු උදාවට පෙර, රාජකාරි ආරම්භ කිරීමට මත්තෙන් සිදු කෙරෙන ගුවයිසා උපිනා චාරිත්‍රය ඊට හොඳ උදාහරණයකි. කාන්තාවන් කණ්ඩායමේ සිටි වැඩිහිටි කාන්තාව අබුවේලා ය. අබුවේලා යනු මිත්තණියයි.
‘අපට ශක්තිය දෙන්න. මඟ පෙන්වන්න. අප තමයි රැකවලුන්. අප තමයි මුරකරුවන්’ කාන්තාවන් සියලු දෙනා උස් හඬින් කියනු ඇසෙයි. ඒ හඬ වනාන්තරය පුරා රැව් දෙයි. මේ අතරේ, කණ්ඩයමේ සිටින තරුණ කාන්තාවන් නටමින්, ඔවුගේ පාරම්පරික ගීත ගායනා කිරීම අරඹයි. ගුවයිසා උපිනා ආශිර්වාද චාරිත්‍රය අවසන්ය.
මේ කාන්තාවන් එක්වදෝරයේ ඇමසන් වැසි වනාන්තරය කේන්ද්‍රකොට ගනිමින් වසර සිය ගණනක් තිස්සේ ජීවත් වුණු, යාත්තමට විලි වසා ගත් කිචාවා ස්වදේශික ගෝත්‍රිකයන්ය. අද දකින්න ලැබෙන කිචාවා ස්වදේශික ගෝත්‍රිකයෝ, ඔවුන්ගේ මුතුන්මිත්තන් මෙන් නොව, නූතන ලෝකයට හැඩ ගැසී සිටිති. ඇතැම්හු හොඳ අධ්‍යාපනයක් ලබා සිටිති.
මෙම කිචාවා වැසියන් ජීවත් වන්නේ වනාන්තරය අද්දර පිහිටි සෙරේනා ගම්මානයේය. ගම්මානයේ නිවාස කටුමැටි බිත්ති ඇති වහලයට කොළ අතු දැමූ ඒවා නොවෙයි. ගඩොලින් බැදි නිවාසය. ඔවුන්ට විදුලි බලය ලැබෙයි. රූපවාහිනී, ශීතකරණ, විදුලි පංකා, ජංගම දුරකතන මෙම ස්වදේශීය වැසියන්ට අරුමයක් නොවේ. අරුණලු උදා වෙද්දී, ජටුන්යාකූ ගං ඉවුර දිගේ ගල්තලාව බලා ගිය කාන්තාවන් කණ්ඩායමට නායකත්වය දුන් තැනැත්තිය, 43 හැවිරිදි එල්සා සෙර්ඩාය. ආශිර්වාද චාරිත්‍රය පැවැත්වූයේ 85 හැවිරිදි වැඩිහිටි කාන්තාවකි. ඇගේ නම කොරීනා ඇන්ඩිය.
ගුවයිසා උපිනා චාරිත්‍රයට එක් වූයේ අවුරුදු විසිතුනේ සිට අසූපහ දක්වා කාන්තාවන් තිස් පස් දෙනකුගෙන් සමන්විත කණ්ඩායමකි. මේ කණ්ඩායම හැඳින්වෙන්නේ යුටුරි වර්මි යන නමිනි. යුටුරි වර්මි කණ්ඩායමට අයත් වන්නේ කාන්තාවන් පමණි. යුටුරි වර්මි කණ්ඩායම, ආශිර්වාද ලබා ගැනීමට පූජාවක් පැවැත්වූයේ, ඔවුන්ට ඉතා වැදගත් කටයුත්තක් එසේත් නැතිනම් මෙහෙයුමක් පැවැරී ඇති බැවිනි. යුටුරි වර්මි යනු එක්වදෝර ඇමසන් වැසි වනාන්තරයේ ආරක්ෂකයන්ය. ලෝකයේ එක් පෙනහල්ලක් ලෙස සැලකෙන මහා ඇමසන් වනාන්තරය විනාශ වීමට එරෙහිව, අනවසරයෙන් සිදුවන ගස් කැපීම් සහ වන විනාශයට එරෙහිව, වනාන්තරයේ ජල පද්ධති සහ පරිසර පද්ධති දූෂණය වීමට ඉඩ නොතබන සහ එවැනි කටයුතු සිදුවන්නේ නම් ඊට එරෙහිවන කාන්තාවන්ගෙන් පමණක් සැදුම්ලත් රැකවලුන් නැතිනම් මුරකරුවන් කණ්ඩායමකි.
එලීස් ඇල්වරාඩෝ යනු යුටුරි වර්මි කණ්ඩායමේ ළාබාල සාමාජිකාවය. එලීස් පැහැදිලි කරන අන්දමට, කිචාවා බසට අනුව, යුටුරි යනු ඇමසන් වැසි වනාන්තරයේ දැකිය හැකි කුහුඹු විශේෂයකි. කඩිසර, සහයෝගයෙන් වැඩ කරන, නිර්භීත කුහුඹු විශේෂයකි. වර්මි යනු කාන්තාව යන අදහසය. ඒ අනුව, යුටුරි වර්මි යනු කුහුඹු කාන්තාවන්ය. ‘වැසි වනාන්තරයේ මුරකරුවන් වන අප වනාන්තරයේ මුර සංචාර කටයුතු සිදු කරනවා. අනවසර දඩයක්කාරයන්, ගස් කපන්නන් සිටිනවාදැයි බලනවා. ගංගා ඇල දොල දූෂණය වී තිබෙනවාදැයි බලනවා. වනාන්තරය අපේ උරුමය. අප කණ්ඩායමක් හැටියට කඩිසරව වනාන්තරය රැක බලා ගන්නවා. අප අපේ උරුමය රැක බලා ගන්නවා. ඒ බව සංකේතවත් කිරීමක් හැටියටයි අපේ කණ්ඩායම යුටුරි වර්මි යන නමින් හැඳින්වෙන්නේ.’ යැයි එලීස් පැහැදිලි කරයි.
සෙරේනා ගම්මානයේ ජීවත් වන කිචාවා වැසියන් ගණන 154 කි. ඒ අතරින් සවි ශක්තිය ඇති තරුණ සහ වැඩිහිටි කාන්තාවෝ 35 දෙනෙක් වනාන්තරයේ රැකවලුන් ලෙස යුටුරි වර්මි කණ්ඩායමට එක් වී සිටිති. ඔවුන් මුර සංචාරයේ යෑමට පෙර ආශිර්වාද ලබා ගැනීම සිදු කරන්නේ, ගුවයිසා උපිනා චාරිත්‍රයයි. කුහුඹුවන් උන්ගේ ගුල ආරක්ෂා කරගන්න ඕනෑම දෙයක් කරනවා. සතුරන් සමඟ දිවි පරදුවට තබා සටන් කරනවා. අපත් එහෙමයි.’ යැයි එලීස් කියයි. යුටුරි වර්මි කණ්ඩායම වනාන්තරයේ රැකවලුන් ලෙස කරන සේවය, එක්වදෝර වන අඩවි නිලධාරීන්ගේත් රජයේත් පැසැසුමට ලක් වී ඇත. වනාන්තරයේ මෙහෙයුම් සඳහා යද්දී ජංගම දුරකතන, වෝකි-ටෝකි ආදී පණිවුඩ හුවමුරු උපකරණ පමණක් නොව, වනාන්තරයේ අටවන කැමරා, ඔත්තු බැලීම් සිදු කිරීමට නියමුවන් රහිත කුඩා ඩ්‍රෝන යානා ද යුටුරි වර්මි කණ්ඩායමට සතුය. යුටුරි වර්මි කාන්තාවන් වනාන්තරයේ වර්ග කිලෝ මීටර් 7.8 ක භූමි ප්‍රදේශයක ගවේෂණ කටයුතු සහ සෝදිසි මෙහෙයුම් සිදු කරන බව පැවැසෙයි. ගම්මානයේ පිරිමි පාර්ශ්වයෙන් යුටුරි වර්මි කාන්තාවන්ට විරෝධයක් නොමැති බැවින්, යුටුරි වර්මි මෙහෙයුම් සිතුවාටත් වඩා සාර්ථක බව ද පැවැසෙයි.
යුටුරි වර්මි කණ්ඩායම මාසයකට වරක්, ඔවුන්ට අයත් වනාන්තර කලාපයේ නිරීක්ෂණ සංචාර කරයි. ඒ සැලැසුම්සහගතවය. කණ්ඩායමට නායකත්වය දෙන එල්සා සෙර්ඩා, ගං ඉවුර දිගේ සිය කණ්ඩායම මෙහෙයවමින්, වනාන්තරයට ඇතුළු වන්නේ වන මංවල කැමරා ඇටවීම කරයි. ඒ, වන සතුන් ඡායාරූපයට හෝ වීඩියෝවට නැගීමට නොවෙයි. අනවසර දඩයක්කාරයන් සහ ගස් කපන්නන් සිටිනවාදැයි සොයා බැලීමටය. යුටුරි වර්මි කණ්ඩායම සතු කැමරා, ඩ්‍රෝන යානා ආදිය ඔවුන්ට වන අඩවි නිලධාරීන්ගෙන් ලැබුණු ඒවාය. එවැනි පරිත්‍යාගවලට අමතරව, ස්වදේශිකයන් ඔවුන්ගේ පාරම්පරික ශිල්ප ක්‍රම ඇසුරින් නිර්මාණය කළ අත්කම් විකිණීමෙන් ලබා ගන්නා මුදලින් ද කැමරා ආදිය මිලදී ගෙන තිබේ.
සාමාන්‍යයෙන් දින දෙක තුනක් පුරා විහිදෙන ඔවුන්ගේ මුර සංචාර අතරතුරේ, අනවසරයෙන් සිදුවන පතල් කැණීම් ආක්‍රමණයක හෝ පාරිසරික පරිහානියක කිසියම් හෝ සලකුණක් ඇතිදැයි කාන්තාවෝ විමසිලිමත් වෙති. මුර සංචාරයේ යෙදී සිටින විට, ඔවුන් ඔවුන්ගේ සොයා ගැනීම් ලේඛනගත කරයි.
ඡායාරූප සහ වීඩියෝ සාක්ෂි ලෙස ලබා ගනී. ආපසු ගම්මානයට පැමිණ ඒවා විශ්ලේෂණය සිදු කරයි. ලබා ගන්නා එම දත්ත, අදාල බලධාරීන්ට ලැබීමට සලස්වයි. ඒ සමඟම, සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කරමින් දේශීය සහ ජාත්‍යන්තර ප්‍රජාවන් දැනුවත් කිරීම ද සිදු කරයි. කැමරා සහ ඩ්‍රෝන ක්‍රියාත්මක කරන ආකාරය තරුණ කාන්තාවන් වැඩිහිටි සාමාජිකයින්ට උගන්වමින් කාන්තාවන් නිතිපතා පුහුණු සැසි පැවැත්වීම ද සිදුවෙයි. මුර සංචාරයේ යන යුටුරි වර්මි කාන්තාවන් අවි ආයුධ අතැතිව යන්නේ නැත. එකමුතුකම ඔවුන්ගේ අවියයි. කිසියම් නීතිවිරෝධී කටයුත්තක් සිදුවන බව පෙනෙන්නේ නම්, ඔවුන් කරන්නේ රහසේ ඒ සම්බන්ධයෙන් අදාල සාක්ෂි රැස් කිරීමය.
නීතිවිරෝධී අයුරින් කළ පතල් කැණීම්, කෑළෑ කැපීම් ආදිය සිදුවන්නේ නම්, ඒ බව යුටුරි වර්මි කාන්තාවන් අදාල රජයේ බලධාරීන්ට සහ පරිසර කණ්ඩායම්වලට දැනුම් දෙයි. සුදුසු නීතිමය පියවර ගැනීමට නීතීනඥ කණ්ඩායම් රැසක් ද යුටුරි වර්මි කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටී. ඇමසෝනියා ලෙසින් ද හැඳින්වෙන, ඇමසන් වැසි වනාන්තරය දකුණු ඇමෙරිකාවේ, එසේත් නැතිනම් ලතින් ඇමෙරිකාවේ ඇමසන් ද්‍රෝණියෙහි දකුණු ඇමෙරිකා රටවල් කීපයක් පුරා විසිරී පැතිර ඇති නිවර්තන වැසි වනාන්තරයකි.
ඇමසන් වැසි වනාන්තරයෙන් වැඩි කොටසක් එනම් සියයට 60 ක් අයත් වන්නේ බ්‍රසීලයටය. සියයට 13 ක් අයත් වන්නේ පේරු රාජ්‍යයටය. සියයට 10 ක් අයත් වන්නේ කොලොම්බියාවටය. සෙසු ප්‍රමාණය වෙනිසියුලාව, බොලිවියාව, ගයනාව, සුරිනාමය, ප්‍රංශ ගයනාව සහ එක්වදෝරය අතරේ බෙදෙයි.