කරදිය සාගරයක් සඟවා ගත් චන්ද්‍රයා
විද්‍යාඥයන්, පෘථිවියෙන් එපිට වෙනත් ග්‍රහලොවක වාසය කිරීමේ උනන්දුව ඇති වුණේ අද ඊයේ නොවෙයි. මධ්‍යතන යුගයේ පටන් තාරකා විද්‍යාඥයෝ ඒ ගැන උනන්දුවක් දක්වන්න වූහ. ආරම්භයේ දී බොහෝ දෙනකුගේ විශ්වාසය වූයේ පෘථිවියට ආසන්නයේ පිහිටි අඟහරු හෙවත් රතු ග්‍රහයා මිනිස් වාසයට සුදුසු බවය. ඒ, විශ්වාසය තවමත් බිඳ වැටී නැත.
2026 වසරෙන් පසු අඟහරු ග්‍රහයා මතට ගගනගාමීන් යැවීමටත්, ඉන්පසු ජනාවාස පිහිටුවීමටත් ඇමෙරිකාවේ නාසා ආයතනය පිඹුරුපත් සකස් කරන්නේ ඒ නිසය. එපමණක් නොවෙයි, ජීවය පැවැතිය හැකි බවට ලැබුණු ඉඟියක් නිසා විද්‍යාඥයෝ සිකුරු ග්‍රහයා ගැනත් උනන්දුවක් දක්වති. ඒත් අලුත්ම කතාව එය නොවෙයි. අඟහරුටත්, සිකුරුටත් ඈතින්, අප සෞරග්‍රහ මණ්ඩලයේම, කරදිය සාගරයක් ගැන හෝඩුවාවක් විද්‍යාඥයන්ට දැනගන්න ලැබී තිබේ. මේ කරදිය සාගරය ඇත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා වන බෘහස්පතිට අයත් යුරෝපා Europa චන්ද්‍රයාටය. එසේත් නැතිනම් යුරෝපා උප ග්‍රහයාටය. මෙම නව වසරේ ඇමෙරිකාවේ නාසා ආයතනය, යුරෝපා චන්ද්‍රයා ගවේෂණයට රොබෝ යානයක් යැවීමට නියමිතය. නාසා විද්‍යාඥයන්, එම මෙහෙයුම නම් කර තිබෙන්නේ, යුරෝපා ක්ලිපර් Europa Clipper යනුවෙනි.
බෘහස්පති අප සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ග්‍රහයා පමණක් නොවෙයි; බෘහස්පති වායුවලින් සැදුම්ලත් ග්‍රහයෙකි. 80 ත් 95 ත් අතර චන්ද්‍රයන් එසේත් නැතිනම් උප ග්‍රහයන් සංඛ්‍යාවක් බෘහස්පති සතුය. චන්ද්‍රයන් ගණන නිවැරදිව ගණනය කිරීම අසීරු කටයුත්තක් වී ඇත්තේ, බෘහස්පති වටේට කුඩා ප්‍රමාණයේ ග්‍රහක වැනි ග්‍රහ වස්තූන් විශාල ගණනක් පැවැතීම නිසාය. දැනට හඳුනාගෙන ඇති බෘහස්පතිගේ උප ග්‍රහයන් අතරේ, එක් විශේෂ උප ග්‍රහයන් එසේත් නැතිනම් චන්ද්‍රයන් පද්ධතියකි. මේ චන්ද්‍රයන් පද්ධතිය නම් කර ඇත්තේ ගැලීලී චන්ද්‍රයන් Galilean moons යනුවෙනි. ඒ, මෙම චන්ද්‍රයන්, 1610 වසරේ දී මුලින්ම නිරීක්ෂණය කරමින් සොයා ගත්තේ තාරකා විද්‍යාඥ ගැලීලියෝ ගැලීලී නිසාය. ගැලීලීයෝගේ චන්ද්‍රයන් Galilean moons පද්ධතියට චන්ද්‍රයන් සිවු දෙනකු අයත් වෙයි. ආයෝ Io, යුරෝපා Europa, ගැනිමේඩ් Ganymede සහ කැලිස්ටෝ Callisto යනු එම සිවු දෙනාය.
ගැලීලීයෝගේ චන්ද්‍රයන් සිවුදෙනා අතරින් යුරෝපා Europa චන්ද්‍රයාගේ විශේෂත්වය වන්නේ, යුරෝපාට අති විශාල ජල සංචිතයක් තිබීමය. යුරෝපා චන්ද්‍රයාගේ මතුපිට පෘෂ්ඨයේ සිට කිලෝ මීටර් 15 ක් හෝ 20 ක් ගැඹුරට යද්දී, ඝනකම් අයිස් තට්ටුවක් ඇති බව විද්‍යාඥයවන් තහවුරු කරගෙන අවසන්ය. ඊටත් යටින් ඇත්තේ ලවණ මුසුවුණු සාගරයකි. කරදිය සාගරයක් ඇතැයි කලින් කීවේ මේ ගැනය. කිලෝ මීටර් 60 ත් 150 ත් අතර ප්‍රමාණයක් මෙම කරදිය සාගරය ගැඹුරට විහිදෙයි. මෙහි ප්‍රමාණය, පෘථිවියේ සාගරවල ප්‍රමාණය මෙන් දෙගුණයක් බවත් පැවැසෙයි. නාසා ආයතනය, ඕෂන් මූන් Ocean Moon යන නමින් ද යුරෝපා චන්ද්‍රයා හඳුන්වන්නේ මේ නිසාය. බෘහස්පතිගේ ඇතැම් උපග්‍රහයන්, අප පෘථිවියේ චන්ද්‍රයාට වඩා විශාලත්වයෙන් වැඩිය. ඒත්, යුරෝපා අපේ චන්ද්‍රයාට වඩා විශාගත්වයෙන් අඩුය. පෘථිවියට සාපේක්ෂව බැලුවොත්, යුරෝපා චන්ද්‍රයා හතර ගුණයකින් පමණ විශාලත්වයෙන් අඩුය. ජිවය පැවැතීමට අවශ්‍ය සාධක සැලකිල්ලට ගනිද්දී, මෙතරම් විශාල ජල සංචිතයක් තිබීම යුරෝපා චන්ද්‍රයාට පමණක් සුවිශේෂී ලක්ෂණයකි.
ජීවය පැවැතීමට අවශ්‍ය පළමු සාධකය ලෙස සැලකෙන්නේ ජලයයි. ඒත් ජලය තිබුණාට පමණක් මදිය. ජීවය නිර්මාණයට අවශ්‍ය දෙවැනි සාධකය වන්නේ, ජීවය බිහිවීමට අවශ්‍ය මූලද්‍රව්‍ය තිබිය යුතුය. කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්, ඔක්සිජන්, පොස්පරස්, සල්ෆර් ආදිය තිබිය යුතුය. විද්‍යාඥයන් සොයාගෙන ඇති අන්දමට, මෙම රසායනික සංයෝග, යුරෝලා චන්ද්‍රයාගේ කරදිය ජලයේ එසේත් නැතිනම් සාගර ජලයේ අඩංගු වෙයි. ජීවය නිර්මාණයට අවශ්‍ය තෙවැනි සාධකය වන්නේ, ශක්තිය අවශ්‍ය වෙයි. පෘථිවියේ ජීවය ආරම්භ වීමට ශක්තිය එසේත් නැතිනම් බලය ලැබෙන්නේ සූර්යයාගෙනි. ඒත් බෘහස්පති සිටින්නේ සූර්යයාට බොහෝ ඈතිනි. කිලෝ මීටර් මිලියන 778 ක් පමණ ඈතිනි. එහෙයින් බෘහස්පති සහ බෘහස්පතිගේ චන්ද්‍රයන් සිටින්නේ, අඳුරු කලාපයකය. ඒ අනුව, මෙවැනි අඳුරු කලාපයක ග්‍රහලෝකයක හෝ චන්ද්‍රයකුගේ හෝ ප්‍රභාසංස්ලේෂණ ක්‍රියාවලියක් හට ගැනීමට තරම් හිරුගේ ශක්තිය ලැබීමක් සිදු වන්නේ නැහැ. ඒත් රසානික ප්‍රතික්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස ශක්ති ප්‍රභවයක් නිර්මාණය විය හැකි බව විද්‍යාඥයෝ පැහැදිලි කරති.
යුරෝපා චන්ද්‍රයා මත භූ පිහිටීම කෙරෙහි විද්‍යාඥයන්ගේ උනන්දුව යොමු වී තිබේ. මේ භූ පිහිටීම්වල ඇති විශේෂත්වය වන්නේ, සාගරයේ ඇතිවන තාප ධාරා යැයි සිතිය හැකි ආකාරයේ ශක්ති ධාරා පහළ ස්ථර හරහා මතුපිටට පැමිණීමය. මතුපිට ස්ථරවල අයිස් තට්ටුවල වෙනස්කම් හඳුනා ගැනීමෙන් පසුවයි විද්‍යාඥයන් මේ බව තහවුරු කරගෙන ඇත්තේ. කෙසේ නමුත් මේ තාප ධාරා සම්බන්ධයෙන් ඒවා නිර්මාණය වන ආකාරය සම්බන්ධයෙන් තවමත් සියයට 100 ක් පැහැදිලි අවබෝධයක් විද්‍යාඥයන්ට ලැබී නැහැ. භූමි කම්පා හට ගැනීමෙන් පසු අභ්‍යන්තරයෙන් තාප ධාරා හට ගැනීමක් සිදුවන්නේ නම්, අභ්‍යන්තරයේ ඇති කරදිය සාගරයේ ජීවය බිහි කිරීමට හේතු සාධකයක් විය හැකිය. ඒ නිසා යුරෝපා චන්ද්‍රයාගේ සාගරයේ ජීවය බිහිවෙන්න හෝ දැනටමත් ජීවීන් (ක්ෂුද්‍ර ජීවීන්) සිටිනවා වෙන්නත් පුළුවනි.
යුරෝපා ක්ලිපර් මෙහෙයුම නාසා ආයතනයේ තවත් වික්‍රමයක් වනු නොඅනුමානය. කක්ෂීය රොබෝ ගවේෂණ යානයක් මෙම මෙහෙයුමට යොදා ගැනෙයි. මෙම 2024 නව වසරේ, ඔක්තෝබර් මාසයේ දී යුරෝපා ක්ලිපර් රොබෝ ගවේෂණ යානය පෘථිවියෙන් පිටත්වනු ඇත. යුරෝපා ක්ලිපර් කක්ෂීය යානයේ අරමුණ, අවස්ථා ගණනාවකදී බෘහස්පති අසලින් ගමන් කරමින්, බෘහස්පතිගේ ගැලීලීයානු චන්ද්‍රයා වන යුරෝපා ගවේෂණයයි. 1995 සිට 2003 තෙක් වසර අටක කාලයක් බෘහස්පති සහ චන්ද්‍රයන් ගවේෂණය කළේ ගැලීලියෝ රොබෝ යානයයි. ගැලීලියෝ ගවේෂණ කටයුතු අවසන් කළ තැන සිට යුරෝපා ක්ලිපර් ගවේෂණ යානය සිය මෙහෙයුම් ආරම්භ කරනු ඇතැයි නිසා විද්‍යාඥයෝ පෙන්වා දෙති.