කඩා වැටුණු වල්ගා තරු කැබැල්ල



මැයි 19 වැනිදා අලුයම, පෘතුගාලයට සහ ස්පාඤ්ඤයට ඉහළ අහසේ, දීප්තිමත් අබිරහස් වස්තුවක්, ආලෝකය විහිදුවමින්, ගමන් කරන්න විය. මිතුරු මිතුරියන් සමඟ විනෝද වෙමින්, සෙල්ෆි වීඩියෝවක් පටිගත කරමින් සිටි යුවතියකගේ හිසට ඉහළින් එම අද්භූත වස්තුව අහසේ ගමන් කළේය. යුවතිය පටිගත කළ වීඩියෝවේ දීප්තිමත් වස්තුව අඳුරු අහස ඒකාලෝක කරමින් ගමන් කරන ආකාරය පැහැදිලිව සටහන් විය. විදෙස් පුවත් ඔස්සේ එම වීඩියෝ දසුන් ලොව පුරා ප්‍රසිද්ධියටත් පත් විය. අබිරහස් ආලෝකය ගමන් කරන අයුරු දැක්වෙන තවත් වීඩියෝ රැසක් ද සමාජ මාධ්‍ය ඔස්සේ කරළියට පැමිණියේය. යුරෝපා රටවල් වන පෘතුගාලයට සහ ස්පාඤ්ඤයට ඉහළ අහසේ, මේ අයුරින්, නිල් මිශ්‍ර කොළ පැහැයෙන් ගමන් කළේ කුමක්ද? බොහෝ දෙනාට මෙය ප්‍රහේලිකාවක් විය.

බොහෝ දෙනාට මෙය ප්‍රහේලිකාවක් වුවත්, තාරකා විද්‍යාව ගැන දන්නා අයට හෝ තාරකා විද්‍යාඥයන්ට හෝ අරුමයක් නොවිණි. පෘතුගාලයට සහ ස්පාඤ්ඤයට ඉහළ අහසේ, දකින්න ලැබුණේ පෘථිවිය අසලින් ගමන් කළ වල්ගා තරුවකින් ගැලවී පෘථිවි වායු ගෝලයට විසිවුණු කුඩා පාෂාණ කැබැල්ලකි. මෙවැනි පාෂාණ කැබලි හැඳින්වෙන්නේ උල්කා යනුවෙනි. එසේ නම් අලුයම අහස දීප්තිමත් කළ ඒ වස්තුව උල්කා කැබැල්ලකි. මේ සියලු දේ පැහැදිලි කළේ‍ යුරෝපා අභ්‍යවකාශ ආයතනය European Space Agency (ESA) ය.

වල්ගා තරුවක් සූර්යයාට ආසන්න වෙද්දී, එහි ඇති අයිස් සහ දුවිලි අංශු සූර්යාලෝකය නිසා ගැලවී යෑම සිදුවෙයි. වල්ගා තරුවක වල්ගය වැනි කොටස දකින්න ලැබෙන්නේ එහෙයිනි. පෘථිවි කක්ෂය අසලින් වල්ගාතරුවක් එසේත් නැතිනම් ධූම කේතුවක් ගමන් කරද්දී, වල්ගා තරුවේ කැබලි තනි තනිව හෝ කැබලි කීපයක් ලෙස හෝ පෘථිවියට කඩා වැටෙයි. කැබලි බොහොමයක් කඩා වැටෙන්නේ නම් එය උල්කා වර්ෂාවකි. උල්කා සහ උල්කා වර්ෂා ලෙස හැඳින්වෙන  මේ කැබලි ඉතාමත් කුඩා ඒවාය.

පෘථිවි වායුගෝලයට ඇතුළු වී පහළට වැටෙන ඕනෑම දෙයක් අධික තාපය හේතුවෙන් දැවී විනාශ වී යයි. දීප්තිමත් ආලෝකයෙන් දකින්න ලැබෙන්නේ එම දැවී යෑමය.

යුරෝපා අභ්‍යවකාශ ආයතනයට නිකුත් කළ නිවේදනයකට අනුව, 19 වැනිදා අලුයම් කාලයේ පෘථිවි වායුගෝලයට එම උල්කාව ඇතුළු වූයේ පැයට සැතපුම් ලක්ෂයක වේගයකිනි. උල්කාව පොළවට පතිත වීමක් සිදු නොවී උඩු ගුවනේ දී විනාශ විය‍. ඒ, අත්ලාන්තික් සාගරයට කිලෝ මීටර් 60 ක් පමණ ඉහළ අහසේදීය. උල්කා පමණක් නොවෙයි, අභ්‍යවකාශයේ සිට පොළොවට පැමිණෙන අභ්‍යවකාශ යානා ද අධික තාපයට ලක් වී, ගිනි ගනී. අභ්‍යවකාශ යානා නිර්මාණය වන්නේ මෙම අධික උණුසුමින් ආරක්ෂා වීමටය. තාප පළිහ Heat Sheild එම යානාවලට යොදයි. වායු ගෝලයට ඇතුළු වී, විනාශ නොවී පහළට වැටෙන්නට නම්, එම උල්කාව ඉතාමත් විශාල කැබැල්ලක් විය යුතුය.

මැයි 19 වැනිදා, උල්කාව, අලුයම අහස දීප්තිමත් කළේ නිල් සහ කොළ පැහැති ලස්සන වර්ණවලිනි. උල්කාව නිල් සහ කොළ ආලේකය නිකුත් කිරීමට ද විශේෂ හේතුවක් ඇත. මේ සටහන සමඟ වර්ණ සටහනක් ද පළ වෙයි. ඒ, වල්ගා තරුවක කැල්සියම්, සෝඩියම්, අයන් (යකඩ), මැග්නීසියම්, ඔන්සිජන්, නයිට්‍රජන් ඇති විට, එම වල්ගා තරුවේ වර්ණය වෙනස් වන ආකාරය පැහැදිලි කරමිණි. මැයි 19 වැනිදා අලුයම් කාලයේ, පෘතුගාල සහ ස්පාඤ්ඤ අහස දීප්තිමත් වූයේ නිල් සහ කොළ මිශ්‍ර ආලෝකයක් නිකුත් කළ උල්කාවකි. ඒ අනුව, උල්කාව අයිති වල්ගා තරුව මැග්නීසියම්වලින් පිරුණු වල්ගා තරුවක් යැයි තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති.

ඩේලිමේල් ඇසුරිනි

 


RECOMMEND POSTS