එළුවන්ගේ ලේ බොන වුපකාබ්රා



‘යාල ජාතික වනෝද්‍යානයෙන් චිකිබිල්ලා හමුවුණා’ යනුවෙන් අමුතු විදියේ, අප්‍රසන්න පෙනුමින් යුත් කෙසඟ සතකුගේ ඡායාරූප පෙළක් ෆේස්බුක් හරහා ප්‍රසිද්ධියට පත් වූයේ ආන්දෝලනයක් ඇති කරමිණි. ‘ෆේස්බුක්’ හෙවත් මුහුණු පොතේ පළ වන සියල්ල සත්‍ය නොවන බව යළි පසක් කරමින්, ලොව පිළිගත් ‘ඒ.එෆ්.පී.’ පුවත් සේවය මේ සම්බන්ධයෙන් පුවතක් පළ කළේ ‘චිකිබිල්ලා’ යනුවෙන් සැබෑ සත්වකු නොමැති බව පැහිදිලි කරමිණි. මුහුණු පොතේ පළවුණු එම ඡායාරූපවල සිටින සත්වයා ‘චිකිබිල්ලා’ යන නමින් හැඳින්වෙන්නේ ඇයිදැයි පැහැදිලි නැත. එහෙත්, මෙම සත්වයාගේ පෙනුමට සමාන ගුප්ත සත්වයකු ගැන පෝටෝ රීකෝ රාජ්‍යයෙන්, ඇමෙරිකාවෙන් සහ මෙක්සිකෝවෙන් අසන්න ලැබෙයි. ඒ ගුප්ත සත්වයා ‘එල් චුපකාබ්රා’ ය. ‘එල් චුපකාබ්රා’ යනු එළුවන්ගෙන් ලේ බොන්නා යන අදහසය.

‘චුපකාබ්රා’ ගුප්ත සතෙකි. ගුප්ත සතුන් යනු සැබෑවක් ද නැද්ද යනුවෙන් ඔප්පු කළ නොහැකි , විද්‍යාවට ප්‍රහේලිකාවක් වූ සතුන්ය. උතුරු ඇමෙරිකාවේ වනාන්තරවල ජීවත් වන ‘බිග්ෆුට්’, හිමාලයේ හිම මිනිසා ‘යෙටී’, ස්කොට්ලන්තයේ ලොක් නෙස් විලේ ‘නෙසී’ ආදීන් ගුප්ත සතුන් අතර කැපී පෙනෙයි. ගුප්ත සතුන් සැබෑවක්දැයි ඔප්පු කිරීමට වෙහෙසන විද්‍යාඥයෝ ද වෙති. ගුප්ත සතුන් සම්බන්ධ විද්‍යාව ‘ක්‍රිප්ටෝ සූලොජි’ ය. ‘ක්‍රිප්ටෝ’ යනු ‘ගුප්ත’ යන අර්ථයය. ‘සූලොජි’ යනු සත්ව විද්‍යාවය. මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කරන විද්‍යාඥයන් ගුප්ත සත්ව විද්‍යාඥයන්ය. ‘චුපකාබ්රා’ විශේෂ දෙකක් ගැන විස්තර ඇත. ඒ දෙපයින් යා හැකි විරූපී පෙනුමැති කුඩා කුදු මනුෂ්‍යයකු වැනි ‘චුපකාබ්රා’ සහ යෝධ කෙසඟ බල්ලකු වැනි ‘චුපකාබ්රා’ ය. ‘චිකිබිල්ලා’ගේ පෙනුමට සමාන මෙම දෙවැනි විශේෂයයි. ඇතැමුන් විශ්වාස කරන අන්දමට, ‘චුපකාබ්රා’ පිටසක්වළ මනුෂ්‍ය දෙමුහුමකි, ඩයිනසෝරයෙකි, රහසිගත හමුදා පර්යේෂණයක අතුරු ඵලයකි. නැතිනම් සැබැවින්ම යක්ෂයාගේ අවතාරයකි.

‘එල් චුපකාබ්රා’ පිළිබඳ කතාව ආරම්භ වන්නේ පෝටෝ රීකෝ රාජ්‍යයෙනි. ඒ, 1995 වසර ය. පෝටෝ රීකෝ යනු ඇමෙරිකාවට අයත්, කැරීබියානු කුඩා දූපතකි. ඇමෙරිකාවට අයත් පාලන ප්‍රදේශයකි. පෝටෝ රීකෝ රාජ්‍යයේ කනවානාස් පළාතේ ගොවිපොලවල හරකුන් සහ එළුවන් වැනි ගොවිපොල සතුන් හිටිහැටියේ ඝාතනය වීමට පටන් ගැනුණි. ගොවිපොල හිමිකරුවන් උදෑසන බලද්දී ඔවුන්ට දකින්න ලැබුණේ හරකුන් සහ එළුවන් (වැඩිපුරම එළුවන්) මැරී වැටී සිටි අයුරුය. සතුන් මියගොස් සිටියේ සිරුරේ ලේ නොමැති නිසාය. සිරුරුවලින් ලේ ඉවත් වීමක් සිදුවී තිබුණි. මියගිය සතුන් හොඳින් පරීක්ෂා කරද්දී ඇතැම් සතුන්ගේ බෙල්ලේත්, උදරයේත් දත් පාරක් තිබෙනු දකින්න ලැබුණි. එය වැම්පයරයෙකු සපා කා ලේ උරා බීමක් වැනි යැයි රාවයක් පැතිරෙන්න පටන් ගත්තේය. මේ අයුරින් හරකුන් සහ එළුවන් වැනි ගොවිපොල සතුන් සිය ගණනක් 1995 වසර පුරා මිය යන්න විය. මෙය සත්‍ය සිදුවීමකි. ගොවිපොල හිමිකරුවන් අඳුරේ දුටු ඡායා අනුව, ගොවිපොළ සතුන්ට පහර දෙන සත්වයා ලෙස හඳුනා ගැණුනේ ‘එල් චුපකාබ්රා’ ය. ‘චුපකාබ්රා’ භීතියක් පැතිරෙන්න විය.

කනවානාස් පළාතේ ගැමියන්ට අනුව, ‘චුපකාබ්රා’ කුදු සිරුරක් සහිත අඩි 3 ක් හෝ 4 ක් උස මනුෂ්‍යයතුට සමාන දෙපයින් ගමන ගමන් කරන සතෙකි. වවුලකුට මෙන් තටු දෙකක් ඇති බව ඇතැම් වාර්තාවල සඳහන් වෙයි. අළු දුඹුරු පැහැති අප්‍රසන්න සිරුරේ පිට දිගේ සිට හිස දක්වා උල් කටු ඇත. සිරුර උරගයකුගේ මෙන් කොරපොතුවලින් සමන්විතය. ඇස් රතු පැහැතිය. චුපකාබ්රාට ඇත්තේ තියුනු නිය ඇති කුඩා අත් දෙකකි. දිගු පාද ඇති නිසා, වේගයෙන් ඈතට පැනීමට හැකිය. දිග දිවකි. 1995 වසරේ කනවානාස් ගැමියන් මෙම බිහිසුණු සත්වයා ලොකු තර්ජනයක් විය. ගොවිපොල සතුන් දිගින් දිගටම මියයෑම හේතුවෙන්, ගොවිපොල හිමිකරුවෝ බියටත් කස්සල්ලටත් පත්වූහ. ඉතිරි වූ ගොවිපොල සතුන් ආරක්ෂා කිරීමට අවි ගත් ආරක්ෂකයන් යෙදවිණි. කුඩා දරුවන් කිසිකුටවත් තනිපංගලමේ නිවසින් පිටතට යෑමට ඉඩ දුන්නේ නැත. දරුවන් පාසල් ගියේ ද වැඩිහිටියකුගේ ආරක්ෂාව සහිතවය. බියට පත්වුණු ඇතැම්හු තම තමන්ගේ ගම්බිම් අතහැර යන්න පටන් ගත්හ.

‘චුපකාබ්රා’ පිළිබඳ ඕපාදූප ටැබ්ලොයිඩ් සගරාවල පමණක් නොව, ප්‍රධාන පෙළේ ජාතික පුවත්පත්වල පවා පුවත් පළ වූයේ එම පුවත් කියවූවන් බියෙන් තැති ගන්වමිණි. ‘චුපකාබ්රා’ සැබෑවක් යැයි විශ්වාස කළ ඇතැම් සත්ව විද්‍යාඥයන් ‘චුපකාබ්රා’ ගැන උනන්දු වූයේ, ‘චුපකාබ්රා’ පරිණාමයේ වෙනස්කම් සහිතව බිහිවුණු සතකු විය හැකි යැයි කුතුහලයෙනි. ‘එල් චුපකාබ්රා’ මහ රෑ පැමිණ එළුවන්ගේ ලේ උරා බොන සතකු ලෙස ප්‍රකට විය. ‘චුපකාබ්රා’ අප ජනප්‍රවාදයේ කියැවෙන දෙනුන්ගෙන් කිරි බීමට පැමිණෙන ගොපළු යකා වැනිය. ඒත්, ‘චුපකාබ්රා’ බොන්නේ සතුන්ගේ රුධිරයයි.

1996 අප්‍රේල් වනවිට, ගොවිපොල සතුන් දහස් ගණනක් චුපකාබ්රාගේ ගොදුරක් වී අවසන්ය. මේ කාලයේ පෝටෝ රීකෝ රාජ්‍යයේ, ෆෝට් බූකැනන් හි රහස් ඇමෙරිකන් හමුදා කඳවුරක් විය. මෙම කඳවුර පිහිටියේ කනවානාස් පළාතේ කනවානාස් නගරයේ සිට මිනිත්තු 40 ක් පමණ ඈතිනි. චුපකාබ්රා යනු ෆෝට් බූකැනන් හමුදා කඳවුරෙන් පැන ගිය ‘හමුදා පර්යේෂණයක්’ යැයි සැකයක් ද මතුවිය. චුපකාබ්රාගේ කතාවට දේශපාලන මැදිහත් වීමක් සිදුවූයේත් මෙම කාලයේය. කනවානාස් නගරාධිපති හෝසේ රමෝන් සෝටෝ ජනතා ප්‍රසාදය ගැනීමේ අරමුණින්, ‘චුපකාබ්රා’ හුටපටයට මැදිහත් විය. නගරාධිපති රමෝන්, ‘චුපකාබ්රා’ දඩයම් කිරීමට කණ්ඩායමක් මෙහෙයවීය. ඒ සමඟ ‘චුපකාබ්රා’ සම්බන්ධයෙන්, නිව්යෝක් ටයිම්ස්, වොෂින්ටන් පෝස්ට් වැනි ඇමෙරිකාවේ ජාතික පුවත්පත් පුවත් පළ කරද්දී, රමෝන්, ලබා දුන් ප්‍රකාශ ද ඒවාට ඇතුළත් විය.

පෝටෝ රීකෝ රජය ද ‘චුපකාබ්රා’ සිද්ධියට මැදිහත් විය. ජනතාව සහ ඔවුන්ගේ ජීවනෝපායට චුපකාබ්රාගෙන් එල්ල වුණු තර්ජනවලටත් වඩා පෝටෝ රීකෝ රජය කනස්සල්ලට පත් වූයේ රටට පැමිණෙන සංචාරකයන් අඩු වේවි කියාය. ‘චුපකාබ්රා’ පිළිබඳ ඇත්ත නැත්ත සොයා බැලීමට සත්ව විද්‍යාඥයන් කණ්ඩායමක් කැඳවිණි. පෝටෝ රීකෝ වැසියන් ඇමෙරිකන් පුරවැසියන් ලෙස පිළිගැණුනත්, ඇමෙරිකානු නීතියට යටත් වුවත්, ඔවුන්ට ඇමෙරිකන් ජනාධිපතිවරණයකදී ඡන්ද බලය නැත. පෝටෝ රීකෝ වැසියන් ඔවුන්ගේම රටේ පිටස්තරයන් හා සමානය. මේ ගැටලු නිසාම චුපකාබ්රා ජනප්‍රිය සංස්කෘතියක් බවට පත් විය. සමහරුන්ට ‘චුපකාබ්රා’ යනු නපුරු වීරයෙක් විය. ඇමෙරිකාවෙන් කොන් වුණු පෝටෝ රීකෝ වැසියන්ගේ අනන්‍යතාව බවට පත් වූයේ චුපකාබ්රා ය. චුපකාබ්රාගේ රුවින් හැඩ ගැන්වුණු ටී ෂර්ට්, මග් ආදිය අතිශය ජනප්‍රිය විය. පෝටෝ රීකෝ වැසියන් එක්තරා ආකාරයකට චුපකාබ්රා යොදා ගනිමින් වෙළෙඳ ප්‍රචාරණ කටයුතු සිදු කළේය. චුපකාබ්රා නමින් පෝප් ගීත එළිදැක්විණි. ඊට අමතරව, කොක්ටේල් බීමක් ද නිර්මාණය කෙරුණි.

‘චිකිබිල්ලා’ යනුවෙන් නම් කළ සත්වයාට බෙහෙවින් සමාන පෙනුමක් ඇති චුපකාබ්රා විශේෂය කරළියට පැමිණියේ 2000 දශකයේය. විරූපී පෙනුමක් ඇති, කෙසඟ, ලෝම නොමැති සිරුරකට හිමි කම් කියන යෝධ බල්ලකු වැනි මෙම චුපකාබ්රා ගැන වාර්තා පළ වූයේ ඇමෙරිකාවේ දකුණු දිග ජනපදවලින් සහ ඇමෙරිකාවේ අසල්වැසියකු වන මෙක්සිකෝවෙනි. මේ සත්වයා, පෝටෝ රිකෝ චුපකාබ්රාට වඩා බෙහෙවින් බිහිසුණු ප්‍රචණ්ඩකාරී සත්වයකු බව පැවැසෙයි. පෝටෝ රිකෝ ගැන කිසිදු හෝඩුවාවක් ලැබී නැතත්, බල්ලකු වැනි චුපකාබ්රාගේ යැයි සැක කරන සිරුරු කීපයක් ම පසුගිය වසර කීපය පුරා විද්‍යාඥයන්ට හමු වී තිබේ. ඒ සිරුරු පරීක්ෂා කිරීමේ දී තහවුරු වී ඇත්තේ ඒවා අසාමාන්‍ය සතකුගේ සිරුරු නොව බල්ලන් හෝ කයෝටි නරියන්ගේ සිරුරු බවය. එම සිරුරු චුපකාබ්රාවකුගේ පෙනුම ගෙන තිබුණේ, ජාන විකෘතිතා සහ කුෂ්ඨ රෝගී තත්ත්වයන් නිසා බව ද විද්‍යාඥයන් විසින් තහවුරු කරනු ලැබුණි.  

නැෂනල් ජියෝග්‍රැපි ඇසුරිනි


RECOMMEND POSTS