ඉන්දිරාගේ සිංහල පෙම්වතා



ආදරය සුන්දරය. ආදරයට සීමා බන්ධන නැත. ජාති, කුල, ආගම් භේද නැත. ආදරයට භාෂාව ගැටලුවක් වන්නේ නැත. ආදරයට දේශසීමා නැත.

ඒ, 1930 වසරය. ඉන්දියාව මෙන්ම ශ්‍රී ලංකාව ද බ්‍රිතාන්‍යයේ යටත් විජිත විය. නිදහස වෙනුවෙන් එහෙත් මෙහෙත් අරගල ආරම්භ වෙමින් පැවැතිණි. අධිරාජ්‍යවාදීන් ඉන්දියාවේත් ශ්‍රී ලංකාවේත් ආගම, සංස්කෘතිය සහ සිරිත් විරිත් යටපත් කරගෙන තිබුණි. ජාතිහිතෛෂි බවක් ඇති විය යුතු බව නිදහස් අරගලයට උර දුන් සියලු දෙනාගේ එකම අදහස විය. බ්‍රිතාන්‍යන් විනාශ කළ දේශීය සංස්කෘතිය, සිරිත් විරිත් සහ කලාව නැවතත් ජනතාවට හුරු කිරීම කළ යුතු යැයි ඒකමතිකව තීරණය කෙරුණි. රවීන්ද්‍රනාත් තාගෝර්තුමා ඉන්දියාවේ ශාන්ති නිකේතනය ආරම්භ කළේ ඒ අනුවය.

ශ්‍රී ජවහර්ලාල් නේරුතුමා සංගීතයට ප්‍රිය කළ තැනැත්තෙකි. ඇගේ දියණිය ද එසේමය. දියණිය සංගීතයට පමණක් නොව නර්තනයට ද උනන්දුවක් දැක්වූ නිසා, ඇය සංගීතඥවරියක වනු දැකීම නේරුගේ කැමත්ත විය. ඒ අනුව, නේරු, සිය දියණිය ශාන්ති නිකේතනයට ඇතුළු කළේය. 16 හැවිරිදි ඉන්දිරා ප්‍රියදර්ශනී නේරු දැකුම්කලු රූමත් නව යුවතියක වූවාය.

ශාන්ති නිකේතනය, ඉන්දීය මෙන්ම ශ්‍රී ලාංකික කලාකරුවන් බොහෝ දෙනකුට අධ්‍යාපනය ලබා දුන් මහ ගෙදර විය. ශ්‍රී ලංකාවේ බද්දේගම ප්‍රදේශයේ සිට, ශාන්ති නිකේතනයේ අධ්‍යාපනය හැදෑරීමට ගිය තරුණයෙක් වූයේ පසු කාලයක මෙරට දක්ෂ සංගීතඥයකු ලෙස ගෞරවාදරයට පත් ලයනල් එදිරිසිංහ නම් ඔහු කඩවසම් හාදයාය. ලයනල් එදිරිසිංහයන් කෙටි කලකින් හින්දි භාෂාව චතුර ලෙස හැසිරවිය හැකි, ශාන්ති නිකේතනයේ කැපී පෙනෙන සිසුවෙක් බවට පත් විය. ඔහුගේ කඩවසම් පෙනුමට නිකේතනයේ සිසුවියන් රැසකගේ සිත බැදුණු බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ සිසුවියන් අතරේ, ඉන්දිරා ප්‍රියදර්ශනී නේරු ද විය. ලයනල් තරුණයාගේ සිත ද ඇය ළඟ නතර විය. මිත්‍රත්වයකින් ඇරැඹි ෙහිතවත්කම, ප්‍රේම සම්බන්ධයක් තෙක් දුර දිග ගියේය. ලයනල් එදිරිසිංහයන්ගේ පෙම්වතිය වූයේ සාමාන්‍ය පවුලක කෙනෙක් නොව, ඉන්දියාවේ නිදහස් අරගලයේ දැවැන්තයකු වූ ජවහර්ලාල් නේරුගේ එකම දියණියයි. පසු කාලයක ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරිය බවට පත් වූ ඉන්දිරා ගාන්ධිය. ඉන්දියාවේ එකම අග්‍රාමාත්‍යවරිය බවට ද පත් වුණු ඉන්දිරා ගාන්ධිය.

ඉන්දිරා ලයනල් ප්‍රේම කතාව, නේරුතුමා දැනගත් විට, ඔහු ඊට තදින්ම විරෝධය පළ කළේය. තම විරෝධය ඔහු රවීන්ද්‍රනාත් තාගෝර් තුමාට ද ලිපියක් මගින් දැනුම් දුන්නේය. ශාන්ති නිකේතනයේ කුල මල භේද පසෙකලා සිසු සිසුවියන් ආරම්භ කර තිබූ පෙම් සබඳතා සියල්ලටම නිදහස සහ ආශිර්වාදය දුන් රවීන්ද්‍රනාත් තාගෝර් තුමන්, නේරුගේ ලිපියට පිළිතුරු නොදුන්නේය. නේරුගේ කෝපයට එය හේතුවක් විය. දියණියගේ ප්‍රේම සම්බන්ධයට නේරු‌ගේ බිරිඳ සහ ඇගේ මව වූ කමලා නේරු විරුද්ධ වූයේ නැත. නේරු තුමන්, ලයනල් එදිරිසිංහයන්ගේ පියා වූ ගිල්බට් රාළහාමිට ලිපියක් යවමින්, ඉන්දිරා ලයනල් ප්‍රේම කතාවට විරෝධය පළ කළේය. ගිල්බට් රාළහාමි සිය පුතුට අවවාද කර ඇත්තේ ඔහු විවාහ විය යුත්තේ ලාංකික තරුණියක සමඟ පමණක් බවය. එසේ වුවත්, තම කුළුදුල් ප්‍රේමය අත් හැරීමට ලයනල් එදිරිසිංහයන් කැමැති වූයේ නැත.

නිදහස් අරගලයේ උණුසුම් වෙද්දී, ජවහර්ලාල් නේරු දිගින් දිගටම බ්‍රිතාන්‍යයන්ගේ සිරභාරයට පත්විය. කමලා නේරු මහත්මිය ක්ෂය රෝගයට ලක් විය. ක්ෂය රෝගීන්ට යුරෝපා රටවල දේශගුණය ගුණදායක යැයි වෛද්‍යවරුන් නිර්දේශ කළ බැවින්, ඇය දකුණු ජර්මනියට රැගෙන යෑමට තීරණය කෙරුණි. මව වෙනුවෙන් කැපවුණු ඉන්දිරා, අධ්‍යාපනය අතරමඟ නතර කර, පෙම්වතා ලයනල්ගෙන් ද සමු ගත්තේ මව සමඟ දකුණු ජර්මනියට යමිනි. ඉන්දිරා ලයනල් ප්‍රේම කතාව දෙදරා යෑම ආරම්භ වූයේ එලෙසිනි.

මුල් කාලයේ ඉන්දිරා ලයනල්ට ලිපි එවූ නමුත් පසුව, මව සම්බන්ධයෙන් වගකීම් වැඩි වූ බැවින්, ලයනල් එදිරිසිංහයන්ට දිගටම ලිපි යැවීම ඉන්දිරාට ගැටලුවක් වී ඇත. කමලා නේරුගේ සෞඛ්‍යය යහපත් අතට හැරුණි. ඉන්දිරා නැවත මව සමඟ ඉන්දියාවට පැමිණියාය. ඉන්දියාවට පැමිණීමෙන් පසු කමලා නේරුගේ සෞඛ්‍යය යළි අයහපත් විය. වෛද්‍යවරුන් දුන් උපදෙස් අනුව, ඉන්දිරාගේ මව වූ කමලා මහත්මිය වැඩිදුර ප්‍රතිකාර සඳහා ස්විට්සර්ලන්තය වෙත රැගෙන යන ලදී. ඒ වනවිටත්, නේරුතුමා සිටියේ සිරභාරයේය. කමලා නේරු මහත්මියගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතර හැරුනේ නැත. පසුව විශේෂ අවසරයක් සහිතව ජවහර්ලාල් නේරුතුමා සිය බිරිඳ බැලීමට ස්විට්සර්ලන්තයට ගියේය. එහිදී සිය ස්වාමියාගේ තුරුලේ කමලා නේරු අවසන් සුසුම් හෙළුවාය. ඉන්පසු, ඉන්දිරාගේ සියලු වගකීම් ජවහර්ලාල් නේරුතුමන්ට දැරීමට සිදුවිය. පියාගේ වචනයට අවනත වුණු ඉන්දිරා ඉතා සංවේගයෙන් සිය පෙම්වතා අමතක කිරීමට තීරණය කළාය.

ඇගේ අධ්‍යාපනය කටයුතු අතරමග නතර වූ නිසා ජවහර්ලාල් නේරුතුමා ඇයව ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත් කළේය. එහිදී ඉන්දිරාට, ෆෙරෝස් ගාන්ධි නමැති තරුණයා හමුවිය. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය කටයුතුවලදී ඇයට බොහෝ සෙයින් උදවු කළේ ෆෙරෝස් ගාන්ධි ය. (මහත්මා ගාන්ධි සහ ෆෙරෝස් ගාන්ධි අතරේ කිසිදු සම්බන්ධයක් නැත.) ඉන්දිරා සහ ෆෙරෝස් ගාන්ධි ආදර කතාව ආරම්භ වූයේ ඉන් අනතුරුවය. දෙදෙනා අතරේ නොගැළපීම් තිබුණ ද පියාගේ කැමැත්ත සහ ආශිර්වාදය මැද දෙදෙනා විවාහ විය.

ඉන්දියාවට මෙන්ම ශ්‍රී ලංකාවටද බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලැබුණු පසු ජවහර්ලාල් නේරුතුමා ඉන්දියාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා බවට පත් විය. යළි ඉන්දියාවට ආ ඉන්දිරා ගාන්ධි මහත්මියට පසුව එදිරිසිංහයන් හමුවිය. ඒ වනවිට ඔහු ද විවාහ වී සිටියේය. එපමණක් නොව, ලයනල් එදිරිසිංහයන් සංගීත විශාරද උපාධිය හිමිකරගත් පළමු ශ්‍රී ලාංකිකයා බවට ද පත් වී සිටියේය. හේවුඩ් කලා විද්‍යාලයේ පළමු විදුහල්පතිවරයා ද ලයනල් එදිරිසිංහයන්ය. ඉන්දිරා ගාන්ධි, පළමුවෙන් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ 1966 වසරේදීය. ඒ නේරුතුමන්ගෙන් පසුවය. ඉන්දිරා ගාන්ධි මහත්මිය ඉන්දියාවේ පළමු අග්‍රාමාත්‍යවරිය වූ අතර ලෝකයේ පළමු අග්‍රාමාත්‍යවරිය ලෙස එම ගෞරවය දිනා ගත්තේ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය බව ද සිහිපත් කළ යුතුය.

ලයනල් එදිරිසිංහ මහතා, ඔහුගේ ප්‍රථම ප්‍රේමය සිහිවීමට සිය දියණියට ඉන්දිරා යන නම තැබුවේය. ලයනල් එදිරිසිංහයන් සහ පවුලේ අයට ඉන්දියාවේ පදිංචියට එන්නැයි ඉන්දිරා ගාන්ධි මහත්මිය ඉල්ලා සිටිය ද ලයනල් එදිරිසිංහයන් ඊට කන් දුන්නේ නැත. ලයනල් එදිරිසිංහයන් පසුකාලීනව හදවත් රෝගියකු බවට විය. ඒ බව සැලවුණු සැණින්, ඉන්දිරා ගාන්ධි මහත්මිය, මෙරට ඉන්දීය මහකොමසාරිස් මාර්ගයෙන් ලයනල් එදිරිසිංහයන් ඉන්දියාවට ගෙන්වා ගැනීමට උත්සාහ කළේය. කෙසේ නමුත් එදිරිසිංහයන්ගේ රෝගී තත්ත්වය හේතුවෙන් ඔහුට ගුවන් ගමන් හිතකර නොවන බව වෛද්‍යවරු පෙන්වා දුන්හ. ශෝකයට පත් ඉන්දිරා ගාන්ධි මහත්මිය, ලයනල් මහතාගේ රෝගී තත්ත්වය පිළිබඳ සොයා බලා තමාට දිගින් දිගටම දැනුවත් කරන ලෙස ඉන්දීය මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටියේය. ඉන්දිරා ගාන්ධි මහත්මිය රෝගී වූ ලයනල් එදිරිසිංහයන්ට ලිපියක් සහ මල් කළඹක් ද එවූ බව පැවැසෙයි.

ලයනල් එදිරිසිංහයන් දැඩි ලෙස රෝගාතුර වී, ලෙඩ ඇදේ සිටිද්දී, 1984 ඔක්තෝබර් මස 31 වැනිදා සීක් ජාතික ආරක්ෂක නිලධාරීන්ගේ වෙඩි පහරින් ඉන්දිරා ගාන්ධි අග්‍රාමාත්‍යතුමිය ඝාතනය විය. එය ඉන්දියාව, ශ්‍රී ලංකාව පමණක් නොව, මුළු මහත් ලෝකයම කැලැඹූ, කම්පනයට පත් කළා වූ සිදුවීමක් විය. කෙසේ නමුත්, 1988 වසරේ දී ලයනල් එදිරිසිංහය මහතා මියයන තුරුම, ඔහුට නොදන්වා සිටීමට ඔහුගේ පවුලේ උදවිය කටයුතු කළ බව පැවැසෙයි. ඉන්දිරා ගාන්ධි මහත්මියගේ ඝාතනයත් සමඟ රජිව් ගාන්ධි ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත් විය. ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමට බල කළේ ද අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධිය. සෝනියා ගාන්ධිගේ සැමියා මෙන්ම රාහුල් සහ ප්‍රියංකාගේ පියා ද වන රජිව් ගාන්ධි, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බයකට බිලි වූයේ 1991 මැයි 21 වැනිදාය. එදා ඉන්දිරා - ලයනල් ප්‍රේම කතාව මල්ඵල ගත්තේ නම්, අද බොහෝ දේ වෙනස් වන්නට ඉඩ තිබුණා නොවේද?


RECOMMEND POSTS