ඇමසන් වනයේ උසම ගස



ඒ, 2019 වසරයි. බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක්, LIDAR නමැති ලේසර් තාක්ෂණය භාවිතයට ගනිමින්, කුඩා සැහැල්ලු ගුවන් යානයක ආධාරයෙන්, උතුරුදිග බ්‍රසීලයේ ‘ෆ්ලොරෙස්ටා එස්තාදූල් දෝ පාරෝ’ Floresta Esadual Do Paru වනාන්තර ප්‍රදේශය සිතියම්ගත කරන්න වූහ. 

‘ෆ්ලොරෙස්ටා එස්තාදූල් දෝ පාරෝ’ වනාන්තර ප්‍රදේශය, මහා ඇමසන් වැසි වනාන්තරයට අයත් කොටසක් වන අතර මිනිස් පහසින් තොර වනාන්තර කලාපයකි. ‘වනාන්තරයේ සෑම අස්සක් මුල්ලක්ම හොඳින් ගවේෂණයට ලක් වෙද්දී, පර්යේෂණ කණ්ඩායමට ‘එය’ හමුවිය. එය, ඇමසන් වනාන්තරයේ උසම ගස ය. ලොකුම ගස නොවෙයි; උසම ගසය. සියලු වැඩ නවත්වා, 2019 වසරේ ම එම ගස බැලීමට මහ වන මැදට යෑමට පර්යේෂකයන් සූදානම් වුවත්, එය ඔවුන් සිතූ තරම් පහසු කටයුත්තක් නොවිණි. කෙසේ නමුත් වසර තුනකට පසු පසුගියදා, දීර්ඝ මෙන්ම වෙහෙසකර ගමනකින් සහ ගවේෂණයකින් පසු කේම්බ්‍රිජ් පර්යේෂකයෝ කණ්ඩායම ඇමසන් වනාන්තරයේ උසම ගස වෙත ළං වූහ.

ඇමසන් වැසි වනාන්තරයේ උසම ගස ලෙස පර්යේෂකයන් හඳුනාගෙන ඇත්තේ ‘ඩින්සියා එක්සෙල්සායිස්’ Dinizia Execlsais ගසකි. උසම ගස ලෙස හඳුනාගත් මෙම ‘ඩින්සියා එක්සෙල්සායිස්’ ගසේ උස අඩි 290 (මීටර් 88.5) කි. ගසේ වට ප්‍රමාණය අඩි 32 (මීටර් 9.9) කි. ‘ඩින්සියා එක්සෙල්සායිස්’ ඇමසන් වැසි වනාන්තරයේ බහුලව දකින්න ලැබෙන ගස් වර්ගයකි. ඇමසන් වැසි වනානතරයෙන් වැඩි ප්‍රමාණයක් ජලයෙන් යටවී පවතී. ‘ඩින්සියා එක්සෙල්සායිස්’ ගස් දකින්න ලැබෙන්නේ, ජලයෙන් යට නොවන ඇමසන් වැසි වනාන්තර ප්‍රදේශවලය.

‘ඩින්සියා එක්සෙල්සායිස්’ ගස්, දැව සඳහා කැපීම සිදු වෙයි. උතුරුදිග බ්‍රසීලයේ, ඇමසන් වැසි වනාන්තරයට අයත් ප්‍රදේශවල මිනිස් ක්‍රියාකාරකම් අවම බැවින්, ‘ඩින්සියා එක්සෙල්සායිස්’ ගස් වැඩි වැඩියෙන් දකින්න ලැබේ. පර්යේෂකයන්ට ලොව උසම ‘ඩින්සියා එක්සෙල්සායිස්’ ගස හමුවී ඇත්තේ ඇමසන් මහා ගංගාව හා සම්බන්ධ වන ජාරී නදිය අසලිනි.

වසර තුනක් තිස්සේ සැලැසුම් කිරීමෙන් පසු, ගවේෂණ පහකින් සහ සති දෙකක් තිස්සේ ඝන වනාන්තරය හරහා පයින් ගිය ගමනකින් පසු පර්යේෂණ කණ්ඩායම උසම ගස අසලට පැමිණියේය. ජාරි නදිය දිගේ සැතපුම් 300 ක දුරක් පයින් ගමන් කිරීමට ඔවුන්ට සිදුවිය. ඉන්පසු කිසිදු මනුෂ්‍යයකු මින් පෙර පය නොතැබූ වන අඩවියකට පිවිසි ඔවුන් තවත් සැතපුම් 25 ක් පයින් ගමන් කරන්න විය. කණ්ඩායම ගස අසලට‌ පැමිණියේ එලෙසිනි.

2019 සැහැල්ලු ගුවන් යානයේ ආධාරයෙන්, LIDAR නමැති ලේසර් තාක්ෂණය භාවිතයට ගනිමින්, ත්‍රීමාණ ආකාරයට වනාන්තරය සිතියම්ගත කිරීමට කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ ශාක පිළිබඳ මහාචාර්ය ටෝබි ජැක්සන් දායක විය. ඒත්, ගස සොයා ගස ඇති ස්ථානයට ගිය ගමනට ටෝබි ජැක්සන් සහභාගී වූයේ නැත. කෙසේ නමුත් සිතියම්ගත කිරීමට දායක වුණු මහාචාර්ය ඒරික් ගෝගන්ස් සහ බ්‍රසීලයේ ‌ෆෙඩරල් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඒරික් ගෝර්ජන්ස් ගස සොයා ගිය ගවේෂණයට එක් විය.

ඇමසන් වැසි වනාන්තරයේ මෙන්ම ඇමසන් වැසි වනාන්තරය අයත් ලතින් ඇමෙරිකා කලාපයේ උසම ගස ‘ඩින්සියා එක්සෙල්සායිස්’ වුවත්, ලෝකයේ උසම ගස ‘ඩින්සියා එක්සෙල්සායිස්’ නොවෙයි. ‌ලෝකයේ උසම ගස් විශේෂ අතරින් අංක එක ස්ථානයේ පසුවන්නේ ඇමෙරිකාවේ ‘සෙකෝවා’ sequoia ගස්ය.

මෙම යෝධ ‌‘සෙකෝවා’ ගස් දකින්න ලැබෙන්නේ කැලි‌ෆෝනියා ප්‍රාන්තයේය. ලොව විශාලතම ගස ලෙස ගිනස් වාර්තා අතරට එක් වී තිබෙන්නේ, කැලි‌ෆෝනියාවේ සැකෝවා ජාතික වනරක්ෂිතයේ පිහිටි ‘ජෙනරල් ෂර්මන්’ General Sherman Tree යන නමින් හැඳින්වෙන ‘සෙකෝවා’ ගසය. මේ ගස වසර 2300 – 2700 ක් පමණ පැරණි වේ. මෙහි උස මීටර් 83.8 නොහොත් අඩි 275 ක් උසය. මේ ගස වීශ්කම්භය මීටර් 7.7 කි. ගසේ මුලු පරිමාව ඝන මීටර් 52,513 කි. වට ප්‍රමාණය මීටර් 31.3 නොහොත් අඩි 102.6 කි.

ඩේලිමේල්


RECOMMEND POSTS