අවසන් ගමන් ගිය මාලි
වරදක් නොකළ සිරකාරියක වූ මාලි අවසන් සුසුම් හෙළුවාය. මාලි කෙණෙරකි. ශ්‍රී ලංකාවෙන්, පිලිපීනයට දුන් වටිනා ත්‍යාගයකි. ලෝකයේ වනාන්තරවල අලි ඇතුන් දකින්න ලැබෙන්නේ අප්‍රිකා මහද්වීපයේත්, ආසියානු මහද්වීපයේත් රටවල් අතළොස්සක පමණි. පිලිපීනයේ අලි ඇතුන් නැත. එහෙයින්, එරට සිටි එකම හස්තියා මාලි විය. පසුගිය දශක හතරක කාලයේ, මැනිලා අගනුවර සත්වෝද්‍යානයේ, මාලි ජීවත් වූයේ යකඩ වැටකින් වට කළ කොටුවක් තුළය. සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන උපුටා දක්වමින්, විදෙස් මාධ්‍ය, මාලි හඳුන්වා දී තිබුණේ ‘ලොව වඩාත් දුකෙන් සිටින හස්තියා’ යනුවෙනි.
මාලිගේ සම්පූර්ණ නම විශ්වමාලිය. විකිපීඩියා වෙබ් අඩවියේ සඳහන් විස්තර අනුව, ඇය උපත ලබා ඇත්තේ 1974 දී ය. 1977 දී ඇගේ මව ස්වභාවික හේතූන් නිසා මියයෑමෙන් පසු, ඇය පින්නවල අලි අනාථාගාරයට ගෙනෙන ලදී. මාලි පිලිපීනයට තෑගි කිරීමට එවකට ශ්‍රී ලංකා රජය තීරණය කරද්දී ඇගේ වයස අවුරුදු 3 කි. කෙසේ නමුත්, බීබීසී වාර්තාවක දැක්වෙන්නේ පිලිපීනයට තෑගි කරද්දී මාලිගේ වයස අවුරුදු 11 ක් බවය. මාලි තෑගි කෙරුණේ, පිලිපීන ජනාධිපති ආර්යා ඉමෙල්ඩා මාකෝස්ටය. ඉමෙල්ඩා මාකෝස් යනු ලෝක ඉතිහාසයේ ආන්දෝලනාත්මක ජනාධිපතිවරයකු ලෙස සැලකෙන ෆර්ඩිනැන්ඩ් මාකෝස්ගේ බිරියයි. එපමණක් නොව, ඇය පිලිපීනයේ වත්මන් ජනාධිපති බොංබොං මාකෝස්ගේ මෑණියන්ය. විශේෂ ගුවන් ගමනකින්, පිලිපීනයට ගිය මාලි, පළමුවෙන් පිලිපීන ජනාධිපති මන්දිරයට රැගෙන යනු ලැබුණි. ඉමෙල්ඩා මාකෝස් ජනාධිපති ආර්යාව ඇය පිළිගැනීමෙන් අනතුරුව, ඇය විශේෂ රැකවරණ යටතේ මැනිලා අගනුවර පමාලි සත්වෝද්‍යානයට මාරු කෙරුණි.
විකිපීඩියා වෙබ් අඩවියට අනුව, සත්වෝද්‍යානයේ දී මාලිට, මිතුරියක මුණ ගැසුණි. ඒ තවත් ඇතින්නියකි. ඇගේ නම ෂීබා ය. එහෙත්, ෂීබා, මාලිට මිතුරියක නොවූවාය. සර්කස් කණ්ඩායමකට අයත් ඇතින්නියක වූ ෂීබා සත්වෝද්‍යානයට ගෙනෙන ලද්දේ, ඇය එම සර්කස් කණ්ඩායමෙන් බේරා ගැනීමෙන් පසුවය. සර්කස් කණ්ඩායමේ දී ෂීබා නොයකුත් අඩන්තේට්ටම්වලට ලක් වී සිටියාය. සත්වෝද්‍යානයට ගෙන ඒමෙන් පසු, ෂීබා ඇගේ කේන්තිය පිට කළේ මාලි හරහාය. මාලිට, ෂීබාගෙන් හිරිහැර එල්ල විය. ෂීබාගේ මරණින් පසු, සත්වෝද්‍යානයේ මාලි තනිවිය. බීබීසී වාර්තා අනුව, පිලිපීනයට තෑගි කරද්දී මාලිගේ වයස අවුරුදු 11 කි. සත්වෝද්‍යානයේ දී ඇයට මුහුණ ගැසුණේ ඇතින්නියක නොව, ෂිවා නමැති ඇතා ය. බීබීසී වාර්තා අනුව, ෂිවා මැනිලා සත්වෝද්‍යානයට රැගෙනවිත් ඇත්තේ 1977 දීය. ඔහු මියගොස් ඇත්තේ 1990 වසරේදීය.
කෙසේ නමුත් මාලි මුහුණ දුන් තනිකම, සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධානවල කනස්සල්ලට හේතුවක් විය. ඒ, අතර ‘පෙටා’ සංවිධානය ඉදිරියෙන් සිටී. ලොව වඩාත් දුකෙන් සිටින හස්තියා යන නාමය මාලි ට පටබැන්දේ ‘පෙටා’ සංවිධානයයි. ‘පෙටා’ සංවිධානය චෝදනා නගන්න වූයේ, මැනිලා සත්වෝද්‍යානයේ මාලි බලා ගන්නා ඇත්ගොව්වන් ඇතුළු කණ්ඩායම මාලි නිසි ලෙස රැක බලා නොගන්නා බවටය. ‘පෙටා’ සංවිධානය උත්සාහ ගත්තේ, මාලි තායිලන්තයේ අලි ඇතුන්ට පමණක් වෙන් කළ රක්ෂිතයකට යැවීමටය. එහෙත්, වසර ගණනාවක් කොටු වී සිටි මාලිට, වනාන්තරයේ තනිව ජීවිත් විය හැකිදැයි යන්න ප්‍රශ්නයක් විය. ඒ අනුව, 2018 දී තීරණය කෙරුණේ, මාලිට සුදුසුම ස්ථානය මැනිලා සත්වෝද්‍යානය බවය. අලි ඇතුන් යනු හුදෙකාලා සත්වයන් නොවෙයි. ඔවුන් සමාජශීලීය. බුද්ධිමත්ය. රංචුවක් වශයෙන් ජීවත් වීම ඔවුන්ගේ ජානමය ලක්ෂණයකි. අලියකුට හෝ ඇතකුට, විශේෂයෙන් ගැහැනු කෙණෙරකට හෝ ඇතින්නියකට කළ හැකි මහා අපරාධය නම්, එම සත්වයා වසර ගණනක් හුදෙකලා කර තැබීමය. සත්ව අයිතීන් වෙනුවෙන් හඩ නැගූ සංවිධාන පෙන්වා දෙන්න වූයේ මෙයයි.
මාලි දිවියෙන් සමුගත්තේ පසුගිය 28 වැනි අගහරුවාදාය. පසුගිය 24 වැනිදා මාලි, ඇය කොටු කර සිටි කූඩුවේ බිත්තියකට හිස ගසාගෙන සිටින අයුරු සහ හොඬවැල අතුල්ලා ගන්නා අයුරු දකින්න ලැබුණි. සත්වෝද්‍යානයේ ප්‍රධාන පශු වෛද්‍ය හෙන්රිච් පැටි්‍රක් ඒ සම්බන්ධයෙන් කනස්සල්ල පළ කළේය. පශු වෛද්‍යවරයා පසුව පැහැදිලි කළ අන්දමට, එදා මාලි සිටියේ දැඩි වේදනාවකිනි. වෛද්‍යවරයා ඇයට ‘ඇන්ටිහිස්ටමීන්’ ඖෂධ සහ විටමින් කීපයක් මාලිට නිර්දේශ කළේය. ඒත් ඇයගේ සෞඛ්‍ය තත්ත්වය සුව අතට හැරුණේ නැත. 28 වැනිදා සවස 3.45 මාලි දිවියට සමුදුන්නාය. මරණ පරීක්ෂණයේ දී හෙලි වූයේ ඇය පිළිකා රෝගී තත්ත්වයකින් පීඩා විඳි බවය. මාලිගේ මරණයට හේතුව පිළිකාව වර්ධනය වී හදවත නතර වීමෙන් බව තහවුරු විය.
මාලිගේ අභාවය පළමුවෙන් දැනුම් දුන්නේ මැනිලා අගනුවර නගරාධිපතිනී හනී ලසූනා ය. තමන් ද කුඩා කළ මැනිලා සත්වෝද්‍යානයට යන්නේ මාලි දැක ගැනීමට බවත් ඇගේ අභාවය සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස ශෝකයට පත් වුණු බවත් නගරාධිපතිනිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් පළ කළාය. මාලිගේ අභාවයෙන් පසු, මාධ්‍ය හමුවක් පැවැත් වූ අවස්ථාවේදී, නගරාධිපතිනිය සංවේදී වූවාය. ඇය කතා කළේ ඉතා හැඟීම්බරවය.
“ඇත්ත. මාලි සිටියේ තනිවම. ඇය හුදෙකලා ඇතින්නියක බව පෙනුනත් ඒක එහෙම නැහැ. සත්වෝද්‍යානය ඇය හොඳින් රැක බලා ගත්තා. ඇගේ තනියට අප කවුරුත් සිටියා. අප ඇය අපට හැකි උපරිමයෙන් සතුටු කළා. මැනිලා සත්වෝද්‍යානයේ ප්‍රධාන ආකර්ෂණය වූයේ ඇයයි. මැනිලා සත්වෝද්‍යානය නැරැඹීමට කවුරුන් හෝ ආවත්, ඔවුන් ආවේ මාලි දැක ගැනීමටයි. ඇය අපේ කොටසක්. අපට කවදාවත් ඇය අමතක කරන්න බැහැ. ඇගේ අඩුව පුරවන්න බැහැ.” යැයි මාධ්‍ය හමුවේ දී නගරාධිපතිනිය පැවැසුවේ දුක සිරකර ගනිමිනි. ශ්‍රී ලංකාවෙන් තවත් හස්තියකු තෑගි වශයෙන් ගෙන්වා ගන්නවාදැයි මාධ්‍යවේදියකු එම අවස්ථාවේදී පිලිපීන නගරාධිපතිනියගෙන් විමසුවාය. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයෙන් විමසා බැලීමක් කරනවා යැයි නගරාධිපතිනිය පිළිතුරු දුන්නාය.
පිලිපීනයේ මාලි පමණක් නොවෙයි, ඇමරිකාවේ ජයතු, කැනඩාවේ ලුසී, පාකිස්තානයේ සහේලි සහ කාවන් ආදී සියලු දෙනා, කිසිදු පෙර හෝ පසු විපරමකින් තොරව රාජතාන්ත්‍රික පරිත්‍යාග ලෙස ශ්‍රී ලංකාවෙන් එම රටවලට ගිය තෑගි භාණ්ඩය. ශ්‍රී ලංකාවේ අපට අප රටේ අලි ඇතුන් රැක බලා ගැනීමට නොහැකි තත්ත්වයක් පවතිද්දී, අප විදේශවලට යැවූ රාජ්‍ය තාන්ත්‍රික තෑගි භාණ්ඩ ගැන කුමන කතාද? ඉන්දියාව සහ තායිලන්තය ඔවුන්ගේ ඇතුන් විදේශ රටවලට රාජතාන්ත්‍රික තිළිණ වශයෙන් ලබා දීම තහනම් කර තිබේ. ඒ, එම රටවල අලි ඇතුන්ගේ වටිනාකම ඔවුන් වටහා ගෙන ඇති බැවිනි.
විදෙස් මාධ්‍ය ඇසුරිනි