අරගලකරුවන්ට නතුවුණු බංග්ලාදේශය



නොබෙල් ත්‍යාගලාභී 84 හැවිරිදි, මුහම්මද් යුනුස් බංගලාදේශයේ අන්තර්වාර රජයේ ප්‍රධානියා ලෙස දිවුරුම් දුන්නේ, රටේ ව්‍යවස්ථාව රකින බවටත්, ඊට සහයෝගය දෙන බවටත් සහ එය ආරක්ෂා කරන බවටත් ප්‍රතිඥා දෙමිනි. ඔහුගේ නව කැබිනට් මණ්ඩලය අමාත්‍යවරුන් 17 දෙනකුගෙන් සමන්විතය.

යුනුස් බංග්ලාදේශයේ අන්තර්වාර පාලකයා විය යුතු යැයි ඒකමතිකව තීරණය කළේ, දශක ගණනක් අග්‍රාමාත්‍ය ධුරයේ සිටි ෂෙයික් හසීනා අග්‍රාමාත්‍ය ධුරයෙන් නෙරපා දැමීමට අරගල කළ විශ්ව විද්‍යාල සිසුන්ය. නීතියට අතට ගත් එම ශිෂ්‍ය අරගලකරුවෝ, බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන්, හමුදා නායකයන් සාකච්ඡා කර, අන්තර්වාර රජයේ ප්‍රධානියා ලෙස මුහම්මද් යුනුස් පත් කර ගත්හ. එසේ වුවත් බංග්ලාදේශ අර්බුදය තවමත් අවසන් නැත.

පැයක් ඇතුළත සිය ධුරයෙන් ඉල්ලා අස්වෙන්නැයි ශිෂ්‍ය අරගලකරුවෝ කළ දැනුම්දීමට හිස නමමින් බංග්ලාදේශ අග විනිසුරු ඔබයිදුල් හසාන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කළේ ඊයේ (10) දිනයේය. ඒ, සිදුවීම් මාලාවකින් අනතුරුවය. නව අන්තර්වාර රජයේ උපදෙස් නොමැතිව අග විනිසුරු ඔබයිදුල් හසාන්, සෙසු විනිසුරුවන්ගේ සහභාගී කර ගනිමින්, රැස්වීමක් පවත්වා ඇති අතර, එය දැනගත් සැණින් ශිෂ්‍ය අරගලකරුවෝ කලබල වූහ. සිසුහු සියයකට වැඩි පිරිසක්, ඩකා අගනුවර ශ්‍රේෂ්ඨාධිකරණය වටලා සියලුම විනිසුරුවන්ට ඉල්ලා අස්වෙන ලෙස බල කරන්න වූහ. විරෝධතාකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය වටලද්දී, අග විනිසුරුවරයා එම ස්ථානයෙන් පලා ගොස් සැඟවුණේය. නව අන්තර්වාර රජයට එරෙහිව විනිසුරුවරුන් කුමන්ත්‍රණය කිරීමට සූදානම් වෙනවා යැයි නීතිය අතට ගත් ශිෂ්‍ය අරගලකරුවෝ ඊයේ (10) දිනයේ සූදානමින් සිටියහ. ඔබයිදුල් හසාන් ඉවත් කිරීමෙන් පසු නව අගවිනිසුරුවරයකු පත් කිරීමට ද අරගලකරුවෝ සූදානම් වෙති. ඒ අනුව, ව්‍යවස්ථාදායකය, විධායක තරුණ අරගලකරුවන්ට, එසේත් නැතිනම් ආවේගශීලී විශ්ව විද්‍යාල සිසුන් අතර පත් වීම තවත් බරපතළ අර්බුදයක පෙරනිමිතිය. මේ අතර, අගවිනිසුරුගේ ඉවත් වීමත් සමඟ, බංග්ලාදේශ මහ බැංකු අධිපතිවරයා ද සිය ඉල්ලා අස්වීම අන්තර්වාර රජයට ලබා දි ඇති නමුත් ශිෂ්‍ය අරගලකරුවෝ එම ඉල්ලා අස්වීම භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.

ෂෙයික් හසිනා ගෙදර යැවීමට හේතු වූ අරගලයට පන්නරය ලැබුණේ විරැකියාව පදනම් කරගත් තරුණ අසහනයයි. බංග්ලාදේශයේ තරුණයන්ගේ විරැකියාව, 2022 සංඛ්‍යාලේඛනවලට අනුව 12.54 කි. වසරකදී රජයේ පුරප්පාඩු වන තනතුරු 700 ක් සඳහා අයැදුම් කරන තරුණ තරුණියන්ගේ ගණන ලක්ෂ 6 ඉක්මවයි. විශ්ව විද්‍යාල සිසුන්ගේ මූලික ඉලක්කය, රජයේ රැකියා ලබා ගැනීමය. රජයේ රැකියා ලබාදීමේදි කෝටා ක්‍රමයක් අනුගමනය කිරීම බංග්ලාදේශය අතීතයේ පටන් අනුගමනය කළ ක්‍රමවේදයකි. 1971 දී බංග්ලාදේශයට නිදහස හිමිවිය. එතෙක් බංග්ලාදේශය හැඳින්වූයේ නැගෙනහිර පාකිස්තානය යනුවෙනි. බංග්ලාදේශය පාකිස්තානයේ කොටසක් වී තිබුණි. බංග්ලාදේශය නිදහස හිමිකර ගත්තේ මහා ලේ වැගිරීමකින් පසුවය.

1971 වසරේ දී නිදහස ලැබීමෙන් පසු බංග්ලාදේශයේ නායකත්වය පත්වූ ප්‍රථම අගමැති ෂෙයික් මුජිබර් රහ්මන්, (ෂෙයික් හසීනාගේ පියා) විසින් 1972 දී මෙම රැකියා කෝටා ක්‍රමය හදුන්වා දෙනු ලැබීය. මෙම කෝටා ක්‍රමය වරින්වර අභියෝගයට ලක්වුවද පාලක අවාමි ලීගය මෙය දිගටම පවත්වාගෙන ගියේය. මෙම ක්‍රමයේදී රජයේ රැකියා වලින් සියයට 44 ක් පළමු පන්තියේ සහ දෙවැනි පන්තියේ රැකියා ලෙස වෙන් කෙරුණි. ඉතිරි සියයට 56 බෙදී ගියේ, බංග්ලාදේශ නිදහස් සටනේ විරුවන්ගේ දරුමුණුබුරන්ට සියයට 30 ක් ලෙසත්, කාන්තාවන්ට සියයට 10 ක් ලෙසත්, පසුගාමී දිස්ත්‍රික්කවල ජනතාව සදහා සියයට 10 ක් ලෙසත්, සුළු ජාතිකයන් සදහා සියයට 10 ක් ලෙසත්, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සදහා සියයට 1 ක් ලෙසත්ය.

මතභේදය හටගෙන ඇත්තේ නිදහස් සටනේ විරුවන්ගේ දරුවන්ට ලබා දෙන කෝටාව මුල්කොට ගනිමිනි. එය අවාමි ලීගය තම ආධාරකරුවන්ට සැලකීම සදහා තබාගෙන සිටින වරප්‍රසාදයක් බව විපක්ෂ දේශපාලන කණ්ඩායම්, සිවිල් සංවිධාන පමණක් නොව, විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් ද චෝදනා නගන්න වූහ. විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් මූලිකත්වයෙන් කෝටා ක්‍රමයට විරුද්ධව රට පුරා විරෝධතා හටගත්තේ 2018 දීය. එම විරෝධතා පසුගියට මාස කීපයේ උත්සන්න වී, පුපුරා ගියේය. විරෝධතා සහ ප්‍රචණ්ඩ ක්‍රියා ඔඩුදුවද්දී මහාධිකරණය ඊට මැදිහත් විය. පසුගිය ජුනි 7 දා මහාධිකරණය තින්දු කළේ නිදහස් විරු කෝටාව යළි ප්‍රතිස්ථාපනය කිරීමටය. එසේ වුවත්, විරෝධතා අවසන් වූයේ නැත. මහා වියරුවක් වූ ශිෂ්‍ය අරගලය, අගමැතිනී ෂෙයික් හසීනාගේ නිල නිවසට කඩා වැදුණි. පාර්ලිමේන්තුවට කඩා වැදුණි. ෂෙයික් හසීනා අගමැති ධුරයෙන් නෙරපා, රටින් ද පන්නා දැමුණි.

එන්.ඩී.ටීවී ඇසුරිනි


RECOMMEND POSTS