අයිස් යෝධයාගේ වළලු



අප සෞරග්‍රහ මණ්ඩලයේ හිරුගේ සිට හත් වැනි ස්ථානයේ පිහිටන්නේ යුරේනස්ය. පසුගිය දා යුරේනස් ග්‍රහයා ඡායාරූපයට නගන්න නාසා ආයතනයේ ‘ජේම්ස් වෙබ්’ දුරේක්ෂය සමත් විය. මේ කියන්නේ ඒ ගැනය. සෞරග්‍රහ මණ්ඩලයේ වළලුවලින් සමන්විත ප්‍රකට ග්‍රහයා සෙනසුරුය. ඒත්, අයිස් යෝධයකු ලෙස සැලකෙන යුරේනස්ට ද වළලු ඇත. ඒවා සෙනසුරුගේ වළලු තරම් පැහැදිලි නැත. දීප්තිමත් නැත. එසේ වුවත්, ‘පෙනෙන නොපෙනන’ දීප්තියෙන් දිදුළන යුරේනස්ගේ වළලු දැක ගැනීමටත්, යුරේනස්ට අයත් චන්ද්‍රයන් 27 දෙනාගෙන් කීප දෙනකු පැහැදිලිව දැක ගැනීමටත් ‘ජේම්ස් වෙබ්’ දුරේක්ෂය සමත් විය.

යුරේනස්ට වළලු 13 කි. ජේම්ස් වෙබ් දුරේක්ෂයට හැකි වූයේ ඒවායින් වළලු 11 ක් පැහැදිලිව දැක ගැනීමටය. මේ සටහන සමඟ ඇත්තේ, දුරේක්ෂය නාසා විද්‍යාඥයන්ට එවූ එම ඡායාරූපයයි. ජේම්ස් වෙබ් දුරේක්ෂය දුටු වළලු 11, එක් දීප්තිමත් තනි වළල්ලක් ලෙස දිලිසෙන ආකාරය ඔබට පැහැදිලිව පෙනෙනු ඇත. දූවිලි අංශුවලින් නිර්මාණය වුණු යුරේනස් ග්‍රහයාගේ වළලු පළමුවෙන් ම පැහැදිලිව දකින්න ලැබුණේ 1986 වසරේදීය. ඒ, ‘වොයේජර් 2’ රොබෝ යානය යුරේනස් පසු කර යද්දීය. ජේම්ස් වෙබ් දුරේක්ෂය යුරේනස්ගේ වළලු අපට යළි දකින්න සැලැස්වූයේ 1986 වසරෙන් පසුවය. හරියටම කීවොත්, වසර 37 කට පෙරය. යුරේනස්ගේ ප්‍රධාන වළලු නිර්මාණය වී ඇත්තේ දූවිලි සහ අයිස් කැබැලිවලිනි. මේවා ප්‍රමාණයෙන් විශාලය. ඊට අමතරව, පාෂාණ කැබලි ද වළලුවල දකින්න ලැබේ. සෙනසුරුගේ වළලු මෙන් නොවෙයි; යුරේනස්ගේ වළලු තුනීය; අඳුරුය. ඒවා පෙනෙන නොපෙනන තත්ත්වයෙන් පවතින්නේ ඒ නිසාය. ජේම්ස් වෙබ් දුරේක්ෂය ලබා දුන් ඡායාරූපයේ යුරේනස්ට අයත් චන්ද්‍රයන් 27 දෙනා ම නැහැ. ප්‍රමාණයෙන් විශාල සහ දීප්තියෙන් වැඩි චන්ද්‍රයන් 6 දෙනකු පමණයි දකින්න ලැබෙන්නේ. සෙසු චන්ද්‍රයන්ගේ ප්‍රමාණය කුඩා වීමත්, දීප්තිමත් බව අඩුවීමත් නිසා ඒවා ඉක්මනින් හසු කරගන්න බැරි විය. මෙසේ කියන්නේ නාසා ආයතනයයි. ජේම්ස් වෙබ් දුරේක්ෂය, ඡායාරූපය ගෙන ඇත්තේ මිනිත්තු 12 ක් වැනි කෙටි කාලයක් පමණක් යුරේනස් ග්‍රහයා දෙස නෙත් හෙලමිනි. යුරේනස් ඡායාරූපයට නැගීම සිදුවූයේ දුරේක්ෂයේ NIRcam අධෝරක්ත කැමරාවෙනි.

අතීතයේ, අහසට නෙත් හෙලූ පැරැන්නන්ට, බුද, සිකුරු, අඟහරු, බෘහස්පති සහ සෙනසුරු යන ග්‍රහලෝක පැහැදිලිව දකින්න ලැබුණි. ඒත් ඒවාට ඈතින් තවත් දීප්තිමත් ග්‍රහලොවක් ඇති බව එදා කිසිවෙක් හෝ දැන සිටියේ නැහැ. ඒ ග්‍රහලොව යුරේනස්ය. හිරුගේ සිට ඉතා දුරින් පිහිටා ඇති බැවින්, නෙප්චූන් සීතල ග්‍රහලොවකි. යුරේනස් මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක රින 210 කට අඩුය. සූර්යාලෝකය පෘථිවියට පැමිණීමට ගතවන කාලය මිනිත්තු 8 කි. සූර්යාලෝකය යුරේනස් වෙත යෑමට ගතවන කාලය පැය 2.5 කි. යුරේනස්ගේ අයිස්වලින් සමන්විත වායුගෝලය හයිඩ්‍රජන් සහ හීලියම්වලින් නිර්මාණය වී තිබේ. පැයට කිලෝ මීටර් 600 කට වඩා වේගවත් සුළි කුණාටු පවතී. ඒවා පෘථිවියේ ප්‍රචණ්ඩ සුළි කුණාටුවලට වඩා 60 ගුණයකින් ප්‍රචණ්ඩය.

යුරේනස්ගේ සියලු චන්ද්‍රයන් නම් කර ඇත්තේ විලියම් ශේක්ස්පියර්ගේ නාට්‍යවල චරිත ඇසුරිනි. ප්‍රධාන චන්ද්‍රයන් වන්නේ ඒරියල්, උම්රියෙල්, ටයිටානියා, ඔබෙරොන් සහ මිරින්ඩාය. 1986 වසරේ ‘වොයේජර් 2’ රොබෝ යානය යුරේනස් පසුකර යද්දී කුඩා චන්ද්‍රයන් 10 දෙනකු සොයා ගැනීම සිදුවිය. පෘථිවියේ සිට යුරේනස් දැක ගැනීම පහසු නැත. යුරේනස් තරුවක් නොව, ග්‍රහලෝකයක් බව හඳුනා ගැනීම සිදුවූයේ 1781 වසරේදීය. යුරේනස් ග්‍රහයා සොයාගත්තේ තාරකා විද්‍යාඥ විලියම් හර්ෂල්ය.

හිරු සහ යුරේනස් අතරේ දුර කිලෝ මීටර් බිලියන 2 කි. එය පෘථිවිය සහ හිරු අතරේ දුර මෙන් 20 ගුණයක්. යුරේනස්ට තමන් වටේ ගොස් එක් යුරේනස් දවසක් සම්පූර්ණ කරන්න ගතවන කාලය පෘථිවි පැයවලින් නම් පැය 17 කි. සූර්යයා වටා ගොස් යුරේනස්ට වසරක් සම්පූර්ණ කිරීමට ගතවන කාලය අවුරුදු 84 කි. ඔබට මේ යුරේනස් ග්‍රහයාගේ උත්තරධ්‍රැවයට යන්න පුළුවන් නම්, එසේ කරන්න බැහැ. ඒත් පුළුවන් නම්, ඔබට හිරු දකින්න ලැබෙන්නේ අවුරුදු 42 කට පසුවය. අවුරුදු 42 ක දීර්ඝ රාත්‍රියක් සහ ඉන්පසු අවුරුදු 42 ක දීර්ඝ දිවා කාලයක ජීවත් වීමට සිදුවේවි.

මෙයට හේතුව යුරේනස් අංශක 99 ක් ඇලයට පිහිටීමය. සාමාන්‍යයෙන් අනෙක් ග්‍රහයන් හිරු වටේ යන්නේ තමන් වටා කැරැකෙමින්. ඒත් ඇලවීම නිසා යුරේනස් පෙරළි පෙරළි  හිරුවටා යන බවක් තමයි අපට පෙනෙන්නේ. ධ්‍රැව ප්‍රදේශ යොමු වී ඇත්තේ හිරු දෙසට සහ ඉවතටය. ඇලවීමට හේතුව යුරේනස් ග්‍රහයා නිර්මාණය වුණු මුල් කාලයේ සිදුවුණු හැල හැප්පීම් සහ ඝට්ටන. සිකුරු ග්‍රහයා සේම, යුරේනස් ද නැගෙනහිර සිට බටහිරට, සූර්යයා වටා ගමන් කරයි. සෙස ග්‍රහලෝක ගමන් කරන්න ඊට ප්‍රතිවිරුද්ධ දෙසටය. යුරේනස් අයිස් යෝධයා පෘථිවිය මෙන් 14  ගුණයක් විශාලය. පෘථිවි 63 ක් යුරේනස් ඇතුළේ ගබඩා කරන්න පුළුවනි. විෂ්කම්බය කිලෝ මීටර් 50,000 කි. යුරේනස්ගේ මෙම ඇලවී පිහිටීම නිසා යුරේනසගේ මෙතෙක් සොයාගෙන ඇති චන්ද්‍රයන් පිහිටා ඇත්තේ සිරස් ආකාරයටය. මෙය සුවිශේෂී දෙයකි. අනෙක් ග්‍රහලෝකවලට අයත් චන්ද්‍රයන් පිහිටා ඇත්තේ තිරස් අතටය.

යුරේනස්ගේ හරය පෘථිවිය තරම්ය. අයන් සහ මැග්නීසියම් සිලිකේට්වලින් නිර්මාණය වී ඇත. යුරේනස්ගෙන් සියයට 80 ක්, ජලය, ඇමෝනියා සහ මීතේන්වලින් නිර්මාණය වුණු අයිස් සාගරය. යුරේනස් දීප්තිමත් නිල් පැහැයක් ගන්නේ මේ නිසාය. අයිස් සාගර හේතුවෙන් උණුසුම පිටවීමක් සිදු කරන්නේ නැත. එහෙයින් යුරේනස් නමැති මේ අයිස් යෝධයා සෞරග්‍රහ මණ්ඩලයේ සීතලම ග්‍රහලෝකය වෙයි.

තරුවක් යැයි සිතු යුරේනස්, නව ලෝකයක් බව තාරකා විද්‍යාඥ විලියම් හර්ෂල්, තහවුරු කිරීමෙන් පසු, එය කුමන නමින් හැදින්විය යුතුදැයි යන්න සම්බන්ධයෙන් විවාදයක් පැවැත්විණි. තාරකා විද්‍යාඥ යොහාන් එලට් බෝද් මැදිහත් විය. යොහාන් එලට් බෝද් මෙසේ තර්කයක් ඉදිරිපත් කළේය. බෘහස්පති එසේත් නැතිනම් ජුපිටර් දෙවියන්ගේ දෙවියා එසේත් නැතිනම් මහ දෙවියා නම්, සෙනසුරු එනම් සැටර්න් ජුපිටර්ගේ පියා නම්, හමුවුණු නව ග්‍රහයා සෙනසුරු එසේත් නැතිනම් සැටර්න්ගේ පියා සීලූස් යන නමින් නම් කළ යුතුයි යන්න එම තර්කයයි.

ග්‍රහලෝක නම් කිරීම සිදුවූයේ සම්ප්‍රදායකට අනුවය. නම් කිරීමට යොදා ගත්තේ රෝම දේව පුරාණයයි. ඒත් මේ සම්ප්‍රදාය වෙනස් විය. පුරාණ ග්‍රීකයන් සීලූස් වෙනත් නමකින් හදුන්වන්න විය. ඒ නම උරනෝස්ය. උරනෝස් යනු අහසට අධිපති ග්‍රීක දෙවියාය. ලතින් බසට අනුව, උරනෝස්, යුරේනස් විය. සෞරග්‍රහ මණ්ඩලය කෙළවරේ පිහිටි අයිස් යෝධයා යුරේනස් ලෙස නම් කෙරුණේ ඒ අනුවය. සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රීක දෙවියකුගේ නමින් නම් කර ඇති එකම ග්‍රහලෝකය යුරේනස්ය. අසාමාන්‍ය ලෙස ඇලවීමක් පෙන්නුම් කරන, අසාමාන්‍ය ලෙස සීතල, පෙරළි පෙරළි හිරුවටා යන මේ ග්‍රහයාට සම්ප්‍රදායෙන් පිට නමක් යෙදීම සැබැවින්ම විස්මිත නොවේද?

අපට යුරේනස් ගැන මෙසේ කතා කිරීමට මග පාදා දුන්නේ ජේම්ස් වෙබ් දුරේක්ෂයයි. එහෙයින්, ඒ ගැන යළි යළිත් කතා කළ යුතුය. ඇමෙරිකා අභ්‍යවකාශ ඒජන්සිය හෙවත් ‘නාසා’ ආයතනයේ පුරෝගාමීත්වයෙන්, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සිය හෙවත් ‘එසා’ සහ කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සිය හෙවත් ‘සිසා‘ හවුල් කර ගනිමින් ජේම්ස් වෙබ්  දුරේක්ෂය නිර්මාණය කෙරුණි. ඒ, වසර 24 ක් තිස්සේය. අති නවීන තාක්ෂණය භාවිතයට ගනිමින් නිර්මාණය කළ ‘ජේම්ස් වෙබ්’ දුරේක්ෂය එසේ මෙසේ එකක් නොවෙයි. ‘ජේම්ස් වෙබ්’ දුරේක්ෂයට කාලය හරහා අතීතයට ගමන් කළ හැකි යැයි කීවොත් ඔබ පුදුම වෙනවා නිසැකය.

‘අතීයට නෙත් හෙළනවා’ යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? මේ දුරේක්ෂය කාලතරණය කළ හැකි කාල යන්ත්‍රයක්ද? එක්තරා විදිහකට මෙම ජේම්ස් වෙබ් දුරේක්ෂය කාල යන්ත්‍රයක් වැනිය. පෘථිවියේ සිට සැතපුම් මිලියනයක් ඈතින් රැඳවා ඇති ජේම්ස් වෙබ් දුරේක්ෂය, පෘථිවිය වටා කක්ෂගත වනු ඇත්තේ තාරකාවලින් සහ මන්දාකිණිවලින් විහිදෙන ආලෝකය ස්කෑන් (පරීක්ෂා) කරමිනි. මෙම දුරේක්ෂයට තාරකාවලින් සහ මන්දාකිණිවලින් විහිදෙන ආලෝකය, ආලෝක වර්ෂ බිලියන 13.7 ක් ආපස්සට නිරීක්ෂණය කිරීමේ හැකියාව ඇත.

එසේ කළ හැකි වන්නේ මෙය රඳවා තැබෙන්නේත්, කක්ෂගත වෙන්නේත්, පෘථිවියේ සිට බොහෝ ඈතින් වීම නිසාය. ජේම්ස් වෙබ් දුරේක්ෂය ‘හබල්’ දුරේක්ෂයට වඩා තුන් ගුණයකින් විශාලය. හබල් දුරේක්ෂයට වඩා සිය ගුණයකින් ප්‍රබලය. ඒ, ජේම්ස් වෙබ් දුරේක්ෂයට සවි කර ඇති රත්තරන්වලින් නිර්මාණය කළ දර්පන (කණ්ණාඩි) හේතුවෙනි. දර්පන රැසක් සහ ප්‍රධාන දර්පනයක් ඊට අයත් වෙයි. ප්‍රධාන දර්පනයේ පළල අඩි 21 කි.

‘වෙබ්’ දුරේක්ෂය පෘථිවි කක්ෂයට යැවීම විශ්වය ගවේෂණයේ සන්ධිස්ථානයක් මෙන්ම ඓතිහාසික සිද්ධියක් වනු නොඅනුමානය. ඉදිරි දශකය පුරාවට විශ්වයේ මෙතෙක් සොයා නොගත් රහස් රැසක් අනාවරණය කර ගැනීමට ‘වෙබ්’ දුරේක්ෂය උදව් වේවි යැයි නාසා ආයතනය පවසයි. නාසා ආයතනය, දුරේක්ෂය නිපදවීමේ කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ, ඇමෙරිකානු ‘නෝර්ත්රොප් ග්‍රමන්’ සමාගමටය. ‘නෝර්ත්රොප් ග්‍රමන්’ යනු අභ්‍යවකාශ සහ ආරක්ෂක කටයුතුවලට සම්බන්ධ තාක්ෂණ සමාගමකි.

කලින් සදහන් කළ ආකාරයට, වසර 24 ක් තිස්සේ නොයෙක් බාධා මැද අවසානයේ දුරේක්ෂය නිර්මාණය කර අවසන් වෙද්දී ඒ සඳහා වැයවුණු මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 10 කි. ‘නාසා’, ‘එසා’ සහ ‘සිසා’ අභ්‍යවකාශ ඒජන්සියට අයත් රටවල් 24 ක විද්‍යාඥයන් සහ ඉන්ජිනේරුවන් දහස් ගණනක් දුරේක්ෂය නිර්මාණය කිරීමට දායක වී සිටිති.

ස්තුතිය - නාසා ආයතනයට


RECOMMEND POSTS