අයිස් යෝධයා විද්‍යාඥයන් මුලා කළ හැටි
පළමු හමුවීමෙන්ම අපට කෙනකු ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවනි. එහෙත්, එහෙම නොවන අවස්ථා ද ඇත. පළමු හමුවේදී ඒ කෙනා මෙහෙමයි යැයි අප සිතුවත්, ඇත්තටම ඒ කෙනා වෙනස් වෙන්න පුළුවනි. අප සිතුවා වරදින්න පුළුවනි. මෙය ග්‍රහලෝක සම්බන්ධයෙන් ද පොදු කාරණාවකි.
අප සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අටකි. හිරුගේ සිට පිළිවෙළින් ඒවා බුද, සිකුරු, පෘථිවිය, අඟහරු, බෘහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන්ය. ප්ලූටෝ කුරු ග්‍රහයකු ලෙස සැලකෙන බැවින්, ප්‍රධාන ග්‍රහලෝක අතරට අයත් නොවෙයි. සෞරග්‍රහ මණ්ඩලයේ හත්වැනි ස්ථානයේ පසුවන යුරේනස්, හිරුගේ සිට වැඩි දුරකින් පිහිටන බැවින් සීතල අයිස් සහ වායුවලින් පිරුණු ග්‍රහයෙකි.
අනෙක් ග්‍රහලෝක මෙන් නොව, යුරේනස් වෙනස් අමුතු ග්‍රහලෝකයකි. හිරු සහ යුරේනස් අතර දුර කිලෝ මීටර් බිලියන 2 කි. එය පෘථිවිය සහ හිරු අතරේ දුර මෙන් 20 ගුණයකි. යුරේනස්ට තමන් වටේ ගොස් එක් යුරේනස් දිනයක් සම්පූර්ණ කිරීමට ගතවන කාලය පෘථිවි පැයවලින් නම් පැය 17 කි. සූර්යයා වටා ගොස් යුරේනස්ට වසරක් සම්පූර්ණ කිරීමට ගතවන කාලය අවුරුදු 84 කි.
යුරේනස් අංශක 99 ක් ඇලයට පිහිටයි. සාමාන්‍යයෙන් අනෙක් ග්‍රහයන් හිරු වටේ යන්නේ තමන් වටා කැරැකෙමිනි. එහෙත්, මෙසේ ඇලයට පිහිටන නිසා, යුරේනස් පෙරළි පෙරළි හිරුවටා යන බවක් පෙනෙයි. එපමණක් නොවෙයි; යුරේනස් නැගෙනහිර සිට බටහිරට, සූර්යයා වටා ගමන් කරයි. සෙසු ග්‍රහලෝක ගමන් කරන්නේ, ඊට ප්‍රතිවිරුද්ධ ආකාරයටය. පෘථිවිය මෙන් 14 ගුණයක් විශාල යුරේනස් ඇලයට පිහිටන බැවින් ඊට අයත් උප ග්‍රහයන් නැතිනම් චන්ද්‍රයන් පිහිටා ඇත්තේ සිරස් ආකාරයටය. අනෙක් ග්‍රහලෝකවලට අයත් චන්ද්‍රයන් පිහිටා ඇත්තේ තිරස් අතටය.
යුරේනස් සම්බන්ධයෙන් ගවේෂණයක් සිදුවූයේ පසුගිය අවුරුදු 40 ඇතුළත එක් වරක් පමණි. එය ද පැය කීපයක කෙටි අධ්‍යයනයකි. ඉන්පසු ඇමෙරිකාවේ නාසා ආයතනයේ විද්‍යාඥයන් තීරණය කළේ යුරේනස් සහ යුරේනස්ට අයත් චන්ද්‍රයන් කිසිම වැදගත්කමක් නැති, ක්රියාකාරීත්වයක් පෙන්නුම් නො කරන නිසරු අයිස්වලින් සමන්විත ග්‍රහලෝක කියාය. ඒත් අද වසර 40 කට පසු, යුරේනස් සම්බන්ධයෙන් ලබාගෙන ඇති නවතම දත්ත අනුව, යුරේනස් පමණක් නොව, යුරේනස්ට අයත් චන්ද්‍රයන් ගැන ද අප මෙතෙක් දැන සිටි බොහෝ දේ වැරදි බව නාසා විද්‍යාඥයන්ට පෙනී ගොස් තිබේ.
යුරේනස්ට චන්ද්‍රයන් 27 දෙනකු සිටින අතර, එයින් පස් දෙනකු කැපී පෙනෙයි. යුරේනස් ග්‍රහයා තුළත් යුරේනස් ග්‍රහයාගේ චන්ද්රයන්ගේත් ජීවය පැවැතිය හැකි බව විද්‍යාඥයෝ දැන් අනුමාන කරති. ඒ නවතම දත්ත අනුව, ඔවුන්ට යුරේනස් ග්‍රහයාගේ පමණක් නොව චන්ද්‍රයන්ගේ ද සාගර ඇතැයි කීමට අවශ්‍ය සාධක හමුවී තිබීම නිසාය. නාසා විද්‍යාඥයන් දැන් මෙසේ පවසන්නේ, ඔවුන් විශ්වයේ ඈත රඳවා ඇති අභ්‍යවකාශ නිරීක්ෂණ දුරේක්ෂය ආධාරයෙන් යුරේනස් සහ චන්ද්‍රයන් නිරීක්ෂණය කිරීමෙනි.
සාමාන්‍යයෙන් නාසා ආයතනයට සම්බන්ධ වී සිටින්නේ අති දක්ෂ විද්‍යාඥයන්ය; තාක්ෂණ ශිල්පීන්ය; ගණිතඥයන්ය. ඔවුන්ට පහසුවෙන් වැරදීම් සිදු වන්නේ නැත. එසේ නම්, යුරේනස් සම්බන්ධයෙන් නාසා විද්‍යාඥයන්ට වැරදුණේ කෙසේද? ඔවුන් මුලා වූයේ කෙසේද?
අප සෞරග්‍රහ මණ්ඩලයේ වළලු සහිත අලංකාර ග්‍රහලෝකය වන්නේ සෙනසුරුය. එහෙත් යුරේනස්ට ද වළලු ඇත. හරියටම කීවොත් වළලු 13 කි. විද්‍යාඥයන්ට පැහැදිලිව නිරීක්ෂණය කිරීමට හැකි වී ඇත්තේ වළලු 11 ක් පමණි. දූවිලි සහ අයිස් අංශුවලින් නිර්මාණය වී ඇති එම වළලු සෙනසුරුගේ මෙන් දීප්තිමත්ව, පැහැදිලිව දකින්න ලැබෙන්නේ නැත. සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක අතරින්, විශාලත්වයෙන් තෙවැනි ස්ථානයේ පසුවන්නේ ද යුරේනස්ය
යුරේනස් ගවේෂණය කර දුන් එකම ගවේෂණ යානය නාසා ආයතනයේ ‘වොයේජර් 2’ රොබෝ යානයයි. ඒ, 1986 වසරේදීය. 1977 වසරේ පෘථිවියෙන් පිටවී ගිය ‘වොයේජර් 2’ ගවේෂණ යානයට යුරේනස්ට ළං වීමට අවුරුදු නවයක් ගත විය. කිලෝ මීටර් බිලියන 2.8 ක දුරක් ගෙවා දමා යුරේනස් වෙත පැමිණි ‘වොයේජර් 2’ ගවේෂණය කරමින් දත්ත රැස් කිරීමට ගත කළේ පැය 6 ක් වැනි කෙටි කාලයකි. මුලදී විද්‍යාඥයන් යුරේනස් ගැන දැන සිටියේ එම පැය හයක ඇතුළත ‘වොයේජර් 2’ පෘථිවියට එවූ දත්ත අනුවය. විද්‍යාඥයන්ට වැරදුණේ එතැනය.
‘වොයේජර් 2’ රොබෝ ගවේෂණ යානය, යුරේනස් වෙත පැමිණියේ, යුරේනස්ට හොඳ දවසක නොවෙයි යැයි නාසා විද්‍යාඥයෝ පැහැදිලි කරති. එදා ‘වොයේජර් 2’ යුරේනස් පසු කර යද්දී, යුරේනස් ප්රචණ්ඩ සූර්ය විකිරණ කුණාටුවකින් බැට කා සිටියේය. එම සූර්ය විකිරණ කුණාටුව කොතරම් බලසම්පන්නදැයි කීවොත්, සෞරග්‍රහ මණ්ඩලයේ ඈත කෙළවරේ පිහිටි යුරේනස් ග්‍රහලෝකයේ භූ ලක්ෂණ පවා වෙනස් කිරීමට සමත් විය. සූර්ය කුණාටුවේ ප්‍රතිඵලයක් වශයෙන් ‘වොයේජර් 2’ යුරේනස් අසලින් යමින්, දත්ත සහ ඡායාරූප ලබා ගනිද්දී, යුරේනස් පැවැතියේ එහි සාමාන්‍ය තත්ත්වයෙන් නොවෙයි. ඒ වනවිට යුරේනස්ගේ ප්‍රධාන චන්ද්‍රයන්ට එම සූර්ය කුණාටුවේ බලපෑම් එල්ල වී තිබුණි.
‘වොයේජර් 2’ ලබා ගත් දත්ත සහ ඡායාරූප ගුවන් විදුලි තරංග ඔස්සේ පෘථිවියේ සිටි විද්‍යාඥයන්ට ලැබෙන්න සැලැස්විණි. ඒවා අධ්‍යයනය කිරීමෙන් පසු පෙනී ගියේ යුරේනස් යනු කිසිදු සක්‍රිය බවක් නොපෙන්වන ග්‍රහයකු බවය. යුරේනස්ගේ චුම්බක ක්ෂේත්රය ද අවුල් ජාලයක් බව ‘වොයේජර් 2’ දත්තවලින් විද්‍යාඥයන්ට දැනගන්න ලැබුණි. ඕනෑම ග්‍රහලෝකයක චුම්බක ක්ෂේත්රය ඉතා වැදගත්ය. චුම්බක ක්ෂේත්රය අධ්‍යයනය කිරීමෙන් ග්‍රහලෝක ක්‍රියාකාරීත්වය පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකිය. ග්‍රහලෝකයක ඇති වායු සහ අනෙක් අමු ද්‍රව්‍ය සියල්ල චුම්බක ක්ෂේත්‍ර මගින් රඳවා ගැනීමක් සිදුවන බැවින් ඒවා අධ්‍යයනය කිරීමෙන් එම ග්‍රහලෝකය ජීවයට සුදුසු තැනක් ද නැද්ද දැනගත හැකිය.
‘වොයේජර් 2’ යුරේනස් සහ යුරේනස්ගේ චන්ද්‍රයන් පසු කරයද්දී සූර්ය කුණාටුවලින් චුම්බක ක්ෂේත්රය අවුල් ජාලයක් වී තිබුණේ, යුරේනස් සීතල අයිස් ග්‍රහයෙක් පමණක් බව පෙන්වමිනි. සුර්ය කුණාටුවක බලපෑමකට එදා යුරේනස් හසුවී තිබුණු බව විද්‍යාඥයන් දැන සිටියේ නැත. ඔවුන් මේ බව දැනගත්තේ පසුගිය දිනෙකය. ඒ, ජේම්ස් වෙබ් දුරේක්ෂය ලබා දුන් දත්ත පාදක කර ගනිමිනි. ජේම්ස් වෙබ් යනු නාසා ආයතනය අභ්‍යවකාශයේ රඳවා ඇති අති ප්‍රබල දුරේක්ෂයකි. සූර්ය කුණාටුවේ බලපෑමෙන් මිදුණු පසු යුරේනස්ගේ චුම්බක ක්ෂේත්රය යළි යථා තත්ත්වයට පත් විය. එහෙත්, ඒ වනවිට ‘වොයේජර් 2’ යුරේනස් පසු කර විශ්වයේ ඈත කෙළවරට ගොස් හමාරය. ‘වොයේජර් 2 යානයේ දත්තවලින් දකින්න ලැබුණු යුරේනස්ට වඩා හාත්පසින් වෙනස් යුරේනස් ග්රහලොවක් පවතින බව නවතම දත්තවලින් පැහැදිලි වෙනවා. ද්‍රව සාගර යුරේනස් ග්රහයාගේත් චන්ද්රයන්ගේත් තිබෙන්න හැකි යැයි අනුමාන කරන්න පුළුවන්. ද්‍රව සාගර යනු ජීවය ආරම්භ වීමට අවශ්‍ය ප්‍රධාන සාධකයකි. ඒ අනුව, ඉදිරියේ දී යුරේනස් ග්‍රහලෝකය සහ චන්ද්‍රයන් පමණක් ගවේෂණයට අප රොබෝ යානයක් යැවීමටත්ග්රහ බලාපොරොත්තු වෙනවා. යානය නිර්මාණය කිරීම ඉදිරි වසර 10 ඇතුළත සිදුවේවි.’ යැයි නාසා විද්‍යාඥයෝ කියති.