අබිරහසක්ම වුණු තුන්ගුස්කා



තුන්ගුස්කා ගැන දන්නවාද? තුන්ගුස්කා සිද්ධිය (Tunguska Event) අදටත් විද්‍යාඥයන්ට ප්‍රහේලිකාවක් වුණු අබිරහසකි. තුන්ගුස්කා සිද්ධිය සිදුවුණේ සයිබීරියාවේය. සයිබීරියාව, රුසියාවේ අසල්වැසියාය. 1908 ජූනි 30 වැනිදා, ග්‍රහකයක් එසේත් නැතිනම් ඇස්ට්‍රොයිඩයක් (Asteroid) සයිබිරියාවේ වනාන්තරයකට කඩා වැටුණේ, වර්ග කිලෝ මිටර් 2,150 ක ප්‍රදේශයක, ගස් මිලියන 80 ක් බිමට පහත් කරමිනි. තුන්ගුස්කා සිද්ධිය යනු මෙයයි. වාර්තාගත ඉතිහාසයේ, පෘථිවියේ ග්‍රහකයක් හැපී මහා විනාශයක් සිදුවුණු එකම අවස්ථාව මෙයයි. යෝධ ග්‍රහකයක් වැටුණු බව ස්ථිරය. අබිරහස නම්, කිසිවකුට, කිසිම දිනෙක, ග්‍රහකය වැටුණු නිවැරදි ස්ථනය හෝ ග්‍රහකයේ කැබිලි හෝ හමුනොවීමය.

අහස දීප්තියෙන් දල්වමින් ග්‍රහකය කඩා වැටුණේ පොඩ්කමෙන්යා තුන්ගුස්කා (Podkamennaya Tunguska) නදිය අසල හුදෙකලා වනාන්තර ප්‍රදේශයටය. ඒ ඝට්ටනය සිදුවූයේ මෙගාටොන් 10 ක් 15 ක් අතර ප්‍රබලත්වයකිනි. 1954 දී කාසල් බ්‍රාවෝ (Castle Bravo nuclear bomb) පරමාණු බෝම්බ අත්හදා බැලීම තරම් ප්‍රබලය. ලෝක ඉතිහාසයට අනුව, පස් වැනියට සිදු කළ ප්‍රබලතම පරමාණු බෝම්බ අත්හදා බැලීම වන්නේ, මෙම කාසල් බ්‍රාවෝ අත්හදා බැලීමය. “අහස දෙබෑ වුණා. වනාන්තරයට ඉහළින් මහා ගිනි ජාලාවක් දකින්න ලැබුණා. මහා පිපිරීම් හඩ සමඟ වනාන්තර ගිනි ගත්තා” මේ,  පොඩ්කමෙන්යා තුන්ගුස්කා වනාන්තරයට ග්‍රහකය කඩා වැටෙන අයුරු පිළිබඳ ඇසින් දුටු සාක්ෂියකි.

ග්‍රහකය ඝට්ටනය වූ අපිකේන්ද්‍රයේ (Epicenter) සිට කිලෝ මීටර් 8 ක් දුරින් ඇත්තේ විලකි. මේ චෙකෝ (Cheko) විලය. මෙය මිරිදිය විලකි. විද්‍යාඥයන් බොහෝ දෙනකුගේ අදහස චෙකෝ විල නිර්මාණය වූයේ ග්‍රහක ඝට්ටනයෙන් පසුව කියාය. මේ විල මීටර් 500 ක් පළලය. ගැඹුර මීටර් 54 කි. මේ විල පර්යේෂණයට ලක් කළ විද්‍යාඥයකු වන්නේ ලූකා ගැස්පෙරීනීය. මොහු ඉතාලි පර්යේෂණ කවුන්සිලයේ පර්යේෂණ අංශ ප්‍රධානියාය. ගැස්පෙරීනී සහ ඔහුගේ සගයන් පවසන ආකාරයට විලේ පිහිටීම කේතුවක් වැනිය. ග්‍රහක ඝට්ටනය වී නිර්මාණය වුණු ආවාටය පසුව විලක් බවට පත් වෙන්න ඇතැයි පර්යේෂකයන්ගේ අදහසය. 

කෙසේ නමුත්, 2012 වසරේ දී තවත් විද්‍යාඥ කණ්ඩායම් කීපයක් විල පර්යේෂණය කරමින්, ඔවුන් පසුව භූ රසායන විද්‍යා, භූ භෞතික විද්‍යා සහ භූ පද්ධති පර්යේෂණ වාර්තා ඉදිරිපත් කළේය. විල පතුලේ රොන් මඩ පරීක්ෂා කිරීමෙන් තහවුරු වූයේ ඒවා වසර 100 ක් පමණ පැරැණි බවය. විල් අතීතයේ පැවැති වනාන්තර ප්‍රදේශයක ගස් යට කර ගනිමින් නිර්මාණය වූවක් බවට ද සාක්ෂි හමුවිය. ඒ අනුව,  1908 ග්‍රහක ඝට්ටනයෙන් චෙකෝ විල නිර්මාණය වූයේ යැයි යන අදහස බැහැර කිරීමට සිදුවෙයි.

එකිනෙකට පරස්පර අදහස් මෙසේ ඉදිරිපත් වෙද්දී, තව තවත් විද්‍යාඥයෝ පර්යේෂණ ආරම්භ කළහ. රුසියන් විද්‍යා ඇකඩමියේ සර්බියානු ශාඛාවේ විද්‍යාඥ ජෙනිස් රොගොසින් සහ කණ්ඩායම ද ඒ අතර විය. 2017 දී ඔවුන් ඔවුන්ගේ පර්යේෂණ වාර්තාව එළිදැක්වීය. විල් පතුලේ ඇති රොන්මඩ වසර 280 ක් හෝ 390 ක් පැරණි බව ඔවුන් අනාවරණය කර ගෙන තිබුණි. 1908 තුන්ගුස්කා සිද්ධිය සිදුවීමට පෙර සිට චෙකෝ විල පැවැති බව ඒ අනුව තවත් තහවුරු විය.

චෙකෝ විල පතුල අසාමාන්‍ය අයුරින් කේතුවක හැඩයක් ගනී. මෙවැනි කේතුවක් වැනි පතුලක් ඇති විල් හෝ පොකුණු හෝ මෙම කලාපයේ වෙනත් ඇත්තේ ද නැත. ඒ නිසා චෙකෝ විල නිර්මාණය වන්න ඇත්තේ ග්‍රහක ඝට්ටනයෙන් යැයි තදින්ම විශ්වාස කළ විද්‍යාඥයෝ පිරිසක් වූහ. ජෙනිස් රොගොසින් සහ කණ්ඩායම සහ ඊට පිළිතුරු දුන්නේ චෙකෝ විලේ සිට කිලෝ මීටර් 50 ක් සහ 60ක් දුරින් පිහිටි සපවෙන්ඩෝයි සහ පේයුන්ඩා Zapovednoye and Peyungda නමැති විල්වල පතුල ගවේෂණය කරමිනි. චෙකෝ විලට පමණක් නොවෙයි; මේ විල්වලට ඇත්තේ කේතුවක හැඩයේ පතුලක් බව දත්ත ඉදිරිපත් කරමින් රොගොසින් සහ කණ්ඩායම පෙන්වා දුන්නේය. චෙකෝ විලේ සුවිශේෂයක් නොමැති බව තහවුරු කළේය. ප්‍රාග් නුවර චාල්ස් විශ්ව විද්‍යාලයේ වැනියෙල් වොන්ඩාර්ක් පවසන්නේ රොගොසින් සහ කණ්ඩායම ඉදිරිපත් කළ කරුණු තමන් පිළිගන්නා බවය.

කෙසේ නමුත් ලූකා ගැස්පෙරීනී, රොගොසින් සහ කණ්ඩායම ඉදසිරිපත් කරන කරුණු පිළිගන්න සූදානම් නොවෙයි. 2018 වසරේ දී ඔහු ඔහුගේ අදහස ඉතා පැහැදිලිව ඉදිරිපත් කළේය. ඔහු පවසන්නේ 1908 ජූනි 30 වැනිදා තුන්ගුස්කා සිද්ධියට මුල් වුණු ග්‍රහකය මොනලතික Monolithic ග්‍රහකයක් බවත්, (මොනලතික යනු තනි ගලකින් එසේත් නැතිනම් තනි පාෂාණයකින් නිර්මාණය වූ යන්නය.) එය මීටර් 60 ක් පළල සහ මීටර් 6 ක් හෝ 10 ක් පළල කොටස් දෙකක් ලෙස දෙකඩ වුණු බවත්, අවසානයේ පෘථිවියේ ගැටුණේ කුඩා කොටස බවත්ය. එම කුඩා කොටස චෙකෝ විල නිර්මාණය කළ බව ගැස්පෙරීනී දැඩි ලෙස විශ්වාස කරයි. චෙකෝ විල පතුලේ මීටර් 10 ක් පමණ කැණීම් කරමින්, ලබා ගත් පස් සාම්පලවලින් ගැස්පෙරීනී පෙන්වා දෙන්නේ එම පස් සාම්පලවලට ග්‍රහකයේ කොටස් මුසුවී ඇති බවය.

ගැස්පෙරීනී ඇතුළු විද්‍යාඥයන් කණ්ඩායම මේ සම්බන්ධයෙන් වැඩිදුර ගවේෂණ සිදු කිරීමටත්, සොයා ගත් සියලු කරුණු කාරණා සහ සාක්ෂි ලොවට ඉදිරිපත් කිරීමටත් සූදානම් වූයේ 2021 වසරේදීය. අවාසනාවකට නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජිකත්වය අපේක්ෂා කළ බැවින්, යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් ගැනීමට රුසියාවට සිදුවිය. 2021 පෙබරවාරියේ සිට යුද ගැටුම් පවතී. බටහිර රටවල් රුසියාවට සම්බාධක පනවා තිබේ. එහෙයින් ගැස්පෙරීනී සහ ඔහුගේ කණ්ඩායමට ඔවුන්ගේ පර්යේෂණ ඉදිරියට කරගෙන යෑමට නොහැකි වී ඇත. එහෙයින්, තුන්ගුස්කා අබිරහස විසඳා ගැනීමට තවත් කල්ගතවේවි.


RECOMMEND POSTS