ලොකුම මල



බෝනියෝ. අග්නිදිග ආසියාවේ දකින්න ලැබෙන දූපතකි. ජෛව විවිධත්වයෙන් සුසැදි වැසි වනාන්තරවලින් පිරි දූපතකි. උරන්ඔටන් සහ අඳුන් දිවියන්ට ප්‍රකටය. ඒත් මේ කියන්න හදන්නේ උරන්ඔටන් ගැන හෝ අඳුන් දිවියන් ගැන නොවෙයි. සතකු ගැනත් නොවෙයි. ශාකයක් ගැනය. බෝනියෝ දූපතේ කිනබාලු කන්ද බෑවුම වසාගත් මහ වනාන්තරයේ, සතුන් ආහාරයට ගන්නා ශාක බොහොමයකි. ඒ අතරින් බාඳුරා මල කැපී පෙනෙයි. බාඳුරා මලේ පත්‍ර සැකැසී ඇත්තේ එක්තරා ආකාරයක මල්ලක් ලෙසිනි.  එම මල්ල ඇතුළේ පැණි සහ වතුර පිරී පවතී. පැණි, කෘමීන් ආකර්ශණය කර ගනී. බාඳුරා යනු කෘමීන්ට මර උගුලකි.

පැණිවලට කෑදර වී ඇදී එන කෘමි සතුන් ලිස්සා මල තුළට වැටෙයි. එයින් පිටවිය නොහැකිය. කෘමීන්ගේ සිරුරු මල උරා ගනිමින් පෝෂණය ලබයි. බාඳුරා (Pitcher Plant) වැනි මාංශභක්ෂක ශාක බොහොමයකි. කිනබාලු කදු බෑවුමේ තවත් පහළට යනවිට තවත් හරි අපූරු ශාකයක් දකින්න ලැබෙයි. පුදුමය නම්, මෙය කොළ එසේත් නැතිනම් පත්‍ර නැති ශාකයකි. පත්‍ර පමණක් නොවෙයි; කඳක් (Stem) පවා මේ ශාකයට නැත. මුලින්ම ශාඛයේ දකින්න ලැබෙන්නේ කුඩා බෝලයක් තරම් ගුළියකි. මේ ගුළිය, ශාකයේ පොහොට්ටුවය.

වසර පහකට පමණ පසු, පොහොට්ටුව පිපෙයි. නැතිනම් විවෘත වෙයි. ඒ මහා විශාල මලක් නිර්මාණය කරමිණි. දැන් මෙම දැවැන්ත මලට ඇත්තේ, පරාගණය (Pollinate) සඳහා දිනක් හෝ දෙකක් පමණි. දිනක් දෙකක් යද්දී මල කුණු වී මියයයි. පරාගණය ඊට කලින් කළ යුතු වෙයි. ඊට උපක්‍රමයක් අවශ්‍ය වෙයි.

යෝධ මලේ පෙති, රුධිරය මෙන් රතු පැහැතිය. පෙතිවල ලොකු ඉන්නන් මෙන් ඉහළට මතුවුණු කොටස්ය. අප්‍රියජනකය. බැලූ බැල්මට, සතකුගේ ලොම් වැනි දේ පෙතිවල දකින්න ලැබේ. සතුන්ගේ මෙන් රැවුල් ගස් සහ දත් පවා දකින්න ලැබේ. බැලූ බැල්මට මේ නම් මැරුණු සතකු යැයි වරදි වැටහීමක් ඇති වෙනවා සිකුරුය. මලට අවශ්‍ය වන්නේ ද එලෙස වැරදි වැටහීමක් ඇති කිරීම පමණි. එහි උපක්‍රමය එයයි.

ගිනස් වාර්තා පොතට ද ඇතුළත් වී ඇති මෙම මල හැඳින්වෙන්නේ රෆ්ලීසියා (Rafflesia - Corpse Flower) කියාය. මලේ පළල මීටරයකි. ලෝකයේ ලොකුම මල මෙයයි. අපේ මේ කතාවට අදාල රෆ්ලීසියා මල, පිරිමි මලකි. එය තුළින් හමන්නේ මරණයේ ගඳය. කුණු වුණු මැරුණු සතකුගෙන් හමන අප්‍රසන්න, ඔක්කාරය දනවන කුණු ගඳය. ඒ ගඳ ඉවසිය නොහැකි සතුන් බොහොමයකි. ඒත්, ඒ දුගඳ පුසුඹක් වී ඊට ඇදෙන අය ද සිටී. ඒ නිල මැස්සන් (Carrion Fly) ය.

නිල මැස්සන් බිජුලන්නේ කුණු මස්වලය. නැගෙනගඳ නිසා කුණු මස් සොයමින් නිල මැස්සා මල ඇතුළට රිංගයි. ඒත් මල තුළ කුණු මස් නැත. මල තුළින් මැස්සාට කුණු මස් හමුවන්නේ නැත. දැන්, රෆ්ලීසියා මල, මලට ඕනෑ තැනට මැස්සා ගෙන්වා ගෙන අවසන්ය. උල් දත් ලෙස මල තුළ ඇත්තේ පරාගය. මල තුළට යන මැස්සාගේ සිරුරේ පසුපස පරාග තැවරෙයි; ඇලෙයි.

පිරිමි රෆ්ලීසියා මලේ උපක්‍රමය සාර්ථක වීමට නම්, පරාග සිරුරේ තැවරුණු මැස්සා, ගැහැනු මලක් සොයා ඒ තුළට යා යුතුය. පිරිමි රෆ්ලීසියා මලට නුදුරින් තවමත් රෆ්ලීසියා මලකි. වාසනාවට එය ගැහැනු මලකි. කුණු ගඳට රැවටෙන මැස්සා කුණු මස් සොයමින් ගැහැනු මල තුළට රිංගන්නේ සිරුරේ ඇලවී ඇති පරාග ගැහැනු මලේ තවරමිනි.

ඩේවිඩ් ඇටන්බරෝගේ
බීබීසී ග්‍රීන් ප්ලැනට් ඇසුරිනි

RECOMMEND POSTS