රාම් මන්දිර් උපත ලබයි
ලංකා රජු රාවණ, මිථිලාවේ සීතා කුමරිය, පැහැරගෙන ගොස් තිබුණි. සීතා බේරා ගැනීමේ අරමුණින්, සීතාගේ සැමියා, අයෝධ්‍යාවේ රාම කුමරු, සොයුරු ලක්ෂ්මණ, වායුපුත්‍ර හනුමාන් ප්‍රමුඛ මහා වානර සේනාව, සාගරය අද්දරට සේන්දු විය. ඔවුන් ඉදිරියෙන් වූයේ, පරක් තෙරක් නොපෙනෙන ඝෝෂාකාරී මහා සාගරයයි. රාවණගේ ලංකාවට යෑමට නම්, ඔවුන් මහා සාගරය තරණය කළ යුතුය. සාගරය තරණය කිරීමට ඉඩ දෙන්නැයි, රාම කුමරු මුහුදු පාලක දෙවි වරුණගෙන් ඉල්ලයි. වරුණ ඊට කන් නොදෙයි. එවිට, රාම කුමරු ඔහුගේ බලගතු ඊතල විඳිමින්, සාගරය කැලඹයි. එවිට, වරුණ දෙවියන්, රාම ඉදිරියේ පහළ වී, සාගරයට ගල් දමා පාලමක් ඉදි කරන හැටි කියයි. සාගරයට දමන ගල් පාවෙයි. දස දහස් ගණනක වඳුරු සහ වානර සේනාවේ සහාය ඇතිව, දින පහකින් ගල් පාලමක් ඉදිවෙයි.
- වාල්මිකීගේ රාමායණය
රාම කුමරු උපන් බිමේ, ‘රාම් මන්දිර්’ උපත ලැබීය. ‘රාම් මන්දිර්’ යනු උතුරු ඉන්දියාවේ, උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ, හින්දුවරුන්ගේ පුදබිම ලෙස සැලකෙන අයෝධ්‍යා නගරයේ, ඉදි කෙරෙන, දැවැන්ත හින්දු කෝවිලකි. මහල් තුනකින් සමන්විත අයුරින් මෙය ඉදි කෙරේ. ඉහළ මහලවල ඉදි කිරීම් තවමත් අවසන් නැත. ඉදි කිරීම් අවසන් කළ බිම් මහල, පසුගිය 22 වැනිදා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් විවෘත විය. ‘රාම් මන්දිර්’ විවෘත වූයේ, මෝදිගේ සහභාගීත්වයෙන් පැවැති, ‘ප්‍රාන් ප්‍රතිෂ්ඨා’ පූජාව සමඟය. ‘රාම් මන්දිර්’ විවෘත කිරීම, මුළු ලෝකයටම පෙනෙන අයුරින්, ඉතා ගාම්භීරව සිදුවිය.
පොලිසියේත්, හමුදාවේත් විශේෂ ආරක්ෂාවක් ඊට යොදවා තිබුණි. ඉන්දීය මධ්‍යම රජයේත් උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත රජයේත් ඇරැයුම් පිළිගනිමින්, මෙම අති උත්කර්ෂවත් සමාරම්භක උත්සවයට පැමිණි දෙස් විදෙස් අමුත්තන් ගණන 7,500 කට වැඩිය. ඉන්දීය නළු නිළියෝ, විදෙස් රාජ්‍ය නියෝජිතයෝ, තානාපතිවරු ආරාධිතයන් අතර වූහ. හින්දු බැතිමතුන්ගේ ප්‍රීති ඝෝෂා සහ සතුටු කඳුළු මැද, ‘රාම් මන්දිර්’ විවෘත වූයේ 22 වැනිදා දහවල් 12.20 ට යෙදුණු සුබ මොහොතිනි.
‘රාම් මන්දිර්’ ඉදි කිරීම, ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ, හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂයේ පනස් වසරක ව්‍යාපෘතියකි. මෙම 2024, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිට සහ ඔහුගේ භාරතීය ජනතා පක්ෂයට වැදගත්ය. හේතුව, ඉන්දීය මහ මැතිවරණය පැවැත්වෙන බැවිනි. යළි විශිෂ්ට ජනවරමක් හිමිකර ගනිමින්, දිගටම බලයේ රැඳී සිටීමට අග්‍රාමාත්‍ය මෝදි බලාපොරොත්තු වෙයි. ‘රාම් මන්දිර්’ මෝදිගේ ‘ලොකුම තුරුම්පුව’ වනු ඇතැයි විපක්ෂය චෝදනා නගයි. ඉදිරියේ දී, භාරතීය ජනතා පක්ෂයේ මැතිවරණ රැළිවල වැඩි වශයෙන් කතාබහට ලක්වනු ඇත්තේ රාම් මන්දිර් යැයි ද පැවැසෙයි.
‘රාම් මන්දිර්’ විවෘත කිරීමේ උත්සවයට, ඉන්දීය විපක්ෂ දේශපාලන නායකයන්ට ද ඇරැයුම් ලැබී තිබුණි. ඒත්, ප්‍රාධාන විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි හෝ සෙසු විපක්ෂ නායකයන් හෝ උත්සවයට සහභාගී වූයේ නැත. ඔවුහු එය වර්ජනය කළහ. මෝදි ප්‍රමුඛ භාරතීය ජනතා පක්ෂය, ලහිලහියේ ‘රාම් මන්දිර්’ ඉදිකර, විවෘත කරන්නේ, ඡන්ද වාසි ලබා ගැනීමේ අරමුණින් බවත්, ජනතා ප්‍රශ්න යටපත් කර, හින්දු ජාතිකවාදී අදහස් අවුස්සා හින්දු ඡන්ද දිනා ගැනීමේ අරමුණින් බවත්, විපක්ෂය චෝදනා නගා තිබේ.
අක්කර 7.2 ක් පුරා විහිදුණු ‘රාම් මන්දිර්’ කෝවිල ඉදිකර ඇත්තේ අයෝධ්‍යාවේ අක්කර 70 ක භූමියකය. මෙම භූමිය හැඳින්වෙන්නේ ‘රාම් ජන්ම භූමි’ යනුවෙනි. පසුව දේවත්වයට පත් වූ රාම කුමරු උපත ලැබුවේ අයෝධ්‍යාවේ මෙම ස්ථානයේ බව හින්දු විශ්වාසයයි. අයෝධ්‍යාවේ ‘රාම් ජන්ම භූමි’ නමින් හැඳින්වෙන, ‘රාම් මන්දිර්’ කෝවිල ඉදි කිරීම යනු ‘රාම් ජන්ම භූමි’ මෙම භූමිය ඉන්දීය දේශපාලනය පවා උඩි යටිකුරු කළ සිදුවීම් සමුදායක අවසානයයි.
ඉන්දීය උප මහද්වීපයේ මෞගල් රාජවංශය පිහිටුවීමේ පුරෝගාමියා බාබර් මෞගල් රජුය. බාබර් රජුගේ සෙන්පති මීර් බාකී, රජුට ගෞරව දැක්වීමක් ලෙස ‘බබ්රි’ නමින් මුස්ලිම් පල්ලියක්, එසේත් නැතිනම් මස්ජිඩයක් ඉදි කළේය, හින්දුවරුන්ට අනුව, බබ්රි පල්ලිය ඉදි කෙරුණේ අයෝධ්‍යාවේ, රාම කුමරු උපන්, රාම් ජන්ම භූමියේය. පුරාණයේ මෙහි හින්දු කෝවිලක් විය. බබ්රි පල්ලිය ඉදි කෙරුණේ එම කෝවිල කඩා දමමින්, කෝවිල පිහිටි ස්ථානයට ඉහළිනි. මෙම අදහස හින්දු ජාතිකයන් තුළ වැඩෙන්න වූයේ 1853 වසරේදී සිටය. හින්දු අන්තවාදී ආගමික කණ්ඩායම් මෙම අදහස ප්‍රචලිත කිරීමට පටන් ගත්තේය. 1859 වනවිට ඉන්දියාව බ්‍රිතාන්‍ය යටත් විජිතයකි. බබ්රි පල්ලිය, සම්බන්ධයෙන් හින්දු මුස්ලිම් අර්බුදයක් ඇති බව බ්‍රිතාන්‍ය පාලකයන්ට වැටහී තිබුණි. ඔවුන් බබ්රි පල්ලිය අයත් භූමිය මුස්ලිම්වරුන්ටත්, හින්දුවරුන්ටත් බෙදා දෙන ලදී. මුස්ලිම්වරුන්ට යාච්ඤා කළ හැකි වූයේ පල්ලිය තුළ පමණි. පල්ලියෙන් පිටත හින්දුවරු ඔවුන්ගේ පුද පූජා පැවැත්වූහ.
1949 දෙසැම්බරයේ, එක් දෛවෝපගත දිනයක, බබ්රි පල්ලිය තුළින් දීප්තිමත් ආලෝකයක් විහිදෙන්නට වූ බවටත්, පල්ලිය තුළ රාම දෙවියන් වැඩ සිටිනු දුටු හින්දු බැතිමතුන් බොහෝ දෙනෙකු දුටු බවටත් රාවයක් පැතිර ගියේය. එය, හින්දුවරුන් අතරේ, රාම දෙවියන්ට ඇති ගෞරවය සහ භක්තිය තව තවත් ඉස්මතු කිරීමට හේතු විය. මෙම සිද්ධිය කනවැකුණු, පණ්ඩිත් අභිරාම් දාස් කෝපයට පත්විය. කුකුල් කේන්තිකාරයකු මෙන්ම අන්තවාදී හින්දු භක්තිකයකු ද වූ පණ්ඩිත් අභිරාම් දාස්, අඩි 6 ක් උස, හැඩිදැඩි, මල්ලව පොර ශූරයෙකි. ඔහු හින්දු බැතිමතුන් පනස් දෙනකු හෝ හැට දෙනකුගෙන් සමන්විත පිරිසක් ද සමඟ, බබ්රි පල්ලියට කඩා වැදී කලහ කරන්න විය. පිරිස, රාම දෙවියන්ගේ ප්‍රතිමා රැගෙන ගොස් පල්ලියේ තැනින් තැන තබන්න වූහ. අභිරාම් දාස්, කෑකෝ ගසන්න වූයේ රාම කුමරුන්ගේ ඡන්ම භූමියේ මුස්ලිම් පල්ලියක් ඉදිකිරීම වැරදි බව පෙන්වා දෙමිණි.
එදා බබ්රි පල්ලියට කඩා වැදීමට, සියල්ල සැලැසුම් කෙරුණේ අලුයම 3 ට පමණ, නගරයේ, මහේස්ත්‍රාත් ගුරු දත් සිංගේ නිවසේ පැවැත්වුණු රහස් සාකච්ඡාවක් අතරතුරේය. මේ බව හෙළි වූයේ වසර ගණනකට පසුවය. අලුයම සිදුවුණු එම රහස් සාකච්ඡා සම්බන්ධයෙන් කරුණු හෙළි කර ඇත්තේ, මහේස්ත්‍රාත් ගුරු දත් සිංගේ පුත්‍රයාය. එදා ප්‍රාන්තයේ දිස්ත්‍රික් පරිපාලකයන් සියලු දෙනා ඒකමතිකව තීරණය කළේ, බබ්රි පල්ලිය කඩා දමා, එම භූමියේ රාම් දෙවියන් වෙනුවෙන් හින්දු කෝවිලක් ඉදි කළ යුතු බවය.
රාම් දෙවියන් පහළ වුණැයි පැතිරුණු රාවයට, දහස් ගණනක් හින්දු බැතිමත්හු පල්ලිය පිහිටි ස්ථානයට එක් රොක් වූහ. පිරිස කලහකාරී වෙමින්, පල්ලියට හානි කරන්න වූහ. ඔවුහු රාම් දෙවියන්ට පූජා පවත්වමින් ගී ගයන්න වූහ. දිස්ත්‍රික් බලධාරීන් හෝ පොලිසිය හෝ කලහකාරී හින්දු බැතිමතුන් නැවැත්වීමට උත්සාහ කළේ නැත. ඔවුන් ඉවත් කිරීමට මැදිහත් වූයේ ද නැත. කෙසේ නමුත් අවසසානයේ, බබ්රි පල්ලිය මුස්ලිම්වරුන්ට තහනම් විය.
1949 දෙසැම්බර් 23 වැනිදා, සාක්ෂිකරුවකු ලෙස හවාල්දාර් අබ්දුල් බර්කෙට් නමැත්තා, පොලිසියට ලබා දුන් කටඋත්තරයක් හේතුවෙන් තත්ත්වය තවත් අවුල් විය. බර්කෙට් පොලිසියට පවසා තිබුණේ, එදා අලුයම දෙකට පමණ, මුස්ලිම් පල්ලියේ විදුලි කෙටීමක් වැනි ආලෝකයක් දකින්න ලැබුණු බවත්, ගේට්ටු වසා අගුළු ලා තිබුණු පල්ලිය තුළ ලස්සන දරුවකු තමන් දුටු බවත්ය. පොලිසියට ලබා දුන් මෙම කටඋත්තරයත් සමඟ ‘රාම දෙවියන් පහළ වුණා’ යන රාවයට නව පන්නරයක් ලැබුණි. මේ වනවිට ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ නේරු, හින්දු බැතිමතුන් හිටිහැටියේ කලහ කිරීමේ මෙම සිදුවීම, අයෝධ්‍යාවට පමණක් සීමා වුණු වැඩි අවධානයක් යොමු කළ යුතු නැති සිද්ධියක් ලෙස සැලකීය. මේ වනවිට ‘රාම් මන්දිර්’ නමින්, රාම දෙවියන් වෙනුවෙන්, එම භූමියේ හින්දු කෝවිලක් තිබිය යුතු යැයි හින්දු භක්තිකයෝ පෙළ ගැසෙමින් සිටියහ. ඒ අනුව, ‘රාම් මන්දිර්’ ව්‍යාපාරය ආරම්භ විය. බබ්රි පල්ලිය අගුළු ලා වසා දැමීම, මුස්ලිම් ප්‍රජාව කෝපයට පත් කළේය. ඉන්දීය දේශපාලනය, වර්තමානයේ පවතින තත්ත්වයට වෙනස් වීමක් සිදුවූයේ ද මෙම සිදුවීම් මුල්කොට ගනිමිණි.
වසර 37 කට පසු, 1986 පෙබරවාරි පළමු වැනිදා, ෆයිසාබාද් දිස්ත්‍රික් අධිකරණයට පැමිණෙමින් සිටිද්දී, විනිසුරු කේ.එම්. පාණ්ඩේ වඳුරකු දුටුවේය. සාමාන්‍යයෙන් වඳුරන් බහුලව දකින්න ලැබුණත්, මේ වදුරාගේ වෙනසක් ඇතැයි විනිසුරුවරයාට වැටහුණි. වඳුරා සිටියේ කොඩි ගසක එල්ලීය. රැස්ව සිටි පිරිස් ඌට පලතුරු දීමට උත්සාහ ගත් නමුත්, ඌ ඒ ගැන කිසිදු උනන්දුවක් දැක්වූයේ නැත. පලතුරු නොකන වඳුරෙක් අධිකරණය අසල කුමක් කරන්නේදැයි විනිසුරු පාණ්ඩේ කල්පනා කරන්නට විය. ඒ ගැන සිතමින්, විනිසුරු කුටියට වී සිටිද්දී, විනිසුරු පාණ්ඩේ අතට පෙත්සමක් ලැබුණි. එය හින්දුවරුන්ගේ ප්‍රචණ්ඩ ක්‍රිය හේතුවෙන් මුස්ලිම්වරුන්ට තහනම් කළ බබ්රි පල්ලිය, යළි ඔවුන්ට ලබා දෙන්නැයි මුස්ලිම්වරුන් කළ ඉල්ලීමක් විය.
එදා බලයේ සිටියේ කොංග්‍රස් පක්ෂයයි. කොංග්‍රස් පක්ෂය නියෝජනය කරමින්, නියෝජිතයෝ දෙදෙනෙක් පෙත්සම විභාගයට ගනිද්දී අධිකරණයට පැමිණ සිටියහ. එම නියෝජිතයන් දෙදෙනා එන්.ඩී. තිවාරි සහ රජිව් ගාන්ධිය. (එන්.ඩී. තිවාරි පසු කාලයක ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්ත ආණ්ඩුකාරයා විය. රජිව් ගාන්ධි, ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරය හෙබවීය.) අගුළු හැර, බබ්රි පල්ලිය විවෘත කළොත්, ඇතිවන තත්ත්වය බරපතල විය හැකි යැයි එතිවාරි සහ රජිව් ගාන්ධි අධිකරණයට පෙන්වා දුන්හ. ඒ අනුව, මුස්ලිම්වරුන්ගේ සිත රිද්දන ආකාරයේ තීන්දුවක් ලබා දීමට විනිසුරු කේ.එම්. පාණ්ඩේ පියවර ගත්තේය. පසුව ඔහු ඔහුගේ චරිතාපදනයෙන් පවසා තිබුණේ, එදා අධිකරණයට එද්දී තමන් දුටු වඳුරා හනුමන්ගේ අවතාරයක් යැයි තමන් විශ්වාස කළ බැවින්, හින්දුවරුන්ට පක්ෂය තීන්දුව ලබා දුන් බවය.
හින්දු මුස්ලිම් කැරැලි කෝලහාල ආරම්භ වීමට මෙය හේතු විය. මුස්ලිම්වරුන්, පල්ලියට ප්‍රවේශවීමට ඇති අයිතිය වෙනුවෙන් නීති මගින් සටන් කරද්දී, හින්දුවරු, පල්ලිය කඩා දැමීමට උත්සාහ ගත්හ. 1990 වසරේ දී, භාරතීය ජනතා පක්ෂ නායක ලාල් ක්‍රිෂ්ණා අද්වානීගේ නායකත්වයෙන්, මුස්ලිම් විරෝධතා ඉන්දියාව පුරා ඇරැඹිණි. ඒ, මුස්ලිම් පල්ලිය කඩා දමා එහි රාම් දෙවියන් වෙනුවෙන් කෝවිලක් ඉදි කිරීමේ අරමුණින්ය. 1992 දෙසැම්බර් 6 වැනිදා, අයෝධ්‍යාවට රැස් වී, ප්‍රකෝපකාරීව හැසිරුණු දස දහස් ගණනක් හින්දු භක්තිකයෝ, 16 වැනි සියවසේ ඉදි කළ බබ්රි පල්ලිය කඩා බිඳ දැමූහ. ඒ සමඟ ඉන්දියාව ගිනියම් විය. ඉන්දියාව පුරා හින්දු මුස්ලිම් ගැටුම් ඇතිවිය. එම ගැටුම්වලින් මියගිය ගණන 2,000 කට වැඩිය. මියගිය වැඩි දෙනා මුස්ලිම්ය. තිරය පසුපස හිඳ සියල්ල මෙහෙය වූයේ භාරතීය ජනතා පක්ෂ නායකයන් යැයි චෝදනා නැගුණි.
ඉන්පසු, තවත් වසර ගණනක් ‘රාම් ජන්ම භූමි’ සම්බන්ධයෙන් නීතිමය ගැටුම් පැවැතිණි. 2003 වසරේ දී පුරාවිද්‍යාත්මක පර්යේෂණවලින් හෙළි වූයේ බබ්රි පල්ලියට යටින්, ඊටත් වඩා පැරැණි හින්දු කෝවිලක නටබුන් ඇති බවය. ඒ අනුව, වසර කීපයක නීතිමය ගැටුම් 2019 නොවැම්බර් 9 වැනිදා අවසන් වූයේ, කොන්දේසිවලට යටත්ව, අයෝධ්‍යාවේ රාම් ජන්ම භූමියේ හින්දු කෝවිලක් ඉදිකිරීමේ ශ්‍රේෂ්ඨාධිකරණ අවසර දීමෙනි. මුස්ලිම් පල්ලියක් ඉදි කිරීමට අයෝධ්‍යාවේ වෙනම ඉඩමක් මුස්ලිම්වරුන්ට ලබා දීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
රාම් ජන්ම භූමිය හින්දුවරුන්ට හිමිවිය. ‘රාම් මන්දිර්’ හින්දු කෝවිල ඉදිකිරීමට අග්‍රාමාත්‍ය මෝදි මුල්ගල තැබුවේ 2020 අගෝස්තු 5 වැනිදාය. එම වසරේ සැප්තැම්බර් 30 වැනිදා, ලක්නව් අධිකරණයක්, හින්දු මුස්ලිම් කෝලාහල ඇති කිරීමට හින්දුවරුන් උසි ගැන්වූයේ යැයි චෝදනා ලැබ සිටි අද්වානී ඇතුළු භාරතීය ජනතා පක්ෂයේ සෙසු නායකයන් එම චෝදනාවලින් නිදහස් කළේය. ඒ, චෝදනා ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති වූ බැවිනි. රාම් ජන්ම භූමියේ, රාම් මන්දිර් ඉදිකිරීම සිදුවූයේත්, එහි බිම් මහල විවෘත කෙරුණේත් ඒ අනුවය.
22 වැනිදා අයෝධ්‍යාවට ගොස් ‘රාම් මන්දිර්’ විවෘත කිරීමට පෙර, 21 වැනිදා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිටියේ දකුණු ඉන්දියාවේය. මෝදි ගියේ කොතන්දරාමස්වාමි කෝවිලටය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉන්පසු අරිචල් මුනායි ගියේය. අරිචල් මුනායි යනු, වාල්මිකීගේ රාමායණයට අනුව, සීතා බේරා ගැනීමට ලංකාවට යෑමට රාම කුමරු, ලක්ෂ්මණ, හනුමාන් සහ වානර සේනාව, රාම් සේතු පාලම ඉදි කිරීම ආරම්භ කළ ස්ථානයයි. ‘ප්‍රභූ ශ්‍රී රාම්ගේ ජීවිතයේ විශේෂ වැදගත්කමක් ඇති අරිචල් මුනායි වෙත යෑමට මට අවස්ථාව ලැබුණා. එය රාම් සේතු ආරම්භයයි.’ යැයි පවසමින්, අග්‍රාමාත්‍ය මෝදි සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ සටහනක් සහ ඡායාරූප පළ කළේ මහත් ආඩම්බරයෙන් සහ භක්තියෙනි.
ඉන්දීය මාධ්‍ය ඇසුරිනි